වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන බලු පොරයෙන් මම ධාරා ඉවත් කළා

සම්මාන බලු පොරයෙන් මම ධාරා ඉවත් කළා

කැත්ලීන් ජයවර්ධන

සාහිත්‍ය ලෝකය තුළ තමන්ටම අනන්‍ය වූ ස්ථානයක් හිමිකර ගත් ඇය සිය සාහිත්‍ය නිර්මාණ ජීවිතයේ තිස්වසරක කඩඉම පසුකර සිටින්නීය. ඇය පාඨක ප්‍රසංසාව සේම විචාරක ප්‍රසංශාවද එක ලෙස දිනූ ලේඛිකාවකි. තඹර විල, අග්නි, සත්‍යකාම, සති පූජා ආදී වූ කෘතින් එයට කදිම නිදසුන්ය. කෙටිකතා සේම ළමාකතා, නාට්‍ය නිර්මාණයේද ඇය සුවිශේෂිය. නවකතාව නව ඉමක් කරා යොමු කිරීමේ අපූරු බලයක් ඇය සතුව ඇති සේය. කැත්ලීන් ජයවර්ධන නම් වූ අපූරු නිර්මාණකාරිණිය සිංහල සාහිත්‍යය තුළ තම පෑන මෙහෙයවන්නේ එම අපූරු බලය ඔස්සේය. ඇය විසින් රචිත ‘ධාරා’ නවකතාවද පාඨක සේම විචාරක අවධානයද එක ලෙස දිනාගත් වෙනස්ම ආකාරයේ කෘතියකි.

“බලය දූෂිත ය.

පරම බලය පරම ලෙස ම දූෂිත ය.

මනුෂ්‍යයා බලයෙන් උදම් වෙයි; බලය ගිලිහී යද්දී වියරු වැටෙයි.

බලය පිළිබඳ කතිකාවේ දී වැඩි දෙනකු බොහෝ විට මතු කොට දක්වන්නේ රාජ්‍ය බලය යි; දේශපාලන බල ව්‍යුහය යි.

එහෙත් . . .

“ධාරා” ගලායන්නේ දේශපාලන බලයේ වපසරිය හරහාපමණක් ම නොවේ.

මනුෂ්‍ය චිත්ත සන්තානය තුළ“බලය” යන ප්‍රපංචය බල ගැන්වෙන්නේ කවරාකාරයෙන් ද?

මොළයේ හා දෑතේ ආනුභාවයෙන් වරප්‍රසාදලාභියෙකුව සිටින මනුසතා තිරිසන් සත්ත්වයන් විෂයයෙහි ක්‍රියාත්මක වන ආකාරය ඔහුගේ මානවීය ස්වභාවයට - ශිෂ්ටත්වයට කොතරම් දුරට ගැළපෙන්නේ ද?

“ධාරා” හි එක් අර්ධයක් වෙන් වන්නේ තිරිසන් සතුන්ගේ හදවත් විවර කිරීමටය; දුක්ගැනවිලි කීමට ය;

චෝදනා පත්‍ර ගොනු කිරීමට ය.

මේ ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වන්නේ මිනිසාගේ රසදිව පිනවීම අරබයා ම නො වන්නේ දැයි ඔවුහු අසති.

ශාක ජීවිත ඇතුළු සියලු සොබා සම්පත් විකිණෙන ලොවක සිය පිරික්සුම් පහන විහිදුවාලීම සඳහා “ධාරා” ඔබට ආරාධනා කරයි.”

බලය ප්‍රධාන කොට ලියවුණු ‘ධාරා’ සිංහල සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ කෘතියක් සේ හැඳින්විය හැකිය. අද මං සලකුණු ඔස්සේ කැත්ලීන් ජයවර්ධන කතා කරන්නේ ‘ධාරා’ කෘතිය පිළිබඳවයි.

“ධාරා” කෘතිය සිංහල සාහිත්‍යයට වෙනස්ම ආකාරයකින් හිතන්න පුරුදු කළ කෘතියක්. මෙය රචනයට බල පෑ විශේෂ හේතුව වගේම ඔබට එය විශේෂ වූ හේතුවකුත් ඇති?

මගේ හැඟීම නම් සිංහල සාහිත්‍යයේ වෙනසක් ඇති කරන්න කියලා හිතාගෙන කෘතියක් රචනා කරන්න අපහසුයි. අපේ යටි හිතේ ඇතිවුණු යම් වස්තු බීජයක් නිර්මාණය කර එළි දක්වන්න අවශ්‍ය ආකාරය පිළිබඳ අපි යම් සොයා බැලීමක් කළ යුතුයි. මට මෙහිදී විශේෂයෙන් අවශ්‍ය වුණේ බලය කියන කරුණ සමඟ මනුෂ්‍යයා ගනුදෙනු කරන ආකාරයත් මනුෂ්‍යයා නම් සත්ත්වයා මේ බලය අතට ගෙන සිටින ආකාරය පිළිබිඹු කිරීමටයි. අද වන විට ලෝකයේ මහා බලවතා බවට පත්ව සිටින්නේ මිනිසා. මිනිසා විශ්වාස කරන්නේ මේ ලෝකයේ සත්ත්ව ජීවිත වගේම ශාක ජීවිත සියල්ලම නිර්මාණය වී තියෙන්නේ තම පරිභෝජනය වෙනුවෙන් බවයි. ධාරා කෘතියේ මම කෙළින්ම කතා කරන්නේ බලය ගැනයි. මිනිසා විසින් දේශපාලනිකව, පවුල් සංස්ථාව තුළ බලය කුමනාකාරයටද පාවිච්චි කරන්නේ ද යන වග මෙහිදී ප්‍රධාන කාරණය වුණා. මම මගේ හිතට එකඟව විශ්වාස කරන සත්‍යයක් තියෙනවා නම් එය විශ්වාස කරගෙනයි ධාරා නිර්මාණය කළේ. ධාරා මගේ ප්‍රියතම කෘතිය බවට පත් වුණෙත් ඒ නිසා තමයි.

මේ හරහා එන සත්ත්ව චරිත තුළින් ඔබ කියන්න උත්සහ කළේ?

සියලු අසාධාරණකම් හා අකටයුතුකම් අතරේ මිනිසා විසින් බරපතළම අකටයුත්ත සිදුකර තිබෙන්නේ සිවුපාවුන් වෙනුවෙන් යැයි මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. මස් මාංශ අනුභවය අත්‍යවශ්‍යම වී සතුන් වේදනා රහිත ක්‍රමයකට මරා දමන්න හැකි ක්‍රමයක් තියෙනවා නම් එයත් කෙතරම් දුරකට යහපත් වේවිද කියා මට හිතන්න අපහසුයි. නමුත් මගේ අදහස නම්, මෙලෙස අහිංසක සතුන්ට කායික, මානසික වශයෙන් දසවද දී මරාදැමීම නම් කාරණයේදී භෞතික ලෝකය දියුණු යැයි පැවසුවත් තවම එහි මිලේච්ඡ ලක්ෂණ තිබෙන බවයි. මිනී මස් කෑ යුගය මිලේච්ඡ යුගය ලෙස අපි හඳුන්වනවා. සත්ත්ව මාංශ අනුභවයත් මිනී මස් කෑම නම් පුරුද්දේම කොටසක්. අපි බොහොම නිර්දය විදියට මේ සත්ත්ව මාංශ උදර පොෂණයට නොව රසදිව පිනවීම සඳහා භාවිත කරනවා. සත්ත්ව මාංශ නොකෑවොත් අපි මරණයට පත් වන්නේ නැහැනේ. මානව සංවිධාන, සත්ත්ව සංවිධාන, දේශපාලනික පක්ෂ සමාජ අසාධාරණය ගැන මහ ඉහළින් කෑ ගැසුවත් කිසි කෙනෙකුට මේ බරපතළ අසාධාරණය ගැන දැනිලා නැහැ. ඊට වඩා බරපතළ අසාධාරණයක් මේ අහිංසක සතුන්ට සිදු වෙනවා. මෙතැනදි අපි කරන්නේ මන්ද බුද්ධිකයින් මරාගෙන කෑම වගේ දෙයක්. ඔවුන්ගේ මොළය හා දෑතේ සවිය නැතිවීම තුළම ඔවුන් අපේ රසදිව පිනවන්න යෝග්‍ය යැයි කියා අපි හිතනවා. මේක ආකෘතියක් මට නිර්මාණය කරන්න අවශ්‍ය වුණා.

මෙතැනදී මම බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. අපි මහා චින්තකයින් වශයෙන් පිළිගන්නා අය පවා ප්‍රශ්න කිරීමට භාජනය කළා. මොකද මෙතැනදී ප්‍රධාන වුණේ, සාධාරණය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය යි. අපට තියෙනවා ස්ත්‍රින් වෙනුවෙන් වූ සංවිධාන, මානව හිමිකම් සංවිධාන වගේම වාර්ගික සමඟිය වෙනුවෙන් වූ සංවිධාන ආදී වූ විවිධ සංවිධාන රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉතා හොඳ කාර්යය භාරයක් ඉටු කරනවා. මෙතැනදී මේ සියල්ලෙහිම මූලික අරමුණ වෙන්නේ ඒ ඒ කොටස්වලට මුහුණ පෑමට වන ආසාධාරණවලට විසඳුම් සෙවීමට බලපෑම් කිරීමයි. මේ සියල්ල අතරේ දෛනිකව සතුන්ට එරෙහිව කරන බරපතළ අසාධාරණයට එරෙහිව කිසිකෙනෙකුගේ හිත යොමු නොවන්නේ ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මම සාහිත්‍යකරුවෙන් විදියට සතුන් සම්බන්ධයෙන් ඉතාම සංවේදීයි. සමහරවිට තවත් සියවස් ගණනාවක් ඉදිරියට ගිය තැනදී අපි මේ යුගය ගැන කතා කළොත් එදා මිනී මස් කෑ මිලේච්ඡයන් ගැන කතා කළ විදියට කතා කරන්න ඉඩ තියේවි යන පරිකල්පනය තුළත් මම සිටිනවා. මොකද මිනිසාගේ මොළය වර්ධනයට සතුන්ගේ මාංශ අවශ්‍ය යැයි කියන කතාවේම මොන තරම් බරපතළ සාපරාධී බවක් තිබෙනවාද යන්න හැඟෙනවා. මට අවශ්‍ය වුණේ සමාජයට මෙම ප්‍රශ්නය මුදා හරින්නයි.

මෙහිදී සත්ත්ව චරිත සන්නිවේදනය කළේ මාංශ භක්ෂණය පිළිකුළින් හෙළා දකින්නද?

මාංශ භක්ෂණය වැරදියි කියන්නටත් වඩා මාංශ භක්ෂණයට ලොල් වූ මිනිසුන් මේ තත්ත්වයෙන් මිදෙන්න නම් අපිට ඒ තත්ත්වයේ ඇබ්බැහිකම අත්හරින්න නොහැකි නම් සත්ත්ව ජීවිත පිළිබඳ මීට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න පුළුවන්. සත්ත්ව ඝාතන වළක්වන්න නොහැකි නම් ඔවුන්ට වේදනාකාරී ලෙස මරණයට පත් කිරීම පිළිබඳවත් මේ පණ්ඩිතයන් පිරි ලෝකය අවම වශයෙන් සිතන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇති වුණත් එය ඇති වන්නේ බෞද්ධ අපේ රටේ නොව බෞද්ධ නොවන රටක බව විශ්වාසයි. අපි බෞද්ධ වුණත් නියම බෞද්ධකම කියන්නේ මොකක්ද කියා අපි දන්නේ නැහැ. අපි බුද්ධාගම ඇදහුවත් මම දකින විදියට නම් ගෞතම බුදුන්වහන්සේ ගේ ධර්මය මෙය නොවෙයි. අපි වඳිනවා, පුදනවා, යදිනවා, පිං අනුමෝදන් කරනවා. මම නම් හිතන්නේ බෞද්ධකම කියන්නේ මේක නොවෙයි.

මෙම නිර්මාණය තුළට ගන්ධබ්බ චරිතයක් යොදා ගත් අරමුණ?

මිනිසාට වගේ සතුන්ට කතා කිරීමට හැකියාවක් නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.සතුන්ට කතා කරන්න ඒ සංවාදය සඳහා අවශ්‍ය වාහකයා කවුද කියලා අපි අමුතුවෙන් සිතිය යුතුයි. එතැනදී තමන්ට අවැසි නිර්මාණයක් කරන්න නිර්මාණකරුවාට හැකියාව තිබෙනවා. එතැනදී මම ගන්ධබ්බයෙක් යොදා ගන්ත තීරණය කළා. ගන්ධබ්බයෝ නැහැ; සත්තු කතා කරන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ. මොකද සාහිත්‍ය කියන්නේ මිනිසාගේ පරිකල්පන ලෝකය පුළුල්ව සීමා මායිම් බිඳ ගෙන ඉදිරියට ගෙන යන්න අවශ්‍ය තැනක්. දිව්‍ය ලෝකය උපකල්පනය කරන්නත් පුළුවන්. ඒ වගේම අපාය උපකල්පනය කරන්නත් පුළුුවන්. ඒවා එහෙම නෑ කියලා කාටවත් කියන්න බැහැ.

“ධාරා” නම මේ කෘතියට ලැබෙන්න විශේෂ හේතුවක් වුණේ?

ලෝකයේ අපේ අඛණ්ඩ පරිණාමය ගංගාවක් වගේ ගලාගෙන යාමක් තමයි දකින්න තිබෙන්නේ. මිනිස් සංහතිය එදා සිට පැමිණි ගමන් මඟේ විවිධ සංධිස්ථාන අපට පසු කරන්න සිදු වුණත් අපි තවමත් ගලාගෙන යනවා. හරියටම ධාරාවක් වගේ. මෙම කෘතියට “ධාරා” නම ලැබෙන්නේ මේ අදහස සමඟිනුයි. මගේ සාහිත්‍ය ජීවිතයේ වඩාත්ම තෘප්තිමත් වුණේ “ධාරා” රචනා කිරීමෙන්. මට මගේ සියලුම පොත් වැදගත්. සත්‍යකාම කෘතියක් මගේ ජීවිතය සේම ප්‍රිය කරන කෘතියක්. නමුත් “ධාරා” කෘතියේ විශේෂත්වය වන්නේ ඒ තුළ මගේ නිර්ව්‍යාජ හැඟීම් ඇතුළත්වීමයි.

මෙම කෘතියේ පිටකවරයේත් දකින්න ලැබෙන්නේ විශේෂත්වයක්?

වෙනදා වගේම පිටකවරය නිර්මාණ කළේ මගේ ආදරණීය සැමියා රනිල් ඇල්විටිගල. එහි තිබෙන හිස්බව තුළින් පිළිබිඹු කරන්න උත්සාහ කළේ, මේ විශ්වය තුළ තිබෙන විශාල හිස් අවකාශය යි. ප්‍රථම මුද්‍රණය සේම දෙවැනි මුද්‍රණයටත් එය එලෙසම යොදන්න තීරණය කළේ, මෙයට වෙනත් කවරයක් සුදුසු නොවන අදහස තිබූ නිසයි. මොකද විශ්වය තුළ අපේ පෘථිවිය බොහොම පොඩියි. එයට එහායින් තිබෙන තවම සොයා නොගත් අනන්ත වූ අවකාශය කුමක්ද යන්න අපට තේරුම් ගන්න අපහසුයි. මෙයින් නිරූපණය වන්නේ එය යි.

මෙහි චරිත ගොඩනැංවීම පිළිබඳ කතා කළොත්?

මම බොහෝ විට දැක තිබෙන්නේ ප්‍රභූ සමාජයේ පවුල් සංස්ථාව ගත්තොත් සල්ලාලකම හුඟක්ම දැක්න්න තිබෙන දෙයක්. මම කළ සොයා බැලීම අනුව මෙම තත්ත්වය බොහෝ සෙයින් දකින්න තිබෙන්නේ පුරුෂ පාර්ශවය තුළයි. ගැහැනිය මේ තත්ත්වයට විරුද්ධව මුල් අවස්ථාවේ ලොකු සටනක් දියත් කර පරාජය වී නිහඬ වෙනවා. පරාජය භාර ගන්නවා හැර ඇයට කරන්න වෙන දෙයක් නැහැ. මේ තුළ වන්දනාගේ චරිතයක් ඒ වගේ තමයි. වන්දනා ජීවිතය අවබෝධ කරගන්නා චරිතයක් බවට පත් කළේ, තම ආදරණීය පුත්‍රයාගේ ඝාතකයා වූ තරුණයාට සමාව ලබාදීමයි. එතැනදී සැබෑ බුදුදහමේ මෛත්‍රිය දැක්වීම වැනි තැනකට පැමිණෙනවා. ලෝකය අතැඹුලක් කරගත් අයෙකුට ලෝකයේ කිසිම වෛරක්කාරයෙක් නැත යන තත්ත්වය මට ඕනි වුණේ පෙන්නුම් කර දෙන්නයි.

“ධාරා” තුළට ද්‍රවිඩ චරිත සහභාගිකරවා ගැනීමෙන් ඔබ පෙන්වා දෙන්නේ?

වන්දනාගේ මිය ගිය පුත්‍රයා වන දම්සක් තවමණී සමඟ බොහොම කිට්ටු සම්බන්ධයක් පවත්වනවා. එවිට මම කලාපනා කළේ මුළු ලෝකයම වාර්ගික ප්‍රශ්නයක පැටලිලා. අපි අතර ඇතිවන පුංචි පුංචි වෙසන්කම්වලට අපි විශාල බිත්ති ප්‍රාකාර හදාගෙන ඒවායෙන් වෙන්වී ජීවත් වෙනවා. සතා - සිවුපාවා, ස්ත්‍රිය – පුරුෂයා, සුළු ජාතීන් – මහ ජාතීන් අතර ආදියෙහි මේ විදියට ප්‍රාකාර නිර්මාණය කරගෙන ජීවත් වෙනවා. මේ විදියට ප්‍රාකාර හදාගෙන කරන බෞද්ධ ඇදහිලි මොනවාද කියලා මට තේරුම් ගන්න බැහැ. මෙම ප්‍රාකාර සුනුවිසුනු විය යුතුයි කියන අදහස මගේ හිතේ තදින්ම තැන්පත් වී තිබෙනවා. මම දන්නා බෞද්ධකමත් එය යි. මේ වගේ චරිත අතුරු චරිත විදියට යොදා ගැනීමෙන් මම උත්සාහ කළේ ප්‍රාකාර සුනුවිසුනු විය යුතුයි කියන තැනය යාමටයි.

“ධාරා” කෘතිය තුළ ඔබ විසින් පරිහරණය කළ භාෂා ශෛලිය?

එය බොහෝ දෙනෙක් මට පවසන කාරණාවක්. මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය විමල් දිසානායක වැනි අය පවා නවකතා නිර්මාණයේදී මගේ භාෂාව පිළිබඳ කතාකරනවා. මම භාෂාව භාවිත කිරීම හිතාමතා කරන දෙයක් නොවෙයි. මගේ භාෂා ශෛලිය එය යි. එය පාඨකයාට ආකර්ෂණය වීම පිළිබඳ මට සතුටුයි. කලාව, සාහිත්‍ය ඒ විදියට හිතමතා කරන්න අපහසුයි. නමුත් අභ්‍යාසයෙන් එය දියුණු කළ හැකියි. තමන් තුළ යමක් තිබෙනවා නම් එය ඔපමට්ටම් කරගත හැකියි.

මේ වෙනුවෙන් ඔබ සැරිසැරූ ඉසව්?

සතුන් පිළිබඳව, සතුන්ගේ හැසිරීම් රටා පිළිබඳව වගේම සතුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව කොහොමත් මම සැලකිලිමත්. අපේ නිවසේ සිටින බලු සුරතලා සතුටෙන් සිටින අවස්ථා, බියට පත්වන අවස්ථා, අකමැති දේවල් ගැන මගේ හුදකලා නිරීක්ෂණයක් තියෙනවා. කුමාරතුංග මුනිදාසයන් ඒ නිරීක්ෂණය බොහොම ලස්සනට කළ අයෙක්. ඔහුගේ ළමා කතා දෙස බැලුවොත් එය මනාව අවබෝධ කර ගන්න පුළුවන්. ඇත්තටම ඒ නිරීක්ෂණය සාමාන්‍ය අයෙකුට කරන්න අපහසු එකක්. සමහර වෙලාවට අපි හිතනවා සතුන් නිරීක්ෂණය කිරීම අපේ වැඩක් නොවෙයි කියලා. මගේ විශ්වාසය නම් සැබෑ පඬිවරයා පවා අවස්ථාවක ළමයෙකු බවට පත්වෙන බවයි. කුමාරතුංග මුනිදාස ළමාකෘති රචනා කළේ එලෙස සතුන් පිළිබඳ අපූරු නිරීක්ෂණයකින් පසුවයි.

“ධාරා” කෘතිය ප්‍රථම මුද්‍රණය (2010) මසකින් අවසන් වූවා. එලෙස වාර්තාගත අලෙවියක් තැබූ මෙම කෘතිය ලද පාඨක ප්‍රතිචාර?

ප්‍රථම සහ දෙවන මුද්‍රණ දෙකම සිදු කළේ එම්. ඩී ගුණසේන සමාගමෙන්. 2010 සැප්තැම්බර් මස දොරට වැඩුමෙන් පසුව දෙවන මුද්‍රණය සඳහා මම ගිවිසුම් අත්සන් කළේ ඔක්තෝබර් මාසයේදී යි. ඒ වනවිට පිටපත් සියල්ල විකිණී අවසන්ව තිබුණා. තෙවැනි මුද්‍රණය සිදු කළේ මගේ මහත්තයාගේ සේරි ප්‍රකාශන තුළින්. “ධාරා” කටින්කට ගොස් ජනප්‍රිය වූ කෘතියක්. දුරකථනයෙන්, ලිපි මඟින් මට මෙතෙර වගේම එතෙරත් පාඨකයන් රැසක් පුදුමාකාර ප්‍රතිචාරයක් දැක්වූවා.“ධාරා” මම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නත් කල්පනා කළේ එතැනදි යි. ලෝකයේ මිනිසුන්ට යම්යම් දේවල්වලට පොදු වූ පොඩි රික්තයක් තියෙනවා. සතුන් පිළිබඳ කතාව අපි ලෝකයට දීලා නැහැ. අපි ලබාදුන් පසුව එය ග්‍රහණය කරගන්න විශාල පිරිසක් ඉන්නවා. මහාචාර්ය විමල් දිසානායක පවසා සිටියේ සමාජය මෙම කෘතිය නිසියාකාරව වටහා ගත්තොත් මෙය සිංහල සාතිත්‍යයේ එක්තරා සන්දිස්ථානයක් වන බවයි. අවංකව අපට දැනෙන අපේ නිර්ව්‍යාජ හැඟීම්වලින් අපට නවකතාවක් සාහිත්‍ය කෘතියක් බවට පත් කරන්න පුළුවන් නම් එයට අනිවාර්යයෙන්ම පාඨක සමාජයක් ඇති වෙනවා. ඒ අත්දැකීම මට “ධාරා” කෘතියෙන් ලබා ගන්න හැකි වුණා.

පාඨක ප්‍රතිචාරයට වගේම විචාරක අවධානයටත් ලක් වූ මෙම කෘතිය ඔබ එම වසරේ සියලුම සම්මාන උලෙළවලින් ඉවත් කර ගන්න කටයුතු කළා?

සම්මාන උලෙළ හතරකින්ම මම “ධාරා” කෘතිය ඉවත් කළා. මෙතැනදී ඇති වුණේ ලේඛකයින් පිළිබඳ ප්‍රශ්නයක්වත් පාඨකයින් පිළිබඳ ප්‍රශ්නයක්වත් නොවෙයි. ඒ වගේම කිසිම කෙනෙක් සමඟින් වූ තරඟයක් නිසාවත් නොවෙයි. දැන් අවුරුදු දහයක පමණ කාලසීමක් තුළ මේ සාහිත්‍ය තරඟ නිසා ලේඛක ලේඛිකාවන් අතර ඔවුනොවුන් පිළිබඳ විශාල සැක සංකා ආදිය ඇති වුණා. සාහිත්‍යකරුවා මේ බලුපොරයට එකතුවිය යුතුද යන ප්‍රශ්නය මට ඇති වුණා. මගේ කෘතියක් අවසන්වරට සම්මාන උලෙළ නියෝජනය කළේ 2008 වසරේදීයි. එහිදී සත්‍යකාම කෘතිය ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් කෘති පහට අතරත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ දෙවැනි ස්ථානයට පත් වුණා. නමුත් මේ ක්‍රියාවලියේ අභ්‍යන්තරය පිළිබඳ අවබෝධය නිසා මේ මිථ්‍යාවෙන් මම ගැලවෙනවා කියන තීරණයට පැමිණියා. කිසියම් දවසක අපේ සාහිත්‍ය කරළිය නියෝජනය කරන කිසිවෙකුත් නැති වෙනත් පිරිසක් නියෝජනය කරන්නා වූ කරළියක් ආවොත් මම මගේ පොත් ඉදිරිපත් කරන්නත් ඉඩ තියෙනවා.

“ධාරා” කෘතිය අවසානයේ දී ඔබ බලාපොරොත්තුව වුණේ මාතෘත්වය උත්තරීතර කිරීමද?

මාතෘත්වය මෙහිදී ප්‍රධාන වන්නේ නැහැ. එසේ වූවා නම් තම පුතාගේ ඝාතකයාට සමාව දෙන්න වන්දනාට නොහැකි වෙනවා. නමුත් ඇය තම පණ මෙන් වූ පුත්‍රයාගේ ඝාතනය කළ මිනිසාට දයාව දක්වන්න තරම් නිර්ලෝභි වෙනවා. තමන්ගේ දරුවා කියන ආත්මාර්ථය ඕනෑම මවකගෙන් දකින්න පුළුවන්. ඒ තත්ත්වය අතික්‍රමණය කළ ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. “ධාරා” කෘතියේදී තම දරුවා මැරූ පුද්ගලයාටත් ඇය මවක් වෙනවා. මේ තරම් කාලයක් කෝපයෙන් සෙවූ පුතුගේ ඝාතකයා, ඔහුගේ මරණය අබියසදීය ඇයට හමුවෙනවා. එතැනදී ඇයට ඇතිවන කම්පනය මේ විශ්වය කැඩපතක් බවට පත් කරනවා. එහිදී ඇයට ලෝකය දකින්න අවස්ථාව ලැබෙනවා. එතැනදී ඇය පුතුගේ මිනිමරුවාටත් දයාව දක්වන්න පෙලඹෙනවා. මගේ විශ්වාසය අනුව මාතෘත්වය උත්තරීතර වෙන්නේ තමන්ගේ දරුවන් පෝෂණය කිරීම සහ තමන්ගේ දරුවන්ට යම් යම් දේ ලබාදීමට අමතරව එතැනින් එහාට එම මාතෘත්වය, කරුණාව පතුරවන්න හැකි නම් පමණයි. සාහිත්‍ය අපි යොදා ගත යුත්තේ එම සැබෑම මනුෂ්‍යත්වය විදහා දැක්වීමටයි. සාහිත්‍යකරුවා සමාජ සම්මතයන් කෙතරම් මානුෂියද කෙතරම් දයාබරද කියන එක ප්‍රශ්න කළ යුතුයි.