වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

සිනමාවේ ජීවමාන පුරාවෘත්තය ජේම්ස් කැමරන් කැනඩාව

උපන් දිනය - අගෝස්තු 16, 1954
විශිෂ්ට චිත්‍රපට - එලියන්ස්, ටර්මිනේටර්, ටර්මිනේටර් 2, ටයිටැනික්, අවතාර්

ඔහුගේ පරම්පරාවේ ක්‍රියාදම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හිණිපෙත්තේ මුදුනින්ම සිටින කැමරන් වැඩ කිරිමට ඉතාම දුෂ්කර සහ තම කාර්ය මණ්ඩලයෙන් පරිපූර්ණතාවම බලාපොරොත්තු වන සිනමාකරුවෙකු වන බවට කටකතා ක්ෂේත්‍රය තුළ පැතිර තිබෙනවා. තාක්ෂණික මායාවන් සහ මානව රංජනය අතර සරණ බන්ධනයෙන් යුත් ඉතා විශිෂ්ට එමෙන්ම ලාභදායී මිලියන් ඩොලර් චිත්‍රපට මාලාවක් එළිදැක්වීමෙන් 80, 90 දශක සහ 21 වන සියවසේ හොලිවුඩය නැවත හැඩ කළ සිනමාකරුවා හැටියටත් ඔහුව හැඳින්විය හැකිය. ඔහුගේ නිර්මාණාත්මක දෘෂ්ටිය යථාර්ථයක් බවට පරිවර්තනය කිරිම සඳහා චිත්‍රපටයක් නිෂ්පාදනය අතරතුරදී වුව ද නව තාක්ෂණික ශිල්ප ක්‍රම නිර්මාණය කිරීමට මැලි නොවන නිර්භිත දූරදර්ශී කැමරන් වරක් මිය ගොස් තිබුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ශෛලිය නැවත පණ ගැන්වීමට සමත් වුණා. තමා ලෝකයේ රජා යයි ඔස්කාර් සම්මාන උලෙළකදී ලෙවටම පැවසූ කැමරන් ඇත්ත වශයෙන්ම සිනමා ලෝකයේ බොක්ස් ඔෆීස් රජා යන විරුදාවලියෙන් හැඳින්වීම සාධාරණය වන්නේ ඔහු මෙතෙක් ලොව වැඩිම අදායම් ලැබූ චිත්‍රපට දෙකම නිර්මාණය කළ බැවිනි.

කැමරන් උපත ලැබුවේ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ කැපුස්කේසින් නම් නගරයේදී’ය. ඔහුගේ මව ෂර්ලි කලාකාරියක් වගේම හෙදියක් වූ අතර පියා පිලිප් කැමරන් විදුලි ඉංජින්රුවරයෙකු වූවා. කැමරන් අධ්‍යාපනය ලැබීමට නයගරා ෆෝල්ස් හී ස්ටැම්ෆර්ඩ් කොලීජියට ඇතුළත් වූ අතර 1971 දී ඔහුගේ මුළු පවුලම කැලෆෝර්නියාවට සංක්‍රමණය වුණා. කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ෆුලර්ටන් කොලීජියේ භෞතික විද්‍යාව සහ ඉංග්‍රීසි හැදෑරු කැමරන් හැකි හැම අවස්ථාවකම දකුණු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ චිත්‍රපට සංරක්ෂණාගාරය නැරඹීමට ගියා. කැමරන්ට ස්වාභාවික විද්‍යාව පිළිබඳ හොඳ පසුබිමක් තිබුණත් ඔහු තමාගේ විෂය ධාරව හැටියට දර්ශනවාදය සඳහා 1973 දී ෆුලර්ටන් කොලීජියේ තෝරා ගත්තා.

අතරමඟදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ කැමරන් විවිධ රැකියාන්හි නිරත වුණා. සමහර විට ට්‍රක් රථ රියදුරකු වශයෙන් ද රැකියාවක් කළ ඔහු ඉඩ ලැබුණු හැම විටකම ලිවීමෙහි යෙදුණා. 1977 ස්ටාර් වෝස් චිත්‍රපටය නැරඹූ පසු කැමරන් රියදුරුකම අතහැර චිත්‍රපට කර්මාන්තයට අවතීර්ණ වුණා. සිඩ්ෆීල්ඩ්ගේ ස්ක්‍රීන්ප්ලේ නම් ග්‍රන්ථය කිය වූ කැමරන් කලාවත් විද්‍යාවත් එකට එකතු කිරීමට පුළුවන් යයි තේරුම් අරගෙන විනාඩි 10 ක විද්‍යා ප්‍රබන්ධ පිටපතක් සෙනෝජෙනසිස් නමින් ලිව්වා. ඔහු මිතුරන් සමඟ එකතු වී සල්ලි එකතු කර කැමරාව, කාච, නෙගටිව් රෝල් හා චිත්‍රාගාරය කුලියට ගනිමින් එම චිත්‍රපටය මිමි. 35 රූපගත කළා.

කැමරන් මෙසේ තාක්ෂණ ශිල්ප ක්‍රම ප්‍රගුණ කරමින් සිටි කාලයේම ඔහුට රොජර් කොර්මන් චිත්‍රාගාරයේ කුඩා පරිමාණයෙන් නිරූපිත මොඩලයන් හදන්නට පටන් ගත්තා. අඩු වියදම් චිත්‍රපට අඩු කාලයකින් එහෙත් කාර්යක්ෂම මෙන්ම සිත් කාවදින ආකාරයට නිෂ්පාදනය කිරීමේ කලාව කැමරන් එහිදී ඉගෙන ගත්තා. වැඩි කාලයක් යන්නට මත්තෙන් කැමරාන් බැට්ල් බියොන්ඩ් ද ස්ටාර්ස් (1980) විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක බවට පත් වුණා. ජෝන් කාපෙන්ටර්ගේ එස්කේප් ෆ්‍රොම් නිව්යෝක් (1981) හි විශේෂ ප්‍රයෝග නිර්මාණය සහ අධ්‍යක්ෂණය කිරීමේ යෙදුණු කැමරන් ගැලක්ස් ඔෆ් ටෙරර් (1981) හි ප්‍රඩක්ෂන් ඩිසයිනර් ලෙසත් ඇන්ඩ්‍රොයිඩ් (1982) හි විශේෂඥ උපදේශකයෙකු ලෙසත් කටයුතු කළා.

පිරානා 2 ස්පෝනින් නම් වූ පිරානා චිත්‍රපටයේ දෙවන කොටසේ විශේෂ ප්‍රයෝග අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට 1981 දී කැමරන්ව බඳවා ගත්තා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක අතරමඟදී නිෂ්පාදනය හැර ගිය බැවින් ඉතාලි ජාතික නිෂ්පාදකවරයකු වූ ඇසෝනිටිස් කැමරන්ට අධ්‍යක්ෂණය බාර ගන්නට ආරාධනා කළේ ඔහුට තම ජීවිතයේ ප්‍රථම අදියුරු අත්දැකීම අත්කර දෙමිනි. නමුත් චිත්‍රාගාරයට ගිය කැමරන්ට දැක ගන්නට ලැබුණේ ඉංග්‍රීසි වචනයක්වත් කතා නොකළ ඉතාලි ජාතික චිත්‍රපට කාර්ය මණ්ඩලයක්. ඒ මදිවාට නිෂ්පාදනයට අවශ්‍ය තරම් මුදල් තිබිලත් නැහැ. ඉතින් ඔය හිත් අමාරුවත් එක්ක නින්දට ගිය කමරන් අපූරු බියකරු සිහිනයක් දුටුවා. ඒ සිහිනයේ අනාගතයේ සිට පැමිණෙන බලසම්පන්න රොබෝ මැරයෙක් ඔහුව මරන්න උත්සාහ කරනවා දුටුවා. ඒ සිහිනය ඔහුට ටර්මිනේටර් චිත්‍රපටය නිරර්මාණය කිිරීමට මුල් වුණා. ඒ බියකරු සිහිනය ඔහුට වාසනාව ගෙන ආවේ ‘ටර්මිනේටර් චිත්‍රපටය කැමරන්ගේ සිනමා ජීවිතය එක රැයකින්ම උඩු යටිකුරු කළ බැවිනි.

ටර්මින්ටර් තිර නාටකය ලිවීමෙන් අනතුරව කැමරන් එය විකිණීමට තීරණය කළේ ඔහු විසින්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ අදහස ඇතිවයි. නිෂ්පාදන සමාගම් චිත්‍රපටය පිළිබඳ කැමැත්ත පළ කළ නමුත් ආධුනිකයෙකුට තම කුලුඳුල් චිත්‍රපටය ලෙස එය අධ්‍යක්ෂණය කරන්න දෙන්න ඔවුන් මැලි වුණා. අවසානයේදී හෙමිඩේල් පික්චර්ස් නමැති සමාගම ඔහුට එය අධ්‍යක්ෂණය කරන්නට දෙන්නට කැමති වුණා. කැමරන් සමඟ රොජර් කෝමන්ගේ සමාගමේ එකට වැඩ කළ ගේල් ඇන් හර්ඩ් ඒ වන විට තමන්ගේම නිෂ්පාදන සමාගමක් පැසිෆික් වෙස්්ටර්න් ප්‍රඩක්ෂන්ස් නමින් ආරම්භ කර තිබුණා. ඇය කැමරන්ගේ පිටපත ඩොලර් 1 කට මිලට ගන්න එකඟ වුණේ කැමරන්ට එය අධ්‍යක්ෂණය කරන්නට යෙදෙන කොන්දේසිය ද සමඟයි. ඇය නිෂ්පාදක ලෙස එක්වුණු අතර කැමරන්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වීමේ වරම ලැබුණා.

ආර්නල්ඩ් ස්වාසනේගර් දිනක් දහවල් ආහාරය සඳහා කැමරන් මුණ ගැසුණේ පෙම්වතා වූ කයිල් රිස්ගේ චරිතය ඔහු විසින් රඟපෑම ගැන කතා කරගන්නයි. නමුත් කතාව අවසානයේ දෙදෙනාම තීරණයකට අවේ මේ ඔස්ට්‍රියානු අයෝමය පුරුෂයාට වඩාත්ම ගැළපනෙ චරිතය නම් අනාගතයේ සිට පැමිණෙන දුෂ්ට රොබෝ බවයි. අවසානයේ කයිල් රීස්ගේ චරිතය මයිකල් බයින් විසින් රඟපෑ අතර ලින්ඩා හැමිල්ටන් සේරා කොනර් නම් චරිතය නිරූපණය කළා.

ටර්මිනේටර් නිකම්ම නිකම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් බැවින් සතියක්වත් රඟහල්වල තිරගත වෙන එකක් නැතැයි යයි සිතූ ඔරායන් පික්චර්ස් විධායකයින්ගේ බලාපොරොත්තු කඩ කරමින් එය බොක්ස් ඔෆිස් හිට් ඒකක් වුණා. ඩොලර් මිලියන 6.5 ත් වැනි අඩු වියදමකින් නිපද වූ මෙම චිත්‍රපටයේ වියදම් තවත් අඩු කරගැනීම සඳහා ශබ්දය පටිගත කර තිබුණේ මොමෝ තාක්ෂණයෙනි.

කැමරන් ඊළඟට 1979 දී රිඩ්ලි ස්කොට් විසින් නිර්මාණය කළ ඒලියන් චිත්‍රපටයේ දෙවෙනි කොටස නිර්මාණ කරන්න පටන් ගත්තා. එලියන්ස් යනුවෙන් නම් කළ එහි එලන් රිප්ලිගේ ප්‍රතිමාමය චරිතය නිරුපණය කිරිම සඳහා සිගෝනි වීවර්ව නැවතත් යොදා ගත්තා. කැමරන්ට අනුව නම් එලියන්ස් කාර්ය මණ්ඩලය ඔහුට එතරම් කාරුණික වී නැහැ. ඊට හේතුව වූයේ කැමරන් යනු රිඩ්ලි ස්කොට් වෙනුවට යොදා ගත් බාල ආදේශකයෙක් යැයි ඔවුන් සිතූ නිසාය. කෙසේ වෙතත් එලියන්ස් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට පත් වූයේ හොඳම කලා අධ්‍යක්ෂණ්‍ය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය, හොඳහ ශබ්ද පරිපාලනය සහ හොඳම නිළි ලෙස සිගෝනි වීවර්ටත් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ කරමින්ය. එයිනුත් නොනැවතී එය හොඳම ශබ්ද ප්‍රයෝග සංස්කරණය සහ හොඳම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා ඔස්කාර් සම්මාන දිනා ගත්තා. ඊට අමතරව චිත්‍රපටයත් එහි ප්‍රධාන නිළියත් ටයිම් සඟරවේ කවරය සැරසීමට සුදුසුකම් ලැබුවේ චිත්‍රපටයේ ප්‍රගතිශීලී ස්ත්‍රීවාදී තේමා හේතුවෙනි. මේ චිත්‍රපටයට සාර්ථකත්වයත් සමඟම කැමරන්ට තමන්ට රිසි ව්‍යාපෘතියක් කරන්නට නිදහස ලැබුණා.

කැමරන්ගේ මීළඟ චිත්‍රපටයට පාදක වූ වස්තුබීජය ඔහුගේ සිතේ වැපුරුණේ පාසල් යන අවධියේ ජීව විද්‍යා පංතියකදීය. එම කතාව වූයේ තෙල් ලිං හාරන කණ්ඩායමකට වතුර යටදී අහම්බෙන් පිටසක්වල ජීවීන් ගැනය. ද අබිස් සඳහා එඩී හැරිස්, මේරි එලිසබෙත් මාස්ට්‍රැන්ටීනියෝ සහ මයිකල් බයින් රංගනයෙන් දායක වුණා. මුලදී ඩොලර් මිලියන 41 ක් නිෂ්පාදන වැයක් ඇස්තමේන්තු කළ මෙම චිත්‍රපටය ඒ කාලයේ හැටියට වැඩිම වයදම් දැරූ නිෂ්පාදනයක් වූවා. ඒ වගේම එයට නවෝත්පාදක (වැඩි දියුණු කළ) ප්‍රයෝග තාක්ෂණය ද අවශ්‍ය වූයේ චිත්‍රපටයෙන් වැඩි හරියක් වතුර යට රූගත කිරිම සිදුවිමත් ඒ වන විට දිය යට පරිසරයක් ඩිිජටල් නිර්මාණය කිරිමට තරම් තාක්ෂණය දියුණු වී නොතිබීමත් නිසාය.

ටර්මිනේටර් සාර්ථකත්වයත් සමඟ එහි දෙවන කොටසක් ගැන නිරන්තරයෙන්ම කතාබහට ලක් වුණා. සේර කොගර් සහ අනාගතයෙන් ආ මැෂින් සමඟ ඇගේ ගැටුමේ කතාව තවදුරටත් ගෙන යාම සඳහා කැමරන් ටර්මිනේටර් 2 ජජ්මන්ට් ඩේ නිර්මානණය කළා. ලින්ඩා හැමිල්ටන් නැවතත් සේර කොනර්ගේ චරිතයට පණ පෙවූ අතර ස්වාසනේගර් ද නැවත දෙවන කොටසට එක් වුණා. (මෙවර ආරක්ෂයෙකු ලෙස) මෙම දෙවෙනි කොටසේ පැමිණෙන අලුත් දුෂ්ටයා කලින් රොබෝට වඩා උසස් තාක්ෂණයෙන් පිරිපුන් ද්‍රව ලෝහ වලින් සෑදුණු බහුරූපීය (විවිධ ස්වරූප ගත හැකි) මැෂිමක් වූවා. එම චරිතය සඳහා කැමරන් තෝරා ගත්තේ ස්වාසනේගර්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්වරූපයක් ඇති රොබට් පැට්‍රික්ය. ඇබිස් චිත්‍රපටයට යොදා ගත් නව නිර්මාණශීලී පුරෝගාමී විශේෂ ප්‍රයෝග අත්විඳි කැමරන් තමන් කැමති ද්‍රව ලෝහ දුෂ්ටයා මෙහිදී නර්මාණය කළ හැකි බව පසක් කර ගත්තා.

කැමරන්ගේ පෙර චිත්‍රපටය මෙන්ම මෙයත් ඒ කාලයේ හැටියට අති විශාල වියදමක් දැරූ නිර්මාණයක් වුණා. මෙය ඩොලර් මිලියන 100 ක් වැය කරමින් නිෂ්පාදනය කළ ලොව ප්‍රථම චිත්‍රපටය වුණා.

ටර්මිනේටර් 2 බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් එම වසරේ වැඩිම ආදායම්ලාභි චිත්‍රපටය බවට පත් වුණා. ඊට අමතරව එය හොඳම වේශ නිරූපණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම ශබ්ද ප්‍රයෝග සංස්කරණය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා ඔස්කාර්් සම්මාන 4 ක් දිනා ගත්තේ අමතරව හොඳම සංස්කරණය සහ හොඳම කැමරාකරණයට නිර්දේශ වෙමිනි.

ටර්මිනේටර් 2 තිරගත වීමට කලින් කැමරන් හමුවීමට ආ ස්වාසනේගර් ප්‍රංශ කොමඩියක් වූ ලා ටොටාල් චිත්‍රපටයේ නව නිර්මාණයක් ටෲ ලයිස් යනුනේ නිපදීමට අදහසක් ගෙන ආවා. එහි කතාව වුණේ සාමාන්‍ය පවුල්කාරයෙකු ලෙස දෙබිඩි ජීවිතයක් ගෙන ගිය රහස් ඔත්තුවරයෙකු ගැනයි. ඔහුගේ බිිරිඳ විශ්වාස කරන්නේ ඔහු පරිගණක වෙළෙන්දෙක් කියායි. රහස් ඔත්තුකරුවාගේ චරිතයට ස්වාසනේගර් තෝරා ගත් අතර ඔහුගේ ඉලක්කය වූයේ අරාබි ත්‍රස්තවාදීන් පිරිසක් අමෙරිකාවට එරෙහිව දියත් කරන්නට යෙදුණු න්‍යෂ්ටික ප්‍රහාරයක් ව්‍යාර්ථ කිරීමයි. මේ චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් හිට් එකක් වූවා.

සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ මුහුදුබත් වීම ගැන කැමරන් විශේෂ උනන්දුක් දැක් වූවා. ඒ අනුව ඔහු තමාගේ ඊළඟ ව්‍යාපෘතිය ලෙස ඒ පිළිබඳව පිටපතන් ලියා එය සිනමාවට නැඟීමට තීරණය කළා. එයට පාදක වුණේ ටයිටැනික් නෞකාවේ මංගල ගමනේදී හමුවන සමාජ ස්ථර දෙකක ප්‍රේමයක් ගැන ගෙතුණු ප්‍රබන්ධයකි. නිෂ්පාදනය ආරම්භ වීමට කලින් කැමරන් අත්ලාන්තික් සාගරය තුළට කිමිදී මුහුදු බත් වූ නෞකාව රූපගත කළා. ඉන්පසුව ඔහු එම දර්ශන තම චිත්‍රපටයට ඇතුළත් කළා.

චිත්‍රපටයේ රගපෑම සඳහා කැමරන් ලියනාඩෝ ඩි කැප්‍රියෝ, කේට් ‘වින්ස්ලට් සහ බිලි සේන් තෝරා ගත්තා. එහි නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 200 ද ඉක්මවා ගියේ ටයිටැනික් එතෙක් ලොව වැඩිම වියදමක් දරමින් නිමැ වූ චිත්‍රපටය වෙමිනි. තිරගත වීමට පෙර මෙම අති විශාල නිෂ්පාදන වැය සහ දිගින් දිගට ඇදී ගිය නිෂ්පාදන ෂෙඩුලය ක්ෂේත්‍රයේ පරිහාසයට ලක් වුණා.

ටයිටැනික් ඒ වන විට ලොව වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටය බවට පත් වුණා. නිෂ්පාදන කාලය අතරතුර විවිධ විවේචනයන්ට ලක් වුණ ද මෙම චිත‍්‍රපටය 1998 ඔස්කාර් සම්මාන 14 කට නිර්දේශ වෙමින් වාර්තාවක් තැබුවා. (ඕල් අබවුට් ඊච් හා සම කළා). කැමරන්ට හොඳම අධ්‍යක්ෂක ද ඇතුළුව ඔස්කර් සම්මාන 11 ක් එය දිනාගත්තේ තවත් වාර්තාවක් සම කරමිනි. (බෙන්හර්, ලොඩ් ඔෆ් ද රිංග්ස් - රිටර්න් ඔෆ් ද කිං) කැමරන් ඔහුගේ ඊළගට චිත්‍රපටය අවතාර් එළිදැක්විම සඳහා වසර 12 ක් බලා සිටියා. අවතාර් චිත්‍රපටයේ ඇස්තමේන්තු කළ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 300 ඉක්ම වූ අතර එය මුළුමනින්ම වාගේ නිර්මාණය කර තිබුණේ පරිගණක සජීවිකරණය මඟින්ය. මීට පෙර අධ්‍යක්ෂ රොබට් සෙමෙකී විසින් ඔහුගේ ද පෝලර් ඒක්ස්ප්‍රස් චිත්‍රපටය සඳහා යොදා ගත් (Performance capture) තාක්ෂණය තවත් වැඩි දියුණු කරමින් කැමරන් මෙම චිත්‍රපටය සඳහා යොදා ගත්තා. ජේම්ස් කැමරන් 1995 දී අවතාර් සඳහා පිටු 80 ක පිටපතක් ලිව්වා. 1996 දී ඔහු නිවේදන කළේ ටයිටැනික් චිත්‍රපටයට පසුව එය නිර්මාණය කරන බවයි. 2006 දෙසැම්බර් මස කැමරන් මේ චිත්‍රපටය නිමැවුමට මෙතරම් කාලයක් බලා ඉන්නට සිදු වූයේ එය ඔහුට කැමති විදිහට නිර්මාණය කිරීමට අවශ්‍ය තරමට තාක්ෂණය දියුණු වී නොතිබුණු බැවින් යැයි ලොවට පැහැදිලි කළා. චිත්‍රපටය 2009 මැයි මස තිරගත කිරීමට මුලින් සැලසුම් කර තිබුණ ද එය 2009 දෙසැම්බර් දක්වා කල් දැමුවේ පසු නිෂ්පාදනයේදී සංකීර්ණ (CGI) ගැන්වීමට කල් ලබාදීමට සහ ලොව පුරා රඟහලවල්වලට ත්‍රිමාණ ප්‍රක්ෂේපන යන්ත්‍ර සවි කිරීමට වැඩිපුර කාලයක් ලබාදීමටත්ය. අවතාර් කැමරන්ගේම ටයිටැනික් චිත්‍රපටයේ ආදායම් වාර්තාව බිඳ දමමින් ලොව වැඩිම අදායම්ලාභී චිත්‍රපටය බවට පත් වුණා. එය හෙඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් සම්මාන 9 ක් සඳහා නිර්දේශ වෙමින් හොඳම කැමරාකරණය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගත්තා.

දර්ශන තලයේදී දකින ස්ථිර අධිෂ්ඨානයත් ඔහුට හුරු නොරිස්සුම් ගතියක් හේතුවෙන් කැමරන් සමඟ වැඩ කිරීම ඉතාමත් අපහසු කාරුණක් යන මතයක් සිනමා ලොව ගොඩ නැඟී තිබෙනවා. කැමරන් තමාගේ කාර්ය මණ්ඩලය සහ තමන්වම අන්තයටම මහන්සි කරවන නමුත් චිත්‍රපට සහ තාක්ෂණය සංකලය කරමින් ඉතා පහසුවෙන් මැනවින් ගෙතුණු කතාව සහ ත්‍රිමාන චරිත මැවීමට ඇති හැකියාව ගැන කිසිවකුත් සැක කරන්නේ නැහැ. විශාලත්ව, අවකාශය සහ වාණිජමය සාර්ථකත්ව යන අතින් බැලූ කල ඔහුගේ චිත්‍රපට වූ ටයිටැනික් සහ අවතාර් සිනමාවේ ප්‍රභාවත්මක සිදුවිම් වූවා. මේ චිත්‍රපට කැමරන් ජීවමාන පුරාවෘත්තයක් තත්ත්වයට පත්කර ඇති අතර ඔහු හොලිවුඩ් ඉතිහාසයේ බිහි වුණු වඩාත් නිපුන, අගැයීමට ලක් වුූ සහ ඒ හැමටම වැඩියෙන්ම සාර්ථකම අධ්‍යක්ෂවරයකු බවට තම නාමය ස්ථාපිත කරගෙන තිබෙනවා.

Personal Quote

මිනිස්සු කියනවා මං පාරප්‍රාප්තවාදියෙක් කියා. මම එහෙම කෙනෙක් නෙවෙයි. මම ඇවිල්ලා දෙයක් හරියටම කරන කෙනෙක්. මං යම් දෙයක් හරි යනකංම කරනවා. ඊට පස්සේ තමයි මම ඊළඟ වැඩේට යන්නේ.