වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්ව අගය කළ යුතු පරිත්‍යාගයක

විශ්ව අගය කළ යුතු පරිත්‍යාගයක

විශ්ව කොඩිකාර තමන්ගේ උපන් දිනය වෙනුවෙන් මහඟු කාර්යයක් පසුගියදා සිදු කරනු ලැබුවා. තවත් අයුරකින් කිව්වොත් එය මහත් වූ පින්කමක් යැයි හඳුන්වා දුන්නාට වරදක් නැහැ. රංගල පොලීසියෙහි සේවය කරන දිළිඳු කම්කරුවෙකුට නිවසක් සදා දෙන්නට රංගල පොලීසියේ උදවිය තිරණය කළේ ඔහුගේ හිසට හරි හැටි සෙවණක් ද නොතිබුණු නිසයි. මේ කර්තව්‍යයේ දී ඔවුනට මතු වූ එකම ගැටලුව වූයේ මේ නිවසට අවශ්‍ය ඉඩම් කැබැල්ලක් නොමැතිවීමයි.

මේ වග ආරංචි වුණු විශ්ව කොඩිකාර තමනට අයිතිව ඇති නුවර ඉඩමෙන් කොටසක් මේ පුද්ගලයාට දෙන්නට තීරණය කළා. එම ඉඩමේ ඔප්පු ප්‍රදානය සිදු කළේ විශ්වගේ උපන් දිනය දවසේ. ගොඩමුන්න ශෛලබිම්බාරාමයෙහිදී විශ්ව මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබුවා.

බන්දුල ගලගෙදර සහ අපේ භූත කුරුමිට්ටා

සිකුරුලියා චිත්‍රපටයෙන් ජනාදරයට පත් බන්දුල ගලගෙදර ප්‍රධාන චරිතය රඟන වික්ටර් මානගේ කතාව, දෙබස්, තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ අපේ භූත කුරුමිට්ටා ඩී. වී. ඩී චිත්‍රපටය පසුගියදා නිකුත් විය. ඩී. බී. ගංගොඩතැන්න, බුද්ධික ඉඳුරුගොල්ල, ඩිලානි නිකහැටිය, ශ්‍යාමා තිලකරත්න, චන්ද්‍රිකා රත්නමාලි, කුමාර රණපුර, අනුර ශ්‍රීනාත්, කනිෂ්ක හිරුණ, ශෂ්ක ගිහාන්, දිල්නද කුලරත්න, අභිශේක ඉසිවර, ෂෙනායා කටුකුරුන්ද මෙයට රංගන දායකත්වය සපයති.

නිහාල් නෙල්සන්ට, ස්ටැන්ලි එම්. ප්‍රනාන්දුට මොරටුපුර කලා භූෂණ

මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය ‘මයුරාධනා - 2015’ පසුගියදා මොරටුව සාන්ත සෙබස්තියන් දෙව් මැදුරු ශාලාවේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සංගීත පාලකවරයෙකු මෙන්ම මෙරටට දක්ෂ ගායක ගායිකාවන් රැසක් බිහිකළ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ස්ටැන්ලි එම් ප්‍රනාන්දුහට සහ සුවහසක් සංගීත ලෝලීන් පිනවූ සිය සංගීත දිවියේ 51 වසරට පා තැබූ ගායන ශිල්පී නිහාල් නෙල්සන්හට ජීවිතයේ එක්වරක් පිදෙන ‘මොරටු පුර රත්නවිභූෂන’ සම්මානය පිරිනැමුණි.

මීට අමතරව විවිධ කලා අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හය දෙනෙකු වෙනුවෙන් ‘මොරටු පුර කලා භූෂණ’ සම්මානයන්ද සමාජ සත්කාර සම්මාන හතරක්ද නවක කලාකරුවන් අගයා සම්මාන පහක්ද පිරිනමන ලදී. මෙම කලාමහෝත්සවය මොරටුව ප්‍රාදේශීය ලේකම් කේ. සී නිරෝෂන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.