වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝක වේදිකාවට අහිමි වූ විප්ලවවාදී නාට්‍යකරුවා

ලෝක වේදිකාවට අහිමි වූ විප්ලවවාදී නාට්‍යකරුවා

ඩාරියෝ ෆෝ තමන්ගේ නාට්‍යවලින් ඇමෙරිකාව, යුද්ධය, ඉතාලි පැසිස්ට්වාදය, දේශපාලන ඝාතන, පාප් වහන්සේ ප්‍රමුඛ කතෝලික පල්ලිය, ගබ්සා විරෝධය වැනි කරුණු දරුණු ලෙස විවේචනයට හසු කළේය. එනිසා නොයෙක් ආපදාවන්ට මුහුණ දෙන්නට ද ඔහුටත් ඔහුගේ නිළි බිරිඳටත් සිදු වූයේය. වරක් බිරිඳ ෆ්‍රෑන්ක් රාමේ පැහැරගත් පැසිස්ට්වාදීහු ඇයව දූෂණය කළ අතර මුහුණ විකෘති කරන්නට ද උත්සාහ දැරූහ. ඔවුන්ට විදෙස් ගතවන්ට ඉතාලි රජය ඉඩ නොදුන් අතර ඇමෙරිකාව වැනි රටවල් ඔවුන්ගේ වීසා ද අවලංගු කළේය.

නොබෙල් ත්‍යාගලාභී ඉතාලි නාට්‍යකරු ඩාරියෝ ෆෝ පසුගිය 13 වැනි දින මිලාමෝ නගරයේදී මෙලොව හැර ගියේය. ඔහු බර්ටොල්ට් බ්‍රෙෂ්ට් පසු ජාත්‍යන්තර වේදිකවේ බිහි වූ විශිෂ්ටතම නාට්‍යකරුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි.

1926 දී උතුරු ඉතාලියේ සත්ජියානෝ ප්‍රදේශයේ උපන් ඩාරියෝ ෆෝ ස්වකීය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ 1953 දීය. දේශපාලනමය වශයෙන් මාක්ස්වාදී ආස්ථානයක පිහිටුවමින් ඔහු දිගු, කෙටි හා ගුවන් විදුලි නාට්‍ය පනහකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇත. ස්වකීය බිරිඳ ෆ්‍රැන්කා රාමේ සමඟ එක්ව හෙතෙම අභියෝගාත්මක නාට්‍ය දිවියකට මුල පිරුවේය.

1957 දී ඩාරියෝ ෆෝ තමාගේ නාට්‍ය සමාගම පිහිටුවා ගත්තේය. එතැන් සිට 1968 වනතෙක් ඔහු රචනා කර නිෂ්පාදනය කළ නාට්‍ය අතර ARCHANGELS DON'T PLAY PINBALL (1959), HE HAD TWO PISTOLS WITH WHITE AND BLACK EYES (1960) DUMP THE LADY (1967) (1967) යන කෘති සුවිශේෂී වෙයි. මෙයින් 'HE HAD TWO...'  නාට්‍යය බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ 'ත්‍රි පෙනී ඔපෙරා' හා 'අර්තුරෝ උයි' යන නාට්‍ය දෙක ඇසුරෙන් නිෂ්පාදනය වූවකි. 'DUMP THE LADY' නාට්‍යය ඩාරියෝ ෆෝ වියට්නාම් යුද්ධයේ ඇමෙරිකානු මැදිහත්වීම් විවේචනය කළේය. ඒ නිසා ඔහුට ඇමෙරිකාවට ඇතුළුවන්ට වීසා පවා නොදුන්නේය.

1968 ඩාරියෝ ෆෝ තම බිරිඳ සමඟ එක්ව NUOVA SCENA  නමින් නව නාට්‍ය සංවිධානයක් පිහිටුවා ගත්තේය. මෙම සංවිධානයට ඉතාලි කොමියුනිස්ට් පක්ෂය සමඟම සම්බන්ධකම් ද තිබිණි. එහෙත් එම පක්ෂයේ ඇතැම් ප්‍රතිපත්ති ඩාරියා ෆෝගේ බලවත් විවේචනයට හසුවීම මත ඔහු 1970 දී ඉහත නාට්‍ය සංවිධානය අතහැර 'COLLECTIVO TEATRALE LA COMENE' නමින් නවතම නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. ACCIDENTAL DEATH OF AN ANARCHIST (1968)  නාට්‍යය ඔහු රචනා කර නිෂ්පාදනය කළේ ඉහත කණ්ඩායම සමඟය. මෙම නාට්‍යය ඩාරියෝ ෆෝට ජගත් කීර්තියක් අත් කර දෙන්ට ඉවහල් වූයේය.

'THE PEOPLE'S WAR IN CHILE' (1973) 'WE CAN'T PAY? WHO WON'T PAY?' (1974) 'FEMALE PARTS' (1977) හැත්තෑව දශකයේදී ඩාරියෝ ෆෝ නිර්මාණය කළ සුවිශේෂ නාට්‍ය කීපයකි. මෙයින් 'ඊඩඥ ර්‍ථඡ්ර්‍ණර්‍ථඹ්ඡ්...' නාට්‍යය චිලියේ කොමියුනිස්ට් පක්ෂ නායකයාව සිටි අයියෙන් ඩේගේ ඝාතනය පසුබිම් කරගත්තකි.

TRUMPETS AND RASPBERRIES' (1980) 'THE OPEN COUPLE' (1983) 'THE POPE AND THE WITCH' ඩාරියෝ ෆෝගේ තවත් විශිෂ්ට නාට්‍ය නිර්මාණ අතර වෙයි.

ඩාරියෝ ෆෝ තමන්ගේ නාට්‍යවලින් ඇමෙරිකාව, යුද්ධය, ඉතාලි පැසිස්ට්වාදය, දේශපාලන ඝාතන, පාප් වහන්සේ ප්‍රමුඛ කතෝලික පල්ලිය, ගබ්සා විරෝධය වැනි කරුණු දරුණු ලෙස විවේචනයට හසු කළේය. එනිසා නොයෙක් ආපදාවන්ට මුහුණ දෙන්නට ද ඔහුටත් ඔහුගේ නිළි බිරිඳටත් සිදු වූයේය. වරක් බිරිඳ ෆ්‍රෑන්ක් රාමේ පැහැරගත් පැසිස්ට්වාදීහු ඇයව දූෂණය කළ අතර මුහුණ විකෘති කරන්නට ද උත්සාහ දැරූහ. ඔවුන්ට විදෙස් ගතවන්ට ඉතාලි රජය ඉඩ නොදුන් අතර ඇමෙරිකාව වැනි රටවල් ඔවුන්ගේ වීසා ද අවලංගු කළේය.

1997 දී ඩාරියෝ ෆෝට නොබෙල් ත්‍යාගය පිරිනැමිණි. එහි හේතු පාඨයෙන් කියැවුණේ 'ඩාරියෝ ෆෝ මධ්‍යතන යුගයේ කවටයන් ගත් මඟ ගනිමින් පීඩකයාට බැට දෙමින් පීඩිතයාගේ ආත්ම ගරුත්වය නංවාලයි' කියාය. මොහුට නොබෙල් තෑග්ග හිමිවීම කතෝලික පල්ලියේ උදහසට ලක් වූ කරුණක් විය.

ඩාරියෝ ෆෝගේ නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මුලින්ම හඳුන්වාදිමේ ගෞරවය හිමි වන්නේ විජිත ගුණරත්නටය. ඔහු 'ඇක්සිඩෙන්ටල් ඩෙත් ඔෆ් ඇනාකිස්ට්' නාට්‍යය 'සාක්කි' (1986) නමින් පරිවර්තනය කර වේදිකාවට ගෙන ආවේය. ඒ දේශපාලන සිරකරුන් නිදහස් කර ගැනිමේ සංවිධානය වෙනුවෙනි. එසේම ඒ නාට්‍යයම පසු කලෙක පරාක්‍රම නිරිඇල්ල සහ එච්. ඒ. පෙරේරා 'වරෙන්තු' (1995) නමින් නිෂ්පාදනය කළහ. 'ට්‍රම්පට් ඇන්ඩ් රාස්බෙරිස්' නාට්‍යය ප්‍රසන්න විතානගේ 'ද්විත්ව' නමින් (පසුව දෙබිඩ්ඩෝ) (1991) පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත. ඩාරියෝ ෆෝගේ 'වී කාන්ට් පේ, වී ඩොන්ට් පේ' නාට්‍යය කපිල කුමාර කාලිංග 'අපි ගෙවන්නෙ නැහැ' නමින් වේදිකා ගත කළ අතර එහි සිංහල පරිවර්තනය විජිත ගුණරත්නගෙනි. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ 'ගැබ්බර මිනිසා' ඩාරියෝ ෆෝගේ 'ONE WAS NUDE AND ONE WORE TAILS' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. ඩබ්ලිව්. එස්. විජේසිංහ මෙහි පරිවර්තකයාය. මෙහි නාට්‍ය පිටපත 'ගැබ්බර මිනිසා' නමින් පළව ඇත.

මෙම නාට්‍යයෙන් ඩාරියෝ ෆෝ කියන්නේ ගබ්සාව නීතිගත කළ යුතු බවකි. එහෙත් 'ගැබ්බර මිනිසා' නාට්‍යයේ ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කෙරුණු බවට (ගබ්සාව නීතිගත කළ යුතු නැත යනුවෙන්) විචාරකයන්ගෙන් චෝදනා එල්ල විණි.

කවර දේශපාලනික, ආගමික එදිරිවාදිකම් මතු වුවත් ඉන් නොසැලී ජීවිතය පවා පරදුවට තබා මහත් කැපවීමෙන් යුක්තව මනුෂ්‍ය ජීවිතයේ යහපත් හෙට දවස උදෙසා නාට්‍යකරණයේ නියැලුණු ඩාරියෝ ෆෝ බොහෝ නාට්‍යකරුවන්ට පූර්වාදර්ශයක් බව කියනු කැමැත්තෙමි.