වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ෆුට් බෝල් සෙල්ෆි

ෆුට් බෝල් සෙල්ෆි

සිනමාව, ක්‍රිකට් ක්‍රීඩාව වගේම පාපන්දු ක්‍රීඩාවත් දැන් ඉන්දියාවේ ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගනිමින් සිටිනවා. ඒ වගේම මේ දිනවල ඉන්දියාවට කාලයක් පුරා බලාගෙන සිටි පාපන්දු සමය උදා වෙලා. සුපිරි ක්‍රීඩා තරු පමණක් නොවෙයි සිනමා තරුවලද සහභාගීත්වයෙන් පසුගියදා ඉන්දීය සුපර් ලීග් පාපන්දු තරගාවලිය චෙන්නායිහි දී ආරම්භ වුණා.

පාපන්දු පමණක්ම නොවෙයි ලෝකය පුරාම උන්මාදයක් මෙන් පැතිර යන සෙල්ෆිත් දැන් ඉන්දියාවේ කොයි කා අතරත් ජනප්‍රිය යි. ඉන්දීය සුපර් පාපන්දු ලීග්හිදී රැජනි කාන්ත්, සචින්, ඓෂ්, ආලියා, අර්ජුන් තරගාවලියේ සභාපතිනී නීතා අම්බානි සමඟින් ගත් සෙල්ෆිය මේවන විට බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙනවා.

චෙන්නායි ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගනයේදී පැවැති මෙම පාපන්දු තරගාවලියේ සමාරම්භක උලෙළ හැඩ කරන්න උතුරු ඉන්දියාවේ සුපිරි තරුව අමිතාබ් බච්චන්, දකුණු ඉන්දීයාවේ සුපිරි තරුව රැජනි කාන්ත් සමඟින් ෙඓෂ්වර්යා රායි බච්චන්, අභිෂේක් බච්චන්, ආලියා භාත්, අර්ජුන් කපූර්, මුඛේෂ් වගේම සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ද පැමිණියා. ඓෂ් ‘ඩෝල රේ ඩෝලරේ’ සහ ‘ඩූම් ඩූම්’ ගීත සමඟින් උලෙළ හැඩ කරන විට ආලියාත් අපූරු ගීත සමඟින් පාපන්දු උලෙළ තවත් හැඩ කළා. “කමෝන් ඉන්දියා . . . ලෙට්ස් ෆුට් බෝල්” ගීතයෙන් ඇය පාපන්දු රසික රසිකාවන් උද්යෝගීමත් කළ අයුරු අපූරුයි.

උලෙළ පුරා රැව් දුන්නේ ඒ. ආර් රහ්මන්ගේ සංගීතය යි. ඓෂ්ගේ රංගනය අවස්ථාවේදී ආදරණීය මාමණ්ඩිය බොහොම සතුටින් අත් පොළසන් දෙමින් තම සතුට ප්‍රකාශ කළා. සචින් තෙන්ඩුල්කාර් මෙම තරගාවලියේ කේරළ බ්ලාස්ටර්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දරනවා.