වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




කෝපි කඩේ සිරිසේනගෙන් ‘කඩේ නඩේ වැඩේ’

කෝපි කඩේ සිරිසේනගෙන් ‘කඩේ නඩේ වැඩේ’

කෝපි කඩේ සිරිසේන හෙවත් ජයරත්න රූපසිංහ වේදිකා නාට්‍යයක් වේදිකා ගත කරන්න ලැහැස්ති වෙනවලු.

මොකක්ද ඒකෙ නම?

කඩේ නඩේ වැඩේ.

කවදද, කොහෙද මේකෙ මංගල දර්ශනය පැවැත්වෙන්නේ?

මේ මාසේ 10 වැනිදා. බොරුල්ල ක. ර්. ඕ. ඒ. රංග ශලාවේ තමයි හා හාපුරා කියලා කඩේ නඩේ වැඩේ දෙන්න වේදිකාවට එන්නේ.

මොකක්ද නාට්‍යහි අන්තර්ගතය?

දේවාලයක් තියෙනවා. ඒකේ කපුවා කොච්චර යාතිකා කෙරුවත් දෙවියෝ මේ දේවාලෙට වඩින්නේ නැහැ. හේතුව මේ රටට දෙවියෝ එන්නවත් කැමැති නැහැ. ඒතරම්ම දුෂණය වෙලා. ඒක තමයි කතාව.

ඒ කියන්නේ මේක පණිවුඩයක් දෙන නාට්‍යක්?

ඔව්. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි. ඒකයි මගේ දර්ශනය. වේදිකා නාට්‍යයෙන් මං දෙන පණිවුඩයත් ඒකම තමයි.

මිනිස්සු පිළිගන්නවද වේදිකා නාට්‍යවලින් දෙන පණිවුඩ?

පණිවුඩය හොඳ නම් වැඩේ හරි.

ජයරත්න වැඩිපුරම ඉන්නේ ටී. වී. එකේ. ඇයි ඒ මාධ්‍යයට නිර්මාණයක් නොකර වේදිකාවට බැස්සේ?

වේදිකාව බර තැනක්. ඒ වගේම ගැඹුරුයි. ප්‍රතිචාර එවලේම ලැබෙනවා. වේදිකාව හදලා තියෙන්නේ ලෑලිවලින්. ඒත් යකඩවලට වඩා බරයි. ඒ හේතුව මත මං ආසයි වේදිකාවට.

වේදිකා නිර්මාණයක රිහසල් කරන කොට අධ්‍යක්ෂවරයාට කඩේ යන්න පවා සිදු වෙනවා?

යන්න එපායැ. මාත් එහෙම කළා. මං කතා කරපු අය මං වෙනුවෙන් සියලු වැඩ කටයුතු පසෙකලා රිහසල් ආවා නම් මං ඔවුන් වෙනුවෙන් කඩේ ගියාට මක් වෙනවද. මං තමයි ඒ අයට තේ පවා සැපයුවේ. කෑම බීම ගැන බැලුවේ. ඒවා වගකීම්. අධ්‍යක්ෂවරයා පෙළඹෙන්න ඕනෑ තමන්ගේ නාට්‍යයට එන ආර්ටිස්ලට සලකන්න.

කවුද කඩේ නඩේ වැඩේ ලිව්වේ?

මමමයි. වේදිකාවට මගේ ඇති ආසාව හින්දම පිටපත ලියන තැන ඉඳලම මං රසයක් වින්දා. ඔක්කෝටම කලින් ඒක එහෙම වෙන්න එපායැ. මට විඳින්න බැරි නම් කොහොමද ප්‍රේක්ෂකයා විඳින්නේ.

දැන් කෝපි කඩේට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු විසි අටක් විතර.

මොකද ඒ කාලය ගැන හිතෙන්නේ?

පුදුමයක් දැනෙනවා. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය. ඒ වගේම මං හිතන්නේ නැහැ ඒ නාට්‍යයහි වාර්තාව කිසි එකකට සම කරන්න පුළුවන් වේවි කියලා. එකල අප විධිමත් පුහුණුවකින් අනතුරුවයි කෝපි කඩේට ගත්තේ. කෝපි කඩේ පළමුවැනි කොටසේ ඉඳලා මං ඉන්නවනේ.

බොහෝ දෙනෙක් කෝපි කඩෙන් හැලුණා?

නොයෙක් ප්‍රශ්න මත නොයෙක් දෙනා අයින් වුණා. වාසනාවට මට එහෙම වුණේ නැහැ. හැබැයි මාව එළවපුදාට මං පස්ස බලන්නේ නැතුව කෝපි කඩෙන් අයින් වෙනවා.

කෝපි කඩේ කිහිප දෙනෙකුත් මේ නාට්‍යයේ ඉන්නවා නේද?

ඔව්. මට ඔවුන්ව මගේ වැඩකට ගන්න එක පහසුයි. පියකරු හෙවත් කුරුංගුරුං, සමන් හෙවත් බණ්ඩා, බොනී වගේ අය මට හොඳ සහායක් දුන්නා මේ වැඩේට.

වේදිකා නාට්‍ය බලන්න සෙනඟ අඩු ඇයි?

ඒක නම් අමාරුවෙන් හරි පිළිගන්න වෙන කාරණයක්. ප්‍රධානම හේතුව රූපවාහිනී නාළිකාවන්වලින් කරන බලපෑම. නොමිලයේ හැම දෙයක්ම රූපවාහිනි නාළිකාවලින් දෙනවා. ඒවට මිනිස්සු ඇබ්බැහි වෙලා. අනික දැන් රූපවාහිනි නළු නිළියොනෙ වේදිකා නාට්‍ය කරන්නේ. ඉතින් දෙයියනේ රූපවාහිනියෙන් එදිනෙදා දකින නළු නිළියෝ බලන්න අමුතුවෙන් මිනිස්සු ඒවිද.

එහෙම කිව්වට ඔබත් මේ වේදිකා නාට්‍යයට අරගෙන තියෙන්නේ රූපවාහිනි නාට්‍යවල ඉන්න අයනේ?

අපේ කට්ටිය වේදිකාවෙත් හිටියනෙ. නිරන්තරයෙන් වේදිකාවේ ඉන්න හින්දා ඔවුන්ට වේදිකාව හුරුයි. මං කිව්වේ රූපවාහිනියෙන්ම ඇවිත් වේදිකා නාට්‍ය කරන නළු නිළියෝ ගැන.

අද පරපුර අතර කෝපි කඩේ ජනප්‍රියද?

මෙහෙමයි, අලුත් ආම්පන්න, ඒ කිව්වේ ෆෝන්, ඉන්ටර්නෙට් ආදිය භාවිත කරන අය නම් කෝපි කඩේ ගැන දන්නේ නැහැ. නමුත් පරණ මිනිස්සු කෝපි කඩේ ශිල්පීන්ට අදටත් ගරු කරනවා. විශේෂයෙන් ගම් පළාත්වල උදවිය.

අවසන් කොට කඩේ නඩේ වැඩේ තුළ ඉන්න නළු නිළියන්ව මතක් කරමු?

සමන් ගුණවර්ධන, කේ. ඒ. පියකරු, සේන ගුණවර්ධන, බොනී ජයශාන්ත, රිද්මා සහ මම.