වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මීරා නායර්ගේ නවතම චිත්‍රපටය දැන් ලංකාවේ

මීරා නායර්ගේ නවතම චිත්‍රපටය දැන් ලංකාවේ

Queen of Katwe

මීරා නායර් පිළිබඳවද සටහනක් තැබිය යුතු වන්නේය. මෙරට ප්‍රබුද්ධ සිනමා රසිකයන්ගේ මනස අවදි කළ සිනමා කෘතියක් වූ Salaam Bombay චිත්‍රපටය නිර්මාණය කළේද විශිෂ්ට ඉන්දීය සිනමාවේදිනියක වූ මීරා නායර් විසිනි. ඇය විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතර ම්චථච ඉභබපච මෙරට අතිශය සාර්ථක වූ සිනමා නිර්මාණයක් විය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද Mississippi Masala, The Reluctant Fundamentalist, Monsoon Wedding වැනි චිත්‍රපට විශේෂ වේ. Salaam Bombay චිත්‍රපටයට ඉන්දීය ජාතික සම්මානය සමඟින් මොන්ට්‍රියල් ජාත්‍යන්තර සිනමා උලෙළේ ජූරි සම්මානය සහ ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානය යන සම්මාන ද්විත්වය හිමි විය. එය 1989 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් වූ නිර්දේශ නාම අතරට ඇතුළත් විය.  Salaam Bombay, Mississippi Masala  චිත්‍රපට වැනිස්, කාන් වැනි ජාත්‍යන්තර සිනමා උලෙළවල සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය. 2012 වසරේදී ඇය ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම භූෂන සම්මානයෙන් පිදුම් ලැබුවාය. මීරාගේ නවතම සිනමා නිර්මාණය Queen of Katwe දැන් ශ්‍රී ලංකාවේද තිරගත වේ.

ෆියෝනා උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නගරයේ ‘කත්වා’ නම් ප්‍රදේශයේ වෙසෙන දස වියැති දැරියකි. කත්වාහි වෙසෙන බොහෝ පවුල්වලට සේම, ෆියෝනාගේ පවුලටද ජීවත්වීම යනු සටනකි.

මෙවන් පසුබිමකදී ෆියෝනාට මිෂනාරිවරයකු වන රොබට් කතෙන්දේ මුණගැසේ. කතෙන්දේ පාපන්දු පුහුණකරුවෙකු මෙන්ම ළමයින් චෙස් ක්‍රීඩාව කෙරෙහි උනන්දු කරවන්නෙක්ද වේ. චෙස් ක්‍රීඩාව ගැන කුතුහලයෙන් සිටින ෆියෝනා, ඉක්මනින් එය ඉගෙන ගන්නා අතර කතෙන්දේගේ මඟ පෙන්වීම යටතේ හොඳම චෙස් ක්‍රීඩීකාව බවටද පත් වන්නීය.

වසරින් වසර මුහුණ දෙන චෙස් තරග ඔස්සේ දක්ෂ ක්‍රීඩිකාවක බවට පත් වන ෆියෝනාට ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට අමතරව තවත් අභියෝග රැසක් ජය ගැනීමට සිදු වේ. මවත් සහෝදර සහෝදරියන්ද ඇතුළුව පවුල දුප්පත්කමින් මුදාගෙන අලුත් ලොවකට පියනැඟීම ෆියෝනා සිය අභිමතාර්ථය කරගන්නීය.

මීරා නායෙර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු Queen of Katwe  (කත්වේ රැජන) චිත්‍රපටයේ කතාව මෙලෙසින් දිගහැරේ. උගන්ඩාවේ දුගී පැලක උපත ලබා ජාත්‍යන්තර චෙස් ඔලිපියාඩ් තරගාවලිය දක්වා ගියා ෆියෝනා මුටෙසිගේ සත්‍ය ජීවිත කතාව අළලා ටිම් ක්‍රොතර්ස් නම් ලේඛකයා විසින් රචිත The Queen Of Katwe: Song of Life, Chess and One Extraordinary Girl’s Dream of Becoming a Grand Master  නම් කෘතිය මෙම චිත්‍රපටයට පාදක වී ඇත. ඩේවිඩ් ඔයිලෝවෝ, ලුපිතා නියුන්ගෝ සහ මදීනා නල්වන්ගා යන නළු නිළියන් ප්‍රධාන චරිත රඟදක්වන මෙම චිත්‍රපටය වෝල්ට් ඩිස්නි පික්චර්ස්, ESPN ෆිල්ම්ස් ඇතුළු නිෂ්පාදන ආයතන සතරේ නිෂ්පාදනයකි. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ලොවපුරා විකාශය ඇරඹි මෙම චිත්‍රපටය විනාඩි 124ක ධාවන කාලයකින් යුතු වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 15ක අඩු පිරිවැයකින් නිෂ්පාදනය කර ඇත.

ආදායම අතින් එතරම් සාර්ථක නොවුනද විචාරක පැසසුම් අතින් ඉහළ ප්‍රතිචාර ලද චිත්‍රපටයක් බවට Queen of Katwe චිත්‍රපටය පත් වී ඇත. විශේෂයෙන්ම ලුපිතා නියුන්ගෝ ගේ දක්ෂ රංගනයට බෙහෙවින් ප්‍රශංසා ලැබී ඇති අතර, IMDB දර්ශකයේ ලකුණු 7.2/10ක් ද රොටෙන් ටොමැටෝස්හි ලකුණු සියයට 91ක් සහ මෙටාක්‍රිටික් අඩවියේ ලකුණු සියයට 73ක් ලබා ඇත.

රොටන් ටොමැටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන්නේ, මෙය දුලබ සහ හොඳ යමක් සේ දැනෙන චිත්‍රපටයක් වන අතර ලුපිතාගේ රංගනය චිත්‍රපටය ඉහල තලයකට ගෙන යන බවයි.