වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය – ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපට කතාව හින්දි හෝ ද්‍රවිඩ බසින් නිර්මාණය වූ චිත්‍රපටයක්ද?

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

තටාකය පාර, කෑගල්ල

අර්ජුන් – නැහැ, එයට පාදක වන්නේ ෆියදෝර් ඩොස්කවුස්කිගේ කෙටි කතාවක්.

ප්‍රශ්නය - අර්ජුන් මල්ලී, හියුගෝ ප්‍රනාන්දු තිර පිටපත් ලියා තිබේද? තිබේ නම් එම චිත්‍රපට මොනවාද? ඔහුගේ පෙළපතින් එන කලා ශිල්පීන් ගැනත් සඳහනක් කරන්න.

ඊ. දයාන්නද ද සිල්වා, සීනිගම, හික්කඩුව

අර්ජුන් – වන මෝහිණී, අල්ලපු ගෙදර, හරියට හරි, වීර විජය, මාතලන්, ප්‍රේම තරගය ඇතුළු චිත්‍රපට රාශියක් ඔහු රචනා කළා. හියුගෝ මාස්ටර්ගේ පෙළපතින් නම් කිසිම කලාකරුවෙක් බිහි වුණේ නැහැ.

ප්‍රශ්නය - සිංහල සිනමාවේ ‘මාහේනේ රීරි යකා’ නමින් චිත්‍රපටයක් තිරගත වුණාද? එසේනම් කෙටි විස්තරයක් කරන්න.

එච්. ඉන්ද්‍රපාල, සංඝමිත්තා මාවත, මුංහේන

අර්ජුන් – එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කෙටි කතාවක් වූ ‘මාහේනේ රීරි යකා’ එනමින්මයි චිත්‍රපටය නිර්මාණය වුණේ. එය 1971 දෙසැම්බර් 21 වැනිදා තිරගත වූවා. එය අධ්‍යක්‍ෂණය කළේ කිත්සිරි නිහාල් ජයසිංහ. මෙහි වොලී නානායක්කාර, මාලීනී ෆොන්සේකා අතුළු නළු, නිළි පිරිසක් රඟපෑවා.

ප්‍රශ්නය – ද්‍රවිඩ සිනමාවේ නළුවකු වන චන්ද්‍ර බාබු ලංකාවේ ඉපදුණු කෙනෙක්ද? ඔහු ගැන විස්තරයක් කරන්න.

වියාණ් ගුණවර්ධන, වෙන්නප්පුව

අර්ජුන් – ඉන්දියානු නිදහස් සටනේ ක්‍රියාකාරිකයකු මෙන්ම සුගන්දිරම් පුවත්පතේ හිමිකරුගේ පුතනුවන් ලෙස 1927 ඉන්දියාවේ තූටු කොරින් හිදී ඉපුදුණු ජෝශප් පනිමයදාස් චන්ද්‍රබාබු රොඩ්රිගෝස් දෙමළ සිනමාවේ විකට නළුවකු, ගායකයකු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස අතිශය ජනපි‍්‍රය වූවා. පියා නිදහස් සටනේ ක්‍රියාකාරිකයකු වූ හෙයින් ආරක්‍ෂාව පතා ඔවුන් ශ්‍රී ලංකාවට පළා ආවා.

ඔහු මුලින්ම ඉගෙන ගෙන තිබුණේ මරදානේ ශාන්ත ජෝශප් සහ ඇක්වයිනාස් විදුහල්වලින්. පසුව නැවත ඉන්දියාවට යන ඔහු සිනමා නළුවකු වීමේ වුවමනාව මත ඒ සඳහා විශාල උත්සාහයක යෙදුණු අතර එය ව්‍යවර්ථ වූ කල මදුරාසියේ ජෙමිණි චිත්‍රාගාරයේ දී දිවි නසාගන්නට තැත් කළා. මේ හේතුව නිසා එම වරදට ඔහු අධිකරණය හමුවට පැමුණූූ විට ඔහු විනිසුරුවරයා ඉදිරියේදී තම හැකියාවන් පෙන්නුවා යැයි පැවසෙන්නේ ෂේක්ස්පියර් නාට්‍යයක කොටසක් රඟදැක්වීමෙනුයි.

සිරගත නොකළ ඔහු එයින් නිදහස් වූ අතර එයින් පසු ‘ධන අමරා’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් ලැබුණා. ඉන් අනතුරුව ‘මූන්දු පිල්ලෙයි’, ‘මෝහන සුන්දරම්’ ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපාමින් ජනපි‍්‍රයත්වයේ හිනි පෙත්තට පිවිසියා. එවකට දෙමළ සිනමාවේ ඉහළම මිලක් අය කළ නළුවා වුණේද ඔහුයි. පසුව ‘සබාස් මීනා’ ඇතුළු චිත්‍රපට රැසක රඟපෑමෙන් හා ගායනයෙන් ද දායක වුණා. කෙසේ වෙතත් ඔහුගේ විවාහය දවස් කිහිපයකට පමණක් සීමා වුවා. මේ සමඟ ඔහුගේ ඇද වැටීම ආරම්භ වුවා. ඔහු සහ එම්. ජී. රාමචන්ද්‍රන් අතර විශාල අර්බුදයක් තිබුණා. ඔහු මිය ගියේ 1974 වසරේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 46 ක්. මිය ගියේ තඹ දොයිතුවක්වත් අතේ නැති අන්ත අසරණයකු ලෙසයි.

ප්‍රශ්නය – එක රැයකින් සිනමා තාරකාවක් වූ ප්ලෝරිඩා ජයලත් පිළිබඳ විස්තරයක් කරන්න අර්ජුන්.

අතුල රම්‍යසිරි, පානදුර

අර්ජුන් – ‘සැඟවුණ මැණික’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසි ඇය ‘සුජාතා’ චිත්‍රපටයෙන් එක රැයෙන් ජනපි‍්‍රය වූවා. ‘සැඩ සුළං, වෙන ස්වර්ගයක් කුමටද, අවිශ්වාසය’ ඇතුළු චිත්‍රපට රැසක චරිත නිරූපණය කළ අතරම ‘ස්වීප් ටිකට්’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් මුල්ම අධ්‍යක්‍ෂවරිය බවටද පත් වූවා.

ඔබේ සිනමා පැන විසඳුම්
අර්ජුන්ගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10