වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රස කතා

‘පට්ට පොරවල් නෝන්ඩි වෙලා’

පසුගිය දිනෙක ඇපේ ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමාපටය වන ඇඩ්‍රස් නැහැ ගීත ත්‍රිත්වය මාධ්‍යයට නිකුත් කිරීමේ උත්සවයක් පැවැත්වුණා වැල්ලවත්ත සවෝයි සිනමා ශාලාවේ. මේ සඳහා එම ගීත රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංගීතය සැපයූ රෝහණ වීරසිංහ, ගීත ගැයූ නෙලූ, නිරෝෂා වගේ අය සහභාගී වී සිටියා. මෙම ගීත තුනෙන් වැඩිම ප්‍රතිචාර ලැබුණේ ගයාන් ගැයූ ඇඩ්‍රස් නෑ සිනමාපටයේ තේමා ගීතයටයි. පෞද්ගලිකව මමත් කැමැති ඒකට. ඒ ගීතය ලිව්වේ මහාචාර්යතුමා ද කියලත් සැකයක් තියෙනවා. ඒ වගේම එහි සංගීතය නිර්මාණය කළේ රෝහණද මන්දා. එච්චරටම ඒක වෙනස්ම වෙනස්. එම ගීතයේ එක්තරා තැනක තියෙනවා 'පට්ට පොරවල් නෝන්ඩි වෙනවා' කියලා. ඒකට තමයි ගොඩක් අය කැමැති. මේ උත්සවය අතරතුරදී නිවේදකයා හදිසියේම මහාචාර්යතුමාවයි, රෝහණ විරසිංහවයි ඉදිරියට කැඳවූවා. හදිසියේ නොදන්වා සිදු කළ ආරාධනයක් හින්දා දෙන්නටම හිතාගන්න බැහැ මොනවා කියලා සභාව අමතන්න ද කියලා. මොකද ඒ වෙන කොටත් ජැක්සන් ඇතුළු පිරිස කතා කරලා මේ සිංදු ගැන කියන්න තියෙන ඒවා කියලා ඉවරයි.

'පට්ට පොරවල් මෝන්ඩි වෙනවා කියන්නේ මෙව්වට තමයි'

මහාචාර්යතුමා එහෙම කියලා අපිවත් හිනස්සලා යන්තම් වචනයක් දෙකක් කිව්වා. එහෙම කියලා අවසානයේදී 'මා ඊළඟට මයික්‍රෆෝනය බාර කරනවා නෝන්ඩි වෙච්ච ඊළඟ පොරට' කියලා රෝහණට මයික් එක දුන්නා.

හිතින් තරුණ අපේ තිලක් මහත්තයා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් ඇවිල්ලා. ඔහුගෙන් අහලා පැරැණි මිනුම් දඬු ගැන. මතක ඇතිනේ පරණ මිනුම් දඬු. අඩි, යාර, දම්වැල් වගේ ඒවා. මීටර්, සෙන්ටි මීටර් එන්න කලින් පාවිච්චි කළේ ඒවනේ. තිලක් මහත්තයටත් මතක නැතිලු මේ පරණ මිනුම් දඬු ගැන. පොඩි වේලාවක් කල්පනා කොරපු තිිලක් මහත්තයා කිව්වලු අමතපු තැනැත්තාට මෙන්න මෙහෙම. 'ඔයා ඒ සම්බන්ධව ඇහැව්ව නම් හරි ඒ කලේ ඉස්කෝලේ ගිය ළමයෙකුගෙන්'

ඒ කතාව අහලා අමතන්නාට හිනා ගියාලු. තිලක් මහත්තයා ඇහැව්වලු මොකද හිනා වෙන්නේ කියලා.

'ඇයි තිලක් මහත්තයෝ ඔබතුමා හැර වෙනත් කෙනෙක් ඉන්නවද ඒ කාලේ ඉස්කෝලේ ගිය'

මිත්‍රයා එහෙම කියලා ෆෝන් එක තිබ්බට පස්සේ තිලක් මහත්තයට තේරුණාලු තමන් හිතින් තවමත් තරුණයි නේද කියලා.

ඇතත් වැඩ නැතත් වැඩ

ලොව හොඳම නළුවා මෙන්ම ලොව අන්තිමම අන්තිම සරල නළුවා දෙන්නෙක් නොව එක් කෙනෙක්. නමින් කියනවා නම් ඔහු ජගත් චමිල. ඩෙනිමයි සුදු ෂර්ට් එකයි රබර් සෙරෙප්පු දෙක දාගෙන මෙයා ලෝකේ ඕන තැනකට වුණත් යන්න ඒවි. ජගත් පසුගිය දිනෙක මා පැවසූ අන්දමින් හැඳ පැළඳගෙන සරසවියට ආවා. හැබැයි එදා ජගත් අතේ යම් නාට්‍යයක පත්‍රිකා පිරවුණු මල්ලක් ද තිබුණා. අපි හිතුවේ ජගත් කරන අලුත් වේදිකා නාට්‍යයකට ප්‍රචාරයක් ගන්නයි මේ ඇවිත් තියෙන්නේ කියලා. ඒ කතාවේ එක කාරණයක් නම් හරි. වේදිකා නාට්‍යයකට ප්‍රචාරයක් ගන්න තමයි මේ ජගත් ඇවිල්ලා තියෙන්නේ. පුදුමෙ කියන්නේ ජගත් ඒකේ නැහැ. තමන් රඟ නොපාන වේදිකා නාට්‍යයක ප්‍රචාරණ කටයුතු සහ ඊට අවශ්‍ය උදව් උපකාර කරන නළුවෙක් අපි මේ දැක්කමයි. මේ වේදිකා නාට්‍යය වන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩොගේ 'සිංඤෝ මහතාගේ වැලැක්විය නොහැකි වූ නැඟීම' නම ටිකක් දිගයි නේද. මං වගේ දෙපාරක් තුන් පාරක් කියන්නකෝ, එතකොට මතක තියේවි. මෙන්න මේ වේදිකා නිර්මාණයට ජගත්ට දායක වන්නට බැරි වෙලා. එත් එහි පිටපත කියවලා බලද්දී ජගත්ට හිතිලා 'අනේ මේකෙ මටත් ඉන්න තිබුණා නම්' කියලා. එහෙම හිතුණට බලෙන් නාට්‍යකට යන්න බැහැනෙ. ඉතින් මේ වගේ නාට්‍යකට දායකවන්නට නොහැකි වුණත් එහි වැඩ කටයුතුවලට බැහැලා උදව් කරනවා කියලා ඉටා ගත්තලු. ඉන්දික ෆර්ඩිනැන්ඩෝ කියන තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් ජගත් මෙහෙම ඇවිත් නාට්‍යයේ සාර්ථකත්වය උදෙසා කටයුතු කරන්නේ අන්න ඒ හේතුව උඩ.

ඥානය පහළ වෙන්න ගණ දෙවි රූපයක්

උතුම් පැතුම් අධ්‍යක්ෂණය කරන සඳුන් රාජකරුණා ගේ උපන් දිනය දවසේ හරි හරි වැඩ ටිකක් වුණා. එකක් දෙකක් කියන්නම්. එදත් ෂූටිං දවසක්. සඳුන් සුපුරුදු විදිහට වැඩ කටයුතු ආරම්භ කළාලු. උදැසනම ෂූටිං තිබිලා තියෙන්නේ මහරගම තැඹිලි කඩයක් ගාව. සඳුන් කිව්වලු ඔක්කොටම තැඹිලි බොන්න කියලා. උතුම් පැතුම් පිරිවර එදා ඒ කඩෙන් ආවේ තැඹිලි කෝම්බ ටික විතරක් ඉතුරු කරලා. එදින ඒ කඩේ ඒ වෙලාවෙම වැහැව්වලු. මොකද දවසෙම බිස්නස් ඒ වෙලාවෙම ඉවර වුණානේ. ඊට පස්සේ දවල්ට සඳුන් ගානෙ ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා. එදින සඳුන්ගේ උපන් දිනය කියලා කලින් දැනගත්තු එකම කෙනයි තෑග්ගත් අරන් ඇවිත් තිබුණේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි උතුම් පැතුම් හි ෆේස්බුක් හෙවත් තිලක්ගේ චරිතය රඟපාන ලසන්ත උඩුකුඹුරයි. ඔහු සඳුන්ට දුන් තෑග්ග ඔතලා තිබුණේ කොහු ලණුවකින්. සඳුන් තැග්ග මොකක්ද කියලා බලන්න කලින් අපි දිග හැරලා බැලුවා. මෙන්න බොලේ එය ගණ දෙවි රූපයක්. සඳුන්ට වැඩි වැඩියෙන් ඥාණය පහළ වෙන්න කියල ද මන්දා ලසන්ත ඒ රූපය දීලා තියෙන්නේ.

අලුත් පුටුවෙන් ලොකු වැඩක්

කීර්ති පැස්කුවල්ට අලුත් තනතුරක් ලැබිලා. එයා මේ දවස්වල ඒ තනතුරත් එක්ක කරන්නට පුළුවන් වැඩ ගැන කල්පනා කර කර ඉන්නවලු. මේ තනතුර ගැන අපේ පත්තරේ පුංචි නිවුස් එකකුත් පළ වුණා. දැන් බලයි මේක දේශපාලන තනතුරක් ද කියලා. අපෝ නැහැ. එහෙම එකක් නෙවෙයි. සමස්ත ලංකා ගායක ගායිකා සංගමයේ සභාපතිගේ තනතුර තමයි කීර්තිට මේ ලැබිලා තියෙන්නේ. පසුගියදා පැවැත් වූ මහා සභා රැස්වීමෙන් අනතුරුවයි කීර්තිට මේ තනතුර ලැබුණේ. ගායක ගායිකා සංගමයේ සභාපති වුණ ගමන් කීර්ති කල්පනා කරලා තියෙන්නේ මෙහි ඉන්න සාමාජික සාමාජිකාවන් ගැන. මොකද වර්තමානය වන විට සෑහෙන්න පිරිසක් සංගමය අතහැරලා ගිහින්ලු. ඒ අයව කැඳවාගෙන එන්න කීර්ති වැඩ පිළිවෙළක් සකස් කරලා. ඒ වගේම නව පරපුරේ ගායකයනුත් මේකට ගන්න ඕනෑ කියලා කීර්ති කල්පනා කළාලු. ඒවා නෙවෙයි වැඩේ. ගායක ගායිකාවන්ගේ සුභසාධනය තකා ලබන වසරේදී කීර්ති මේ සංගමය මඟින් අති දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය කරන්නට සූදානම් වෙනවලු. මේ සඳහා ගායක ගායිකාවන් සියයකට අධික ප්‍රමාණයක් ගී ගයන්නට සූදානමින් ඉන්නවලු. එදා මෙදාතුර මෙරට සංගීත ඉතිහාසයේ සංවිධානය වූ අති දැවැන්තම සංගීත ප්‍රසංගය මෙය වන බවයි කීර්තිගේ අදහස. ලබන වසරේ ජනවාරියේදියි මෙය පවත්වන්නට කිර්ති සැලසුම් කරලා තියෙන්නේ.

‘බබා’ කියලා ෂොක් වෙලා

බියංකා ෆොන්සේකා කීර්ති රංජිත් පීරිස්ට කෝල් එකක් දීලා. මං හිතන්නේ දුක සැප අහන්න වෙන්න ඇති.

එහෙනම් මං තියන්නම් බබා.

බියංකා දුරකථනය විසංධි කරන්න කලින් එහෙම කියලා. කීර්ති ටිකක් ෂොක් වුණාලු.

බබා . . . කාටද ඔයා බබා කිව්වේ.

බබා කියන වචනෙ අහගෙන ෆෝන් එක තියන්නේ නැතුව කීර්ති එහෙම අහලා තියෙන්නේ කටකහනවට.

ඔයාට මිසක් වෙන කාටද කියලා බියංකා කිව්වලු.

කීර්ති සද්ද නැහැ.

මොකද කීර්ති අයියෙ සද්ද නැත්තේ?

කීර්තිගේ නිහැඬියාව දිගු වැඩි හින්දා බියංකා එහෙම අහලා.

නෑ ඉතින් බැන්දට පස්සේ මට කෙනෙක් බබා කිව්වමයි මේ.

කීර්ති එහෙම කියද්දී බියංකට බකස් ගාලා හිනා ගියාලු.