වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්කරණයට පෙම් බඳින ළමා නළුවා වසරේ ළමා තරුව විරාජ් මධුශාන්

සංස්කරණයට පෙම් බඳින ළමා නළුවා වසරේ ළමා තරුව විරාජ් මධුශාන්

විරාජ් මධුශාන් කුමාර ළමා රංගන ශිල්පියෙකි. ඔහු පසුගිය සුමති සම්මාන උළෙලේ වසරේ ළමා තරුවට හිමි සම්මානය ද දිනා ගත්තේය. ඒ කොළඹ අහස ටෙලි සිතුවමේ රෝසා නම් වූ චරිතය වෙනුවෙනි.

විරාජ් රංගනයට අවතීර්ණ වන්නේ කෝපි කඩේ ටෙලි සිතුවම හරහාය. වසන්ත ඥාණප්‍රියංග මාර්ගයෙන් ඊට එක්වන ඔහු එහි පොඩි හාමුදුරුවන් ලෙස තම පළමු රැඟුම ඉදිරිපත් කෙරුවේය. අනතුරුව අංගනා, මුතු පිහාටු, කොළඹ අහස, පිටකොටුව යන ටෙලි සිතුවම්වලට සහ තුන් වරක් තුන චිත්‍රපටයට රංගන දායකත්වය සපයන විරාජ් වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ අප හමුවට ආවේය.

විරාජ් වර්තමානයේදී කොට්ටාව විද්‍යාර්ථ විද්‍යාලයේ දහය වසරේ ශිෂ්‍යයකු වශයෙන් ඉගෙනුම ලබයි. රංගන කටයුතු කරන අතරතුර අධ්‍යාපනයට ද මුල් තැන දෙන විරාජ් සිංහල සාහිත්‍ය විෂයට වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම කලාවේ රැකියාවක් කිරීමට ද අපේක්ෂා කරන විරාජ්ගේ එකම අරමුණ සංස්කරණ ශිල්පියකු වීම වේ. ඒ සඳහා විරාජ් ස්ව අධ්‍යනයක යෙදෙන බව අප හට දන්වා සිටියේය. එම වෘත්තියේ නියැලෙන අතරතුර රංගන කටයුතු ද කරගෙන යන්නටයි විරාජ්ගේ බලාපොරොත්තුව.

හර්ෂ උඩකන්දගේ පිටකොටුව ටෙලි සිතුවමේ රංගනයෙන් දායක වෙන කොට සිදු වූ රසවත් සිදුවීමක් විරාජ් මෙසේ මතක් කෙරුවේ. ඔහු එහි සූකිරි නම් වූ සිඟන ළමයෙකි. සූකිරිට පණ පොවත්දී කොළඹ ජනාකීර්ණ ස්ථාන කිහිපයකදීම සිඟා කෑමට විරාජ්ට සිදු වී ඇත. ඔහුව දැකපු බොහෝ දෙනෙකු විරාජ්ට ඇත්තටම සල්ලි දී ඇත්තේ ඔහු ඇත්තම සිඟන ළමයකු කියාය.

මමත් ඉතින් සද්ද නැතුව මිනිස්සු දෙන සල්ලි එකතු කළා.

විරාජ් අපත් සමඟ ඒ සිදුවීම කිව්වේ සිනාසෙන ගමන්ය.

විරාජ් තමන් ඉගෙන ගන්න පාසලේ විදුහල්පති ආර්. එම්. කරුණාසේන ඇතුව ගුරු මණ්ඩලය මතක් කෙරුවේය. මව පුෂ්පරාණි සහ පියා ලලිත් ද සිහිපත් කළේ තම රංගනය ගමනට නිතැතින්ම ඔවුන් ආශිර්වාද කරන බැවිනි.