වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ජනතා ද්‍රෝහියා 28 දා

ජනතා ද්‍රෝහියා 28 දා

හෙන්රික් ඉබ්සන්ගේ Enfolke fiende නාට්‍යයේ සිංහල පරිවර්තනය ජනතා ද්‍රෝහියා නමින් මෙම මස 28 වැනිදා සවස කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතෙහි පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකා ගතවේ. එම නාට්‍යය විජිත ගුණරත්නගේ පරිවර්තනයක් වන අතර අධ්‍යක්ෂණය නිහාල් සුරංජිගෙනි. මෙම නාට්‍යයේහි දර්ශන වාරය අවසන් වූ පසු හෙන්රික් ඉබ්සන්, යථාර්ථයෙන් සත්‍යයට යන මැයෙන් විද්වත් කතිකාවක් ද පැවත්වෙනු ඇත. එහිදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, දෙසුම් පවත්වති. දේශ ද්‍රෝහියා නාට්‍යයෙහි වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, ලලිත් රාජපක්ෂ, හංසමාලා ජානකී ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.


රංග කලා වැඩමුළුවක් නොමිලේ

රංග කලාකවය මඟින් සංවිධානය කරන රංග කලා වැඩමුළු මාලාවක් මෙම මස 30 වැනි ඉරු දින සිට සෑම ඉරිදාවකම කොළඹ මරදානේ පිහිටි එම කවයෙහි මුලස්ථානයේ පැවැත්වේ. නොමිලයේ පැවැත්වෙන මේ වැඩමුළුවට වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයකුට සහභාගී විය හැකිය. රූපණය, හඬ පාලනය සහ විශ්ව සම්භාවිත කෘති පරිශීලනය ආශ්‍රිතව සිදු කරන මෙම වැඩමුළු නිහාල් සුරංජි විසින් මෙහෙයවනු ලබයි. මෙම මස 23 වැනිදාට ප්‍රථම රංග කලා කවය, 173, දේවානම් පියතිස්ස මාවත, කොළඹ 10 ලිපිනයට හෝ [email protected] යන ලිපිනයට අයැදුම්පත් එවීමෙන් මෙයට සහභාගි විය හැකියි.


අයිි. ටී. එන්. චිත්‍රපට

මෙම මස 24, 25, 26 යන දිනයන්හි ස්වාධීන රුපවාහිනිය ඔස්සේ විකාශය වන සිනමාපට මෙසේය.

10/24 - දහල් 12.30 ට අඩු කලාම් (දමිළ) අධ්‍යක්ෂණය වෙට්‍රිමාරන්

10/25 - දහවල් 12.30 ට අඩු කලාම් (දමිළ) සිනමාපටයේ ඉතිරි කොටස

10/26 - දහවල් 12.30 ට බජට් ඔෆ් ෆුරි (ඉංගී‍්‍රිසි) අධ්‍යක්ෂණය හේමන්


වින්දනය හා චින්තනය

සිය දිනපොත සටහන් ග්‍රන්ථ වශයෙන් පළ කිරීම බටහිර ලේඛකයන්, කලාකරුවන්, වින්තකයන් අතර ප්‍රකට පරිචිතයකි. මහාචාර්ය විමල් දිසානායක සිය සංස්කෘතික දිනපොත් සටහන් මඟින් සාහිත්‍ය, කලාව, චිත්‍රපට පිළිබඳ අලුත් තතු ද, කලා ලෝකයේ නව සංකල්ප හා ප්‍රවණතා පිළිබඳ විමර්ශන ද බොහෝ සිංහල පාඨකයන් නොහඳුනන ලේඛකයන් පිළිබඳ නිරීක්ෂණ ද ඉදිරිපත් කරයි. මහාචාර්ය විමල් දිසානායකගේ ‘වින්දනය හා චින්තනය’ නම් මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.


නව කවි සලකුණ

මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘නව කවි සලකුණ’ කෘතිය නව සාහිත්‍යය න්‍යාය ගැන නිදර්ශන සහිත හැඳීන්වීමක් ද වෙයි. මේ කෘතිය සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ට, සාහිත්‍යය අධ්‍යයනයේ නියුතු ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වනු නියතය. මෙය පාඨමාලාවල ඇතුළත් විය යුතු පාඨ ග්‍රන්ථයකි. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.