වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




විමලාවතී හොඳ කළත් හොඳ නොඇසූ චරිතයක්

විමලාවතී හොඳ කළත් හොඳ නොඇසූ චරිතයක්

ගිනි ගැන පී‍්‍රති රන්දෙණිය කියයි

ප්‍රීති රන්දණියගේ නවතම නවකතාව ‘ගිනි’ පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්විණි. මේ වනවිට ‘මහගෙදර’, ‘චිත්තානුපස්සනා’, ‘කැට කිරිල්ලී’ ආදී නවකතා කිහිපයක් හා කාව්‍ය සංග්‍රහ, ළමා කෘති කිහිපයකුත් පාඨකයන්ට පිරිනමා ඇති ඇය ලේඛනයට මහත් ඇල්මක් දක්වන්නියකි. මේ සාකච්ඡාව දිගහැරෙන්නේ ඇගේ ‘ගිනි’ නවකතාව හා ලේඛන දිවිය සම්බන්ධයෙනි.

‘ගිනි’ නවකතාව බිහිවන්නේ ඔබගේ සිතේ පැළපදියම් වුණු අදහසක් මූලික කරගෙන ද?

‘කැට කිරිල්ලි’ නවකතාව ලිව්වට පස්සේ යළිත් නවකතාවක් ලිවිය යුතුය කියන අදහස මගේ සිතේ සැඟවිලයි තිබුණේ. ඒ අදහස වඩාත් ඉස්මතු වීමට අවශ්‍ය පරිසරය සකස්වන්නේ යම් ගමකට හදිසියේ ම මා ගිය අවස්ථාවේදියි. එහි උන් යම් කෙනෙකු පැවසූ කාරණයක් මගේ සිතේ තදින් ම ලැඟුම් ගත්තා. මෙතෙක් මගේ සිතේ පිළිසිඳ ගෙන තිබුණු වස්තුබීජයට අලුත් අර්ථයක් ගෙනෙන්නේ ඒ කෙනාගේ කතාවයි. ඒ සියලු කාරණා හා තවත් බොහෝදෙනෙකුගේ අත්දැකීම් රැසක් එකතු කරගනිමින් මා ‘ගිනි’ නවකතාව රචනා කළේ.

ඔබ පවසන ආකාරය ‘ගිනි’ කියන්නේ අත්දැකීම්වල එකතුවක් ද?

සමහර විට ‘ගිනි’ නවකතාව සඳහා මා පාදක කරගත්තේ එක් අයකුගේ අත්දැකීමක් පමණක් නොවෙයි. බොහෝදෙනාගේ අත්දැකීම්වල එකතුවක් ලෙසයි මා ‘ගිනි’ දකින්නේ. මෙහි කාගෙවත් සත්‍ය නම් ගම් ඇත්තේ නැහැ. එහෙම වුණත් සිදුවූ සිදුවීම්වල යම් සත්‍ය භාවයක් තිබෙනවා. ඒ ඔස්සේ මගේ සිතේ ගොඩනැඟුණු අදහසයි මා නවකතාවක් ලෙස ප්‍රතිනිර්මාණය කළේ.

ගිය වසරේ ඔබගේ අතෙන් ලියැවුණු ‘කැට කිරිල්ලී’ නවකතාවට මෙන් මෙවර නවකතාවත් ලියැවෙන්නේ යම් අත්දැකීමක් පාදක කරගෙනයි?

ඕනෑ ම නවකතාකරුවකුට අත්දැකීම් කියන්නේ අපූරු ඔසුවක්. ඔවුන්ගේ නිර්මාණවලට තමා අවට පරිසරයෙන් හා තමාගේ ජීවිතය ආශ්‍ර යෙන්, තමා අවට සිටින අයගේ ජීවිත ආශ්‍ර යෙන් ලැබූ අත්දැකීම් පාදක වීම කිසිවකුටත් වළක්වන්න බැහැ. ප්‍රවීණ ලේඛකයන් වුණු මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණවලටත් ඒ කාරණය බලපෑ බව ඔවුන් පවසා තිබෙනවා. නිර්මාණයකදී ඒ අත්දැකීම් ආශ්‍රය කරගනිමින් යම් ප්‍රතිනිර්මාණයකුයි නවකතාකරුවා සිදුකරන්නේ. මේ කාරණය මගේ නිර්මාණවලටත් පොදු කාරණයක් වුණා.

ඔබ මේ නවකතාවට ‘ගිනි’ කියන නම දෙන්නේ ඇයි?

නවකතාව ලිව්වට පස්සේ මා ඒ සඳහා නමක් සොය සොයායි සිටියේ. ඒ අවස්ථාවේදී මගේ සිත යොමුවුණේ මෙහි ප්‍රධාන චරිතය දෙසටයි. මෙහි ප්‍රධාන චරිතය වුණු විමලාවතී හැමෝටම කොයිතරම් හොඳක් කළත් කිසිම වෙලාවක සමාජයෙන් හොඳක් නොඇසූ චරිතයක්. සෑම වෙලාවක ම ඈ සිටියේ සිතෙන් ගිනි ගනිමින්. ඒ නිසයි මා මේ නවකතාව ‘ගිනි’ ලෙස නම් කරන්නේ.

‘ගිනි’ කියන්නේ බහු අර්ථ දෙන වචනයක්?

මතුපිට අර්ථයෙන් විමලාවතී මුහුණදෙන අනේක විධ දුක් දොම්නස් ගිනි යන පදයෙන් විවරණය වෙනවා. ශාරීරිකව විඳීන දුකට වඩා මානසික තැවුල බලවත් වීම නිසා ඈට ජීවිතය ගිනි ගොඩක් බවට පත්වෙනවා. ගිනි යන්නෙන් එවැනි අර්ථයක් අර්ථ ගැන්වෙනවා. ඒ වගේ ම ගිනි යන්නෙන් මිනිස් ස්වභාවයත්, සමාජ සම්බන්ධතාත් අර්ථ ගැන්විය හැකියි. යමෙකුට සංසාරය ගින්නක් යනුවෙන් ද හැඳීන්විය හැකියි.

‘ගිනි’ කියන්නේ සමාජයේ වෙසෙන බොහෝ කාන්තාවන්ගේ කතාව ද?

සමාජයේ වෙසෙන සමහර කාන්තාවන් මේ ආකාරයෙන් බොහෝ දුක්විඳීන බව දැකලා තිබෙනවා. ඔවුන්ගේ කතාවයි ගිනි කියන්නේ. ස්වාමිපුරුෂයකු නොමැති පවුලක, ඛේදවාචකයි මේ නවකතාවෙන් දැක්වෙන්නේ. සැමියකුගෙන් වෙන්වීමත් සමඟ කාන්තාවකට මුහුණ දෙන්න වෙන්නේ දුක්ඛදායක ඉරණමකටයි. එවැනි අයව සමාජය පිළිගන්නේ කුමන විදියට ද යන්න පිළිබඳ අත්දැකීම් රැසක් මා හමුවේ තිබෙනවා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට නවකතාව ඔස්සේ පැවසෙන දේ ඔවුන්ගේ ජීවිතය ලෙස දැනුණොත් මා පුදුම වන්නේ නැහැ.

මෙලෙස සැමියා නොමැති වීම නිසා කාන්තාවන්ට විඳීන්නට සිදුවන අතොර වඩාත් වර්ධනය වන්නේ අපේ සමාජයේයි. කාන්තාවක් විදියට ඔබ ඒ කාරණය දකින්නේ කොහොම ද?

විදේශ රටවල්වල නම් මේ තත්ත්වය වෙනස් ආකාරයකටයි නිර්මාණය වී තිබෙන්නේ. ඒ රටවල්වල නීති සම්පාදනය වී තිබෙන්නේත් කාන්තාවන් මූලික කරගෙනයි. ඒ නිසා ඒ රටවල්වල කාන්තාව ආරක්ෂිතයි. නමුත් ආසියානු රටවල්වල ඔය කියන කාරණය වෙනස් ආකාරයෙනුයි නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසයි මේ රටවල්වල කාන්තාවන්ට පුරුෂයාගේ රැකවරණය බොහෝ සේ වටින්නේ. ඒ රැකවරණය ගිලිහී ගොස් ඇති විටෙක අනෙක් පුරුෂයන්, කාන්තාවන් අසලට ළං වන්නේ ඈ දුර්වල තත්ත්වයක සිටිනවා යන අදහසෙන්. එහෙත් කාන්තාවක් එලෙස දුර්වල විය යුතු නැහැ. ඔවුන් ශක්තිමත් විය යුතුයි. ඔවුන් ආරක්ෂා කරන නීති පද්ධතියක් සකස් විය යුතුයි.

ඔබ ‘ගිනි’ ඔස්සේ පවුල් සංස්ථාවක මවකගේ භූමිකාව කොපමණ වැදගත් ද යන්නත් කතාබහට ලක්කරනවා?

පවුලකට මවකගේ භූමිකාව අත්‍යවශ්‍යයයි. පවුලක පියකු වෙන්වනවාට වඩා මවක් වෙන්වුණොත් දැනෙන ප්‍රමාණය වැඩියි. මවකගේ වෙන්වීම සමහර විට මුළු පවුල ම විනාශය කරා ඇද වැටීමට හේතුවක් විය හැකියි. ඒ නිසා මවකගේ වගකීම මොකක් ද යන්න සමාජය වටහා ගත යුතුයි. මොක ද එවැනි වගකීමක් දරන ඇයවයි සමාජය විසින් ම විවිධ අතොරවලට ලක්කරන්නේ.

ඔබගේ නවකතා බොහොමයක් සඳහා පාදක කරගෙන තිබෙන්නේ කාන්තා චරිතයි. නිර්මාණ සඳහා කාන්තවක් මුල්කර ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

කාන්තාවකගේ සිතුම් - පැතුම් හොඳීන් දන්නේ කාන්තාවක්මයි. අනෙක් කාරණය නම් බොහෝ කාන්තාවන් සිතන්නේ එක ම ආකාරයෙන්. මගේ ළඟින් ම ඇසුරට වැටී තිබෙන්නේත් කාන්තාවන්. ඔවුන්ගේ සංවේදනා මට හොඳීන් වටහාගත හැකියි. ඒ නිසා එවැනි චරිත ඇසුරු කරගනිමින් නිර්මාණකරණයට පිවිසීම පහසුයි.

‘ගිනි’ නවකතාව සඳහා පාදක වී තිබෙන්නේ ගම්බද පරිසරයක්. එවැනි පරිසරයක අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔබ ගම්බද පරිසරයක් පිළිබඳ යම් අධ්‍යයනයක නිරත වූවා ද?

මේ වනවිට මා නගරබඳ පරිසරයක විසුවත් මගේ කුඩා කාලය ගෙවුණේ එවැනි ගම්බද පරිසරයකයි. ඒ කියන්නේ මීට වසර ගණනකට පෙර මා විසූ රත්මලාන ප්‍රදේශයත් ගමක්. ගම්වල තිබුණු සිතුම් - පැතුම් හා පරිසරයයි ඒ ප්‍රදේශවලත් නිර්මාණය වී තිබුණේ. අපේ අම්මලා, තාත්තාලත් පැමිණියේ ගම්බද පරිසරවලින්. නෑදෑයන් ජීවත් වුණේ ඈත ගම්බද පරිසරවලයි. අවුරුද්දට ඔවුන්ගේ නිවෙස්වල යන නිසා ඔය කියන පරිසරය අපට ආගන්තුක වුණේ නැහැ.

ඔබ ලියන්න පෙලඹෙන්නේ කුමන ආකාරයෙන් ද?

මගේ සිත ලේඛනයට යොමුවන්නේ විවාහයෙන් පස්සේ. විවාහයට පෙරත් මට ලියන්න හැකියාව තිබුණා. මොකද මා රවිත් එක්ක ආදරයෙන් වෙලිලා සිටිය කාලයේ ඔහුට ලිව්වෙත් බොහොම කාව්‍යාත්මක ලියුම්. දවසක් ඔහු විදේශ ගත වී සිටි අවස්ථාවක මා ලිව්ව ලියුමක් රවීගේ කොයිතරම් සිත් ගත්තා ද කිව්වොත් ඒ ලියුම විජයට පෙන්වන්න ද කියලත් මගෙන් විමසුවා මට මතකයි. ඒ තරමට කාව්‍යාත්මක ආකාරයෙන් මා ඒ කාලයෙත් ලිව්වා. විවාහ වුණාට පස්සේ කාලයකදි රවී රාජකාරී කටයුතුවල කාර්යබහුල වුණා. ඒ කාලයේදී මා මගේ සිතට පිවිසෙන දේවල් සටහන් කිරීමට පුරුදු පුහුණු වුණා. දිනක් ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයාට මගේ ඒ නිර්මාණ කියවන්න දුන්නා. ඒවා මුද්‍රණයෙන් පළ කිරීමට මා උනන්දු කළේ එතුමයි. එදා පටන් ලිවීමට මගේ සිතේ ඇතිවුණු කැමැත්ත අනුව අද දක්වා ම මා ලියනවා.

ඔබගේ නිර්මාණ අතර ළමා කෘති රචනයෙයි වැඩිපුර ම ඔබ නියැළී ඇත්තේ?

ළමාපොත් ලියන්න මා පෙලඹුණේ මගේ දරුවන් නිසයි. ඔවුන්ට කෑම කැවීමට මට කතා කියන්නට සිදුවුණා. විවිධ කතා ගොතමින් කියන කතා අසමිනුයි ඔවුන් බොහොම කැමැත්තෙන් ආහාර ගත්තේ. පසු කාලයේ ඒ කියූ කතා ලොකු වුණාට පස්සේ කියවන්න ලියලා තියන්න කියලත් ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුවයි මා ළමා කතා ලියන්න පෙලඹෙන්නේ.

මගේ අදහස නම් ඔබ වඩාත් දස්කමක් දක්වන්නේ ළමා කෘති රචනයට බවයි?

මටත් එහෙම හිතෙනවා. ඒ කිසිම වෙහෙසක් නොගෙන මා ළමා කෘති රචනයේ යෙදෙන නිසයි මා එලෙස පවසන්නේ. ඒ නිසාමදෝ මා ලියූ ළමා පොත මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ තුන්වැනි ස්ථානයට තේරී පත්වුණා.

ඔබගේ නිර්මාණකරණයේදී සැමියා රවීන්ද්‍ර රන්දෙණියගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

ඇත්තට ම ඔහුගෙන් මගේ නිර්මාණ කටයුතුවලට ලැබෙන සහයෝගය අපමණයි. නිර්මාණ කිරීමට ඔහු මාව දිරි ගන්වනවා. මා ලියනවාට ඔහු කැමැතියි. පොත් මුද්‍රණය කරද්දි මට ඔහු බොහොම උදවු කළා.