වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පර්යේෂණය අත්දකින්න එන්න

මේ පර්යේෂණය අත්දකින්න එන්න

ඉන්දික ෆර්ඩිනැන්ඩු

‘කලම්බෝ කලම්බෝ’ සහ ‘ජනාධිපති තාත්තා’ වැනි රාජ්‍ය සම්මානනීය නාට්‍ය නිෂ්පාදනය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවත ම නාට්‍යය නිර්මාණය වන  ‘The Irresistible Rise of Mr. Signno  හෙවත් සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම’ මේ මස 10 සහ 11 දෙදින පස්වරු 6.30ට මරදාන අශෝක විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ දී රංග ගතවෙයි. මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසත් සේවය කරන ඔහුගේ නවත ම රංගාවතරණය පිළිබඳ සරසවිය සමඟ කළ සාකච්ඡාවකි.

මේ වේදිකා නාට්‍යයට ‘සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම’ වගේ නමක් යොදා ගත්තේ ඇයි ?

බ්‍රර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් තියෙනවා ‘ද රෙසිස්ටබල් රයිස් ඕ අර්තුරෝ ඌයි’ කියලා. ඒක ධර්මසිරි බණ්ඩාරනායක ‘යක්ෂාගමනය’ කියලා වේදිකාවට ගෙනාවා. ඒ නිර්මාණයේ දී කියන්නේ ඉතාම පහළ මැරයෙක් කොහොමද රූපාන්තරණය වුණේ ඒකාධිපති පාලකයෙක් දක්වා කියලා. ඒක අපට වළක්වන්න තිබුණා කියන එකයි බ්‍රෙෂ්ට් කියන්නේ. හැම තිස්සේ ම බ්‍රෙෂ්ට් විශ්වාස කළ දෙයක් වුණේ අප මේ ගත කරමින් සිටින තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ නිසයි නිතර ම ඔහුගේ නාට්‍යවල හැමවිටම වෙනස් කළ යුතු තත්ත්වයන් හා වෙනස් කළ හැකි තත්ත්වයන් පෙන්වන්නේ. නමුත් අද වනවිට ලාංකේය දේශපාලන ක්‍රියාවලියේ ඉතා ම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක් වුණේ පසුගිය අවුරුදු දහය විතර ඇතුළේ නිකමුන් සමහරුන් වීමේ ප්‍රවණතාවයි. එහිදි නිකමුන් සමහරුන් වී අපේ පාලකයන් බවට පත් වෙමින් සිටියා. ඒ ඉතා ම පහළ ම පරිපාලන ඒකකයේ සිට ඉතා ඉහළ ම පරිපාලන ඒකකය දක්වා. ඉතිං මේ නිකමුන් සමහරුන් වීමේ රූපාන්තරණ ක්‍රියාවලිය ගැන උපමා කතාවයි  The Irresistible Rise of Mr. Signno  කියන්නේ.

The Irresistible Rise of Mr. Signno  හෙවත් සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම කියන නිර්මාණය වේදිකාවට රැගෙන එන්න සිතුවේ ඇයි ?

මූලික ලෙස ම මා මේ නාට්‍යය නිෂ්පාදනය කරන්න හේතුවුණේ මගේ සමාජ, දේශපාලනික කියැවීම ම ප්‍රකාශයට පත් කිරීම ම නොවෙයි. ඊට වඩා ප්‍රමුඛ තත්ත්වයේ තියෙන්නේ මා මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ දී කරන මගේ ආචාර්ය උපාධි පරීක්ෂණයයි. ඒ සඳහායි මේ නිර්මාණය මා රැගෙන එන්නේ. එහිදි මම කරන්නේ නාට්‍ය හා රංග කලාව පැත්තෙන් ලංකාවේ පළමු පර්යේෂණය විය හැකියි.

මේ පර්යේෂණය සම්ප්‍රදායික රංග කලාව හා යාතුකර්ම රංග කලාව අතර පවතින සබඳතාව විග්‍රහ කර බැලීමක් ද?

අපට තියෙන්නේ මධ්‍යම පාන්තික රංග කලාවක්. ඒක මධ්‍යම පංතිය පීනනය කරන සහ මධ්‍යම පන්තිය විසින් නඩත්තු කරන රංග කලාවක්. ලෝකයේ බොහෝ තැන්වල ඒක එහෙමයි. එහි ඊට වඩා වෙනස් රංග කලා භාවිතාවන් තිබෙන බවත් ඇත්තයි. කෙසේ වෙතත් අපේ රංග කලාවේ මධ්‍යම පාන්තික සුව පහසු ජීවිතයට අභියෝගයට ලක්කරන කිසිවක් මේක ඇතුළට ගෙනියන්න බැහැ. ඒ ඔස්සේ සැබෑ ජීවිතය ඉඳුරන්ට ගෝචර වන ලෝකය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට දරන උත්සාහයක් තමයි මේක ඇතුළේ බොහෝවිට තියෙන්නේ. ඒක කරන්නේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයෙන්.

නමුත් මිනිස්සුන්ට ඊට වඩා ඉන්ද්‍රියයන් ටිකක් තියෙනවා. නාසයක්, දිවක්, ශරීරයක් තියෙනවා. ඔය වගේ තවත් ඉන්ද්‍රියයන් කිහිපයක් තිබුණත් ඒවා අපේ රංග කලාව ඇතුළේ පාවිච්චි වන්නේ නැහැ. ඒකට හේතුව වන්නේ මාධ්‍යම පාන්තික සුවපහසු ජීවිතය අභියෝගයට ලක්වීමයි. නමුත් අපේ යාතු කර්ම රංග කලාවේ ඔය තත්ත්වය ඊට වඩා වෙනස්. එහිදි උත්සාහ කරන්නේ අපේ සියලු ම ඉන්ද්‍රියයන්ට ආමන්ත්‍රණය කිරීමටයි. එතැනදි සිද්ධ වෙන්නේ ජන ප්‍රජාව මූලික වුණු කලාවක් බවට පත්වීමයි. එතැන පන්තිමය තත්ත්වයක් නිර්මාණය වී නැහැ. මේ අනුව යාතු කර්මය කියන්නේ පොදුජන කලා ව්‍යවහාරයක්. මා මේ නාට්‍යයේදී කරන්නට උත්සාහ කරන්නේ ඒ සියලු ඉන්ද්‍රියයන්ට ආමන්ත්‍රණය කිරීමයි.

යාතු කර්මය කියන පොදුජන කලා ව්‍යවහාරය වේදිකාවට රැගෙන ඒමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් ද?

ඒක ඇතුළේ තියෙන මූලික සමාජීය කරණා ඒ විදියට ම නාගරික හෝ අර්ධ නාගරික සමාජයට ගේන්න බැහැ නේ. හැබැයි ඒ යාතු කර්මයෙන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වන අත්දැකීම, ඒ අත්දැකීම නිෂ්පාදනය කරන දේවල් ගේන්න පුළුවන්. මුදල් අය නොකර නාට්‍ය පෙන්වන්න බැහැ නේ. ඒ වගේම ඒ ගොඩනැගිල්ල ඇතුළෙන් සම්පූර්ණයෙන් ම එළියට යන්නත් බැහැ. ඒ සමාජීය තත්ත්වයන් වෙනස්වීමත් සමඟයි නාට්‍ය කලාවත් වෙනස් වෙලා තියෙන්නේ. යාතු කර්මය නැවත ගේනවා කියලා අපට බැහැ යාතු කර්මය හා සම්බන්ධ සියලු සමාජ, දේශපාලනික සම්බන්ධතා සහ සාධකවලින් පරිණාමය වුණු සමාජයක එය නැවත පිහිට වන්න. එහෙත් අපට කළ හැක්කේ ඒ රිචුවල් අත්දැකීම් නිෂ්පාදනය කරන උපක්‍රම ටික සමකාලීන රංග කලාවට ගෙනෙන්න පුළුවන් ද කියලා උත්සාහ කර බැලීමයි. මේ මා උත්සාහ කරන්නේ අපට තිබෙන ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමෙන් එහාට මේ නාටකීය අත්දැකීම ගෙන යෑමටයි. එනම් මේ නාට්‍ය හරහා යාතු කර්මයේ ආභාසයෙන් ඉන්ද්‍රීයයන් දෙකකට පමණක් සීමාවුණු අපේ නාට්‍ය කලාව ඇතුළට සියලු ම ඉන්ද්‍රියයන්ට ආමන්ත්‍රණය කරන රංගානුභූතියක් නිර්මාණය කළ හැකි ද යන්න විමසා බැලීමටයි.

සියලු ම ඉන්ද්‍රියයන්ට ආමන්ත්‍රණය කරන රංගානුභූතියක් නිර්මාණය කිරීම අර්ථ ගැන්වීම සඳහා ඔබ වඩාත් සුදුසු යැයි සිතන්නේ යාතු කර්මය බවයි මේ මඟින් හැඟෙන්නේ?

මට තිබෙන ආදර්ශනය එපමණයි. යාතු කර්මයේදී මා ඒ දේ අත්විඳලා තියෙනවා. ඒ 1998 වසරේ ඉඳන්. මෙහිදී යාතු කර්ම බලනවා කියන වචනය යොදා නොගත යුතු බවයි මගේ හැඟීම වන්නේ. ඒ වචනය යොදා ගැනීමෙන් හැඟෙන්නේ ඇස මූලික වන බවයි. එහෙත් සියලු ම ඉන්ද්‍රියයන්වලට සම්බන්ධව කිව්වොත් ඒ කෙනාව අප හැඳීන්විය යුත්තේ එක්ස්පිරියන්සර් කරන්නා යන අර්ථ දෙන අත්දකින්නා යන්නයි. (මෙය මා නිර්මාණ කළ වචනයකි.) ඒ නිසා මගේ මේ නාට්‍යයට එන්නේ අත්දකින්නෝයි. එහෙම අයවයි අප නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්නේ. එහෙම අයවයි ඒ මනුෂ්‍ය ශරීර මගින් එළියට ගන්න උත්සාහ ගන්නේ.

නාට්‍යානුභූතිය රැගෙන ඒමට යොදා ගන්නා සුවඳ වර්ග භාවිත කරන්නට ඔබ අදහස් කරන්නේ කුමන ආකාරයෙන් ද?

අපට යාතුකර්මයේ දී නිතර ම වගේ අත්විඳීන්න ලැබෙන දෙයක් වන්නේ මේ කට්ටකුමන්ජල් හා සාම්බ්‍රානි වගේ දේවල්වල සුවඳයි. එහිදි ඒවා යොදා ගැනෙන්නේ විවෘත පරිසරයකයි. එවැනි පරිසරයක මුදා හැරෙන සුවඳ වර්ග නිසා ඒවා එහෙමම වා තලයට මිශ්‍ර වී යෑම සාමාන්‍ය සිදුවීමක්. ඒ වගේ ම එතැනදි සිද්ධ වෙන්නේ සුවඳ වර්ග දහනය කිරීමයි. එහෙත් මේ කටයුත්ත සිදු වන්නේ ගොඩනැගිල්ලක් ඇතුළේ නිසා මේ සඳහා යොදා ගන්නේ කුමන දේවල් ද යන්න ගැන තවමත් සිතමින් සිටිනවා. දැනට තීරණයකට පැමිණ තිබෙන්නේ අපත් සාම්බ්‍රානි, කට්ටකුමන්ජල් පාවිච්චි කිරීමටයි. එසේ කරන්නේ ඒක නාටකයේ අනුභූතියට අදාළ කාරණයක් නිසා මිස යාතු කර්මවල භාවිත කරන නිසා නොවෙයි. වෙනත් සුවඳ වර්ග විසුරුවන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. මොකද එහෙම කරන්නට අප සිතුවේ ශාලාවක් ඇතුළේ සිටින නිසා එහි ඇතිවන දුම හේතුවෙන් ප්‍රේක්ෂකයා පත්වන අපහසුව අවම කිරීමයි. ඒ නිසා දහනය කරන සුවඳ වර්ග වගේ ම ඉසින සුවඳ වර්ගත් භාවිත කරන්න අප අදහස් කරගෙන සිටිනවා.

නගරබද සිටින බොහෝ ප්‍රේක්ෂකයන් පුරුදු වී සිටින්නේ සම්ප්‍රදායික වේදිකාවක් මත දකින සම්ප්‍රදායික රංග කාර්යයක් නැරැඹීමටයි. මේ නාට්‍යයේ දී කරන ආකෘතිමය වෙනස ඔවුන් කුමන ආකාරයෙන් බාර ගනීවි දැයි ඔබ සිතනවාද?

පළමු වැනි කාරණය කියන්න ඕනෑ මේක පර්යේෂණයක්. ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය අත්වින්දට පස්සේ ඒ අතරින් කැමැති කෙනෙකුට මේ පර්යේෂණයට සම්බන්ධ වෙන්න කියලා මා ආරාධනා කරනවා. ඒ අවස්ථාවේ ඔබේ අත්දැකීම මාත් සමඟ සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කරලා ඒ සඳහා සහභාගි විය හැකියි.න යාතු කර්මයක් නාට්‍යයක් බවට රැගෙන එන ගමනේදී ඔබට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රායෝගික ගැටලු මොනවාද?

මෙහිදි මම ගින්දර පාවිච්චි කරනවා. පන්දම්, විලක්කු වගේ දේවල් වුණත් නාට්‍යයේ දි පාවිච්චි වෙනවා. ඒ නිකම්ම නිකම් නොවෙයි නර්තනයටයි ගින්දර පාවිච්චි කරන්නේ. එවිට විවෘත වේදිකාවක දි නැති බොහෝ ප්‍රශ්නවලට ගොඩනැගිල්ලේ දී මුහුණ දෙන්න සිදුවුණා. සම්ප්‍රදායික යාතු කර්මවල ඉන්න ශිල්පීන්ට නම් ගින්දර සමඟ කටයුතු කිරීමේ අත්දැකීම් තියෙනවා. මේ නිර්මාණයේ දී එහෙම අත්දැකීම් තිබෙන අය ඉන්නේ කිහිපදෙනයි. හුඟක් අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා සමකාලීන නර්තන අධ්‍යයන අංශයේ ශිෂ්‍යයෝ. එතැන ඉන්න බහුතරයකට ගින්දර සමඟ ගනුදෙනු කිරීමේ එහෙම සම්බන්ධතාවක් නැහැ. ඒ නිසා අපේ නළුවන්ගෙන් තව තවත් කුසලතා ඉල්ලා සිටිනවා කියලා මට සිතෙනවා. අපේ වැඩමුළුවල ගිනිකෙළි උගන්වන්නේ නැහැ නේ. එහෙම වුණත් සම්ප්‍රදායික රංග කලාවන්වලදි ශිල්පීන් නළු නිළියන්ගෙන් ඊට වඩා කුසලතා බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට ගම්මඩු වගේ ශාන්ති කර්මවල පිනුම්, කරණම් ආදිය ගොඩක් තිබෙනවා. අපේ නළුවන්ට ඒ තරම් පිනුම්, කරණම් බැහැ නේ. මේ නිසා මේ වගේ නාට්‍ය කරන්න නම් ඒ වගේ කුසලතාවලින් පරිපූර්ණ වූ නළු නිළියන් අවශ්‍යයයි. නිෂ්පාදනයේ දී මේ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන වාද්‍ය භාණ්ඩ වන්නේ පහතරට බෙරය හා පියානෝවයි. ඊට අමතරව තවත් බෙර වර්ග කිහිපයක් මෙතැනදි අපි භාවිත කරනවා. පහතරට නර්තනයට විශේෂ තැනක් හිමි වුණත් සමහර තැන්වලදි උඩරට නර්තනයත් භාවිත වෙනවා.

සංගීතය යොදා ගැනීමේ දී වෙනස් ම අර්ථයක් ඔප් නංවන්නයි ඔබ මේ සූදානම් වන්නේ?

එකක් මේ මා ගේන්න හදන්නේ සංයෝජිත සංගීතයයි. පහතරට ශාන්ති කර්මවලින් අපට ලැබිලා තිබෙන ඉතා ම වැදගත් සාධකයක් ලෙස මා සලකන්නේ පහතරට බෙරයයි. ඒ බෙරයට කරන්න හැකි දේ සුවිශාලයි. මේ පහතරට බෙරය කියන භාණ්ඩය භාවිත කළ හැක්කේ නටන්න පමණක් නොවෙයි. එය සුපරික්ෂාකාරීව අධ්‍යයනය කළොත් මේ බෙරයට ඊටත් වඩා සෑහෙන්න දෙයක් කළ හැකියි. මගේ පර්යේෂණයේ දී ඒ ගැන මා විශේෂ අවධානයට යොමු කළා. අනෙක් පැත්තෙන් පියානෝව ගේන්නේ අපේ සමකාලීන සංගීතයේ රුව ගුණ සහ සම්ප්‍රදායික සංගීතයේ රුව ගුණ එකතු කිරීමේ අදහසින්. ප්‍රධාන වශයෙන් සිංහල ජන සංගීතයේ තිබෙන නාද රටා සමඟ ගනුදෙනුවක් තිබෙනවා. එහෙම කියලා අප එතනට සීමා වෙන්නේ නැහැ. සමකාලීන සංගීත භාවිතාවන්ගේ ආලෝකයත් සමඟයි මෙහි සංගීතය නිර්මාණය වෙන්නේ. කනට මිහිරි කියලා තිබෙන නාදයන්ගේ සංගීතයකට වඩා කායිකව පොලඹවන සුළු නාදයන් වෙතටයි නාට්‍යයේ දී ගමන් කරන්නේ. මෙහි සංගීතය සපයන්නේ ලහිරු මාඬිවිලයි. ඔහුත් මේ නාට්‍යයේ නළුවෙක්. ඒ නිසා මේ නාට්‍ය තිබෙන්නේ වෘන්දමය රංගනය කියන නාට්‍ය සංකල්පයේ. මේ නාට්‍යයේ රචනාව විසින් යෝජනා කරන ප්‍රධාන චරිත, උප ප්‍රධාන චරිත, සුළු චරිත තියෙනවා. නමුත් මෙහි ප්‍රධාන නළුවෝ, උප ප්‍රධාන නළුවෝ, සුළු නළුවෝ කවුරුත් නැහැ. සියලුදෙනාම එක වගේ වැදගත්. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන සෞම්‍ය ලියනගේ, අනසූයා, ස්ටෙෆාන් වගේම ඉතාම සුළු චරිතය කරන අපේ පළමු වසර ශිෂ්‍යයාව පවා වැදගත්. එයයි මේ නාට්‍ය යේ තිබෙන විශේෂත්වය වන්නේ.