වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන් මුහුණපාන  විවිධ ගැටලු මේ නාට්‍යයට තේමා වෙනවා

කලාකරුවන් මුහුණපාන  විවිධ ගැටලු මේ නාට්‍යයට තේමා වෙනවා
 

මහින්ද පතිරගේ

වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන ත්‍රිවිධ මාධ්‍යයන්හිම ජනප්‍රිය නළුවෙකු, නිර්මාණකරුවෙකු වන මහින්ද පතිරගේ ගේ නවතම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය වන 'අහිංසක ප්‍රයෝගේ' මේ මස 08 වැනිදා පුංචි තියටර් හිදී වේදිකා ගත වේ. මහින්ද පතිරගේ සමඟ යෙදෙන මේ කතාබහ වෙන්වනුයේ ඒ නිමිත්තෙනි.

ඔබේ නවතම වේදිකා නාට්‍යය 'අහිංසක ප්‍රයෝගේ' වේදිකා නාට්‍යයේ ඇරැඹුම ගැන මුලින්ම කතා බහ කරමු?

මේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ මම. රචනා කළේ හේමන්ත ප්‍රසාද්. 'අහිංසක ප්‍රයෝගේ' වේදිකා නාට්‍යය රචනා වුණේ හරි අපූරු විදිහට. මේ නාට්‍ය පිටපත ලියන්නට සැලසුම් කරන විට අපිට ආවා එක්තරා වස්තු බීජයක්. මේ වස්තු බීජය මුල් කරගෙන නාට්‍යය පිටපත ලියාගෙන යන කොට අපිට ආරංචි වුණා මේ වස්තු බීජයේ කොටසක්ම පැරැණි චිත්‍රපටයකටත් තේමා වී තිබෙනවා කියලා. ඉන් පස්සේ අපි චිත්‍රපටය හොයාගෙන එය නැරැඹුවහම චිත්‍රපටයේ අපේ කතා තේමාව වගේම කොටසක් තිබෙන බව දුටුවා. පස්සේ කතා තේමාව චිත්‍රපටයේ ඇති කොටසට වඩා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කළ යුතුයි කියා සිතුවා. ඒ වගේම අපේ නාට්‍යයටත් ඒ චිත්‍රපටයේ නමම යෙදුවට කමක් නැහැ කියා සිතුණා. ඒ අනුව තමයි 'අහිංසක ප්‍රයෝගේ' නම අපි යෙදුවේ.

නම වගේම චිත්‍රපටයේ කතාවම වේදිකාවට ගෙන එන්නද ඔබේ සූදානම?

කිසිසේත්ම නැහැ. චිත්‍රපටයේ කතා තේමාවට සම්පූර්ණයෙන්ම වෙනස් වේදිකා නාට්‍යයේ වෙන සිදුවීම්. එයට අදාළ වස්තු බීජය පමණක් අරගෙන වේදිකා නාට්‍යය අදට ගැළපෙන සේ අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කර තිබෙනවා.

'අහිංසක ප්‍රයෝගේ' චරිත ගැන කතා කළොත්?

මේ වේදිකා නාට්‍යය පුරාවටම ඉන්නේ චරිත හයක් පමණයි. මම මෙහි ප්‍රධාන චරිතය වන 'සපුමල්' ගේ චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව ශාලිකා එදිරිසිංහ, ජීවන් හඳුන්නෙත්ති, කවීෂා අයේශානි, සුනිල් ප්‍රේමකුමාර, සුදර්ශි ගැළණිගම මෙහි මාත් සමඟ සෙසු චරිත රඟපානවා.

මේ නාට්‍යයේ කතා තේමාව මොන වගේද?

මේ නාට්‍යය ගොඩ නැඟෙන්නේ රැකියා විරහිත උගත් තරුණියක හා තරුණයකු වටායි. ඊට අමතරව කලාකරුවෙකු ද මෙහි චරිත මවනවා. රැකියාවක් නැති තරුණයා හා තරුණිය යම් ප්‍රයෝගයක් යොදා රැකියාවක් ලබාගෙන ඒ ප්‍රයෝගය රැකගන්න කරනු ලබන අරගලයත්, කලාකරුවාට තමාගේ ශිල්පය අදට ගැළපෙන ලෙස යොදා නොගන්නා නිසා හිඟමනට වැටී දුක්විඳින අයුරුත් මෙහි කතාබහට ලක්වෙනවා. අද සමාජයේ රැකියා විරහිත උගත් තරුණ තරුණියන් මුහුණපාන සමාජ ඛේදවාචකය වගේම කලාකරුවන් මුහුණපාන විවිධ ගැටලු ඉතාම නිර්මාණශීලීව මේ නාට්‍යය ඔස්සේ පෙන්වා දෙනවා.

මේ වේදිකා නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාට අවසන ලැබෙන පණිවිඩය කුමක්ද?

මෙය හුදු ප්‍රහසනාත්මක විකට නාට්‍යයක් නොවෙයි. අහිංසක ප්‍රයෝගයක් මත ඇති වන සම්බන්ධයක් නිරූපණය කරන්නක්. සාමාන්‍යයෙන් සමාජය තුළ මොන ප්‍රයෝග දැම්මත් එමඟින් මානුෂික සම්බන්ධතා වැඩිවීමක් වනවාය කියන කරුණ මේ නාට්‍යයෙන් ප්‍රේක්ෂකයාට පෙන්වා දෙනවා. ඒ වගේම අද උගත් තරුණ තරුණියන් මුහුණපාන රැකියා විරහිතභාවයට විසඳුම කුමක් විය යුතු ද යන්නත් මෙහි කතිකාවකට බඳුන් වෙනවා. ඒ වගේම රැකියාවක් නොමැති තැන ඕනෑම දේකට තරුණ තරුණියන් පෙළඹෙනවා කියන දෙයත් මෙයින් සමාජයට පෙන්වා දෙනවා.

ඔබේ මේ නාට්‍යයෙන් කලාකරුවා සම්බන්ධයෙනුත් කතාබහට ලක්වෙනවා?

කුසුම්සිරි කියන්නේ සංගීතය පිළිබඳ හසල දැනුමක් ඇති කලාකරුවෙක්. අද සමාජය ඉල්ලන මට්ටමේ ගීත නිර්මාණ දෙන්නට බැරිව හිඟමනට වැටිලා. ඔහුට සිද්ධ වෙනවා අදට ගැළපෙන විදිහට තමාගේ ගීත නිර්මාණ කර ගන්න. මේ තුළ අද කලාකරුවාගේ සැබෑ යථාර්ථය පෙන්වනවා. මෙහිදී එක් දර්ශනයක් තිබෙනවා 'වඩිඟ පටුන' රී මිකිස් කරනවා. කොහොම හරි මේ වේදිකා නාට්‍ය මඟින් පෙන්වන්නේ කලාකරුවාගේ නියම වටිනාකම කෙදිනක හෝ කරළියට පැමිණෙන බවයි.

අද නිර්මාණය වන වේදිකා නාට්‍ය අතර ඔබේ මේ නාට්‍යයට ලැබෙන තැන මොන වගේද?

මම දකින හැටියට අද වේදිකාවේ හැදෙනවා වගේ බාල විකට අදහසක් නෙමෙයි මගේ 'අහිංසක ප්‍රයෝගේ' නාට්‍යයෙන් පෙන්වන්නේ. මේ තුළ ගැඹුරක් තිබෙනවා. ඒ ගැඹුරට හාස්‍යය එකතු කර තිබෙනවා. ප්‍රේක්ෂකයාට නාට්‍ය නරඹා අවසානයේ ගෙදර ගෙනියන්න දෙයක් තිබෙනවා. ජීවන පරිකල්පනයක් ලැබෙනවා.

අද වේදිකා නාට්‍ය නිර්මාණය සාර්ථක වී තිබෙනවාද?

මං හිතන්නේ අපි කලා මාධ්‍යයක් විදිහට සිනමාව ගැන කතා කළොත් සිනමාවේ වැටුණු තත්ත්වය වේදිකාවේ නැහැ. අදටත් වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකාගාරයක් අපට ඉන්නවා. මම පසුගිය දවසක මගේ වේදිකා නාට්‍යයට ලයිට් කරන තැනට ගියා. මම දැක්කා බස් තුනක් ලයිට් පුරවාගෙන ලංකාවේ තුන් පැත්තකට ගියා. දවසකට ඒ විදිහට ලංකාව වටේම වේදිකා නාට්‍ය රඟ දැක්වෙනවා. මේ දේවල් දකින කොට ඒක හරිම සුන්දර ආස්වාදයක්. අද හැදෙන වේදිකා නාට්‍ය පොහොසත්. විය යුත්තේ හරවත් දේවල් එතැනට එකතු කරගන්න එක විතරයි.

ප්‍රහසනාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා වැඩි නැද්ද?

මෙහෙමයි, අද හැදෙන වේදිකා නාට්‍යවල ප්‍රහසනයට තමයි මූලික තැන තිබෙන්නේ. අද මිනිස්සු ඇත්තටම මානසිකව කායිකව ප්‍රශ්න තියාගෙන තමයි ජීවත් වෙන්නේ. අපි හිතන්න ඕනෑ විනෝද මාධ්‍ය කියන එකක් තිබෙන නිසා ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලලා ගැටලු, ප්‍රශ්න ඔළුවේ දාගෙන ප්‍රේක්ෂකාගාරයෙන් නැගිටල යනවට වඩා පැය දෙකක් ඇතුළත යම්කිසි සහනදායී මට්ටමකට ඔවුන්ගේ මනස පත් කරලා ඒ සහනදායී මනසට යමක් දීලා ගෙදර ඇරියොත් ඒ දේ ඔවුනට හොඳින් මතක හිටීවි කියන දෙය.

ඔබ දක්ෂ චිත්‍ර හා මුර්ති ශිල්පියෙක්. ඒ කලාංග ඔබෙන් මඟ හැරිලාද?

මෙහෙමයි, මම කලාව පටන් ගන්නේ චිත්‍ර ශිල්පියෙක් හැටියට. මං 1976 වර්ෂයේදී පමණ ප්‍රචාරක පුවරු ඇන්දා. ඒ වෙන කොට මට වයස අවුරුදු 17 ක් පමණ ඇති. අනුරාධපුරය මගේ ගම් පියසේ එවකට තිබුණා සිනමා ශාලා තුනක්. ඒ තුනේම කටවුට් ඇන්දේ මම. කාලයාගේ ඇවෑමෙන් මේ කටවුට් ඩිජිටල්කරණය වුණානේ. අතින් අඳින ශිල්පය ඒ නිසා අභාවයට ගියා. ඒ නිසා මම එයින් ඉවත් වෙලා රඟපෑමට යොමු වුණා. ඒ වගේම මට මූර්ති කලාවත් ඉතාම හොදට පුළුවන්. දැනට නම් මේ කලාවන් දෙකෙන්ම තරමක් දුරස් වෙලා ඉන්නේ. මොකද නාටය වැඩ හා රඟපාන්න යන නිසා.

ඔබ කලාවට යොමු වෙන්නේ මොන වගේ පසුබිමකින්ද, ඒ ඉතිහාසය නැවත කතා කරමු?

මගේ පියා කලාකරුවෙක්. ඒ ආභාසය මට තිබුණා. කොහොම හරි 1979 වසරේ රජරට ගුවන් විදුලි සේවය අනුරාධපුරයේ ක්‍රියාත්මක වුණා. ඒ සමඟ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන මහත්මයා මගේ කලා කුසලතා හඳුනා ගන්නවා. කොළඹින් ආපු නිවේදකයන් රජරට නිවේදකයන්, කලාකරුවන් සොයමින් ගියා. ඒ අයට අපිව හමු වුණා. එය ගුවන් විදුලියකින් සිදු වූ සුවිශේෂි සේවාවක් හා විශේෂ අවස්ථාවක්. හොයා ගෙන ගිහින් ශිල්පීන් සොයා ගැනීමක් තමයි මෙහිදී සිදු වුණේ. පළවෙනි දවසෙම රජරට සේවයෙන් ගුවන් විදුලි නාට්‍යයක් ඉදිරිපත් කළා. එතකොට 'ජන නළු කැළ' නමින් අපේ කලා සංගමයක් තිබුණා. ඒකෙන් අපි වේදිකා නාට්‍ය කරමින් හිටියා. එතැනට ඒ ශිල්පීන් ඇවිත් අපේ නාට්‍ය පටිගත කරලා ගුවන් ගත කළා. පස්සේ අපි ගුවන් විදුලි පරික්ෂණවලින් සමර්ථ වෙලා ශි්ල්පීන් හැටියට ඉන්නවා. 1971 දී විකට ශිල්පීන් ලෙස මමත් මගේ හිතවතා ගුණදාස මධුරසිංහත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් හඳුනා ගන්නවා.

අපි දෙන්නට ඔහු විකට වැඩ සටහනක් කරන්න ආරාධනා කරනවා 'විට' කියලා. එය ප්‍රාදේශීය වශයෙන් ඉතාම ජනප්‍රිය වුණා. පසුව එය කොළඹ අයත් ඒවා අගයන බව දැනගෙන අපිට කොළඹින් ආරාධනයක් ලැබුණා. 'විනෝද සමය' වැඩ සටහනට අලුත් පරපුරක් හොයනවා, එයට ඉදිරිපත් වෙන්න කියලා මමයි මධුරසිංහයි අනෙක් හිල්පීන් අතරින් තේරුණා. අවුරුදු 1 1/2 ක් විතර විනෝද සමය තේමා වාදනය යටතේ අපි කළා. එය අපි අපේ කලා දිවියේ ලබපු ලොකු ජයග්‍රහණයක්. ඉන් පසුව 'රාජ සභාව' වැඩ සටහනින් අපි ජනතාව අතර ජනප්‍රිය වුණා. එදා පටන් අද දක්වාම ජනතාව අතර අපි ජනප්‍රියයි. මොකද අපි එක රැයින් ජනප්‍රිය වූ අය නෙමෙයි. ක්‍රමානුකූලව කලා ක්ෂේත්‍රයට ඇතුළත් වී සෙමෙන් ගමනක් තමයි අපි පැමිණියේ. අපේ සාර්ථකත්වය පිටුපස ඇති රහස එයයි.