වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ජනපති-පණ්ඩිත් අමරදේවයන් හමු වී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා මහා සංගීතවේදී ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන් ගේ සුවදුක් විමසීම සඳහා මහරගම පිහිටි ඔහුගේ නිවසට ගියා. එහිදී පැයකට ආසන්න කාලයක් ජනාධිපතිතුමන් අමරදේවයන් සමඟ සුහද කතාබහක නියැලුණා. අමරදේවයාණන් තමන්ගේ මියුරු සංයුක්ත තැටියක් සහ සමරු තිළිණයක් ජනාධිපතිතුමන්ට පිරිනමනු ලැබුවා. මේ ඒ මොහොත සේයාරූ ගත වූ අයුරුයි. විමලා අමරදේව ද පසෙකින් සිටියි.

විජය 70 වෙනුවෙන් ගුණ සමරු උලෙළක්

විජය කුමාරතුංගගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් හෙට (09) කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ප්‍රධාන ශාලාවේදී පස්වරු 4.00ට ක්‍රියාත්මක කිරීමට විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදය කටයුතු යොදා ඇත. ඒ අනුව හෙටට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ ජන්ම දිනයේදී ඔහුගේ දේශපාලන ගමන්මඟ පිළිබඳ සිහිපත් කිරීමට නියමිතව ඇත.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් විශේෂ දේශන පැවැත්වේ. ඊට අමතරව විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ගමන්මඟ අළලා වාර්තා චිත්‍රපටයක් ද තිරගත කෙරේ.

විජයට හැත්තෑවයි සමරු ගී ප්‍රසංගය 12 දා

විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය ඉදිරිපත් කරන ‘විජයට හැත්තෑවයි’ සමරු ගී ප්‍රසංගය ලබන 12 වැනිදා පස්වරු 6.00ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පැවැත්වේ.

2015 විජය ගී තරුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ විජය ගී තරු ඇතුළුව ක්ලීටස් මෙන්ඩිස්, සංජීවනී වීරසිංහ, විශ්ව කොඩිකාර, බන්දු නිශාන්ත සහ නිමේෂා නාකලන්ද මෙහිදී ගී ගායනයෙන් දායක වන අතර සංගීතය සපයනු ලබන්නේ සම්පත් හෙට්ටිආරච්චි විසිනි. කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් විශේෂ අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතය. කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටි ආරච්චි ගෙනි.

සරත් සිල්වා රෝගාතුර වෙයි

සරත් සිල්වා කියන්නේ අපට සිටින පැරැණිතම සටන් නළුවක්. ඒ වගේම චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයකු වශයෙන් ද ඔහු සිනමාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළා යැයි කිව්වොත් වැරැදි නැහැ. ක්ෂේත්‍රය තුළ මේ වන තෙක් සක්‍රීයව ජවසම්පන්න තරුණයකු පරිද්දෙන් කටයුතු කළ සරත් හදිසියේම රෝගී වෙලා කියලා අපට ආරංචි වුණා. සිරුරේ දකුණු පැත්තෙහි ඇති වූ හදිසි අඩපණවීම හේතුවෙනුයි සරත් මෙහෙම අසනීප වෙලා තියෙන්නේ. මේ වන විට සරත් කොළඹ ජාතික රෝහලේ 81 වැනි වාට්ටුවෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. සරත්ව වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම සිදු කළත් තවම ඔහුගේ රෝගය කුමක්දැයි වෛද්‍යවරුන් විනිශ්වය කරගෙන නැහැ. සරත්ට ඉක්මන් සුවය ලැබේවා යැයි සරසවිය අප ප්‍රාර්ථනා කරනවා.

නිශාන්ත ‘පුලි’ නිසා ගොඩ

නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ ආරම්භ කළා ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක්. ඒකෙ නම සිටි සිනමා. රත්මලානේ තමයි මේ සිටි සිනමා පිහිටා තිබෙන්නේ. එය කොළඹ ආශ්‍රිත හොඳ සිනමාහලක්. කොටින්ම ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ පුවත්පත් දර්ශනයට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ තෝරා ගත්තේ එම සිනමාහලයි.

මේ සිනමා ශාලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් නිශාන්ත බොහෝ දේ කළා. එහි පෙන්වන සිනමාපටයන්හී කටවුට් ගැහැව්වා, පෝස්ටර් ඇලෙව්වා වගේ දේවල් නිශාන්ත කළා. ඒ කිසිවක් නොකර පසුගිය දින කිහිපයේම සිටි සිනමා හවුස් ෆුල් වුණා. එක දර්ශන වාරයක් නෙවෙයි ඇතැම් දිනවල දර්ශන වාර හතරම හවුස්ෆුල්. පුදුමේ කියන්නේ හවුස්ෆුල් වෙච්ච සිනමාපටය පෙන්වනවා කියලා නිශාන්ත මුකුත් නොකරපු එක. දමිල චිත්‍රපටයක් වන පුලි තමයි සිටි සිනමා ශාලාවේ මේ දිනවල තිරගත කෙරෙන්නේ. එහි ප්‍රධාන නළුවා විජේ. ජුලි බලන්න සිටි සිනමා ශාලාවට බුරුතු පිටින් සෙනඟ එනවලු. නිශාන්තටත් පුදුම හිතිලා මේ වැඩේට.

පුලි ලංකාව පුරා සිනමා ශාලා 32 ක තිරගත වෙයි.

රෝයිගේ අලුත්ම චිත්‍රපටය ඇමරිකාවේ දිගටම වැඩ

සාරංග දිසාසේකර, ජගත් චමිල, සචිනි අයේන්ද්‍රා රඟන නවතම චිත්‍රපටය රූපගත කිරීම් අමෙරිකාවේදී ඇරැඹිණ. සාරංග, ජගත් හා සචිනි සමඟ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රෝයි ද සිල්වාය. රෝයි සමඟ සුමනා අමරසිංහ සහ සම්මානනීය කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණරත්න ඇතුළු පිරිස පසුගියදා එරට බලා පිටත්ව ගියහ.

ලව් 2002 සහ සිහින ලොවක් සොයා රෝයි - සුමනා මීට ප්‍රථම අමෙරිකවේ රූපගත කළ චිත්‍රපටය වේ. මෙම නවතම සිනමාපටයෙහි විශේෂත්වය වනුයේ මෙහි සියළු රූගත කිරිීම් අමෙරිකාවේදී සිදු කිරීමයි.

චිත්‍රපටය් කතාව, දෙබස් හා තිර රචනය රෝයි ද සිල්වාගෙනි. මෙය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, සෙන්ට් ෆ්‍රැන්සිස්කෝ සහ සෙන්ට් මරියා ඇතුළු නගර කීපයක රූගත කිරීමට නියමිතය.

රෝයි ගේ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටයේ රඟපෑ දැනට අමෙරිකාවේ වෙසෙව කීත් රංග මෙහි නිෂ්පාදකවරයාය.

හෙරල්ඩ් විජේසිංහ මිය යයි

ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන TI ආයතනයේ අධිපති හෙරල්ඩ් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53 කි. මේ දිනවල විකාශය වන සුසුමට පවා රහසින්, සාරංගනා, මුතුකැට සිහිනය, යස් බොස් ඇතුළු ජනප්‍රිය නාට්‍ය ගණනාවක් හෙරල්ඩ් විසින් නිෂ්පාදනය කොට තිබේ. එමෙන්ම ඔහු සීමාසහිත MTV  චැනල් පුද්ගලික සමාගමේ හිටපු මැදිරි සංකීර්ණ අධ්‍යක්ෂවරයාය. හෙරල්ගේ අවසන් කටයුතු ඉකුත් සඳුදා බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරිණ.

ඔබ නැතිව ඔබ එක්ක සරසවිය පාඨකයන්ට විශේෂ තිළිණයක්

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා කෘතිය ප්‍රදර්ශනය වන දිවයිනේ ඕනෑම සිනමා ශාලාවකදී ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගත් විට මෙම සරසවිය පුවත්පත ඉදිරිපත් කිරීමෙන් තුන්වැනි ප්‍රවේශ පත්‍රය ඔබට නොමිලේ ලබා ගත හැකිය.

ඒ සඳහා ඔබ මෙම පුවත්පත සිනමා ශාලාවට බාර දිය යුතුය. මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කරනුයේ ඔක්තෝබර් 22 දක්වා පමණි.