වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළට ලෝක පූජිත චිත්‍රපට රැසක්

කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළට ලෝක පූජිත චිත්‍රපට රැසක්

කොළඹ අන්තර් ජාතික සිනමා උළෙල ලබන නොවැම්බර් හය වැනිදා කොළඹදී ආරම්භ කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ වන විට ලහි ලහියේ සූදානම් වෙති. මෙවර සිනමා උලෙළ මෙතෙක් ශ්‍රී ලංකාවේ තිරගත නොකළ අග්‍රගණ්‍ය සිනමා එකතුවක් වීම විශේෂ වේ. කාන් සිනමා උලෙළේ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ප්‍රංශයේ යාක් ඕඩියාට් අධ්‍යක්ෂණය කරන ලද දීපන් මෙන්ම බර්ලින් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි රන් වලහා සම්මානය දිානාගත් ඉරානයේ ජෆාරි ෆනාහි අධ්‍යක්ෂණය කරන ලද ටැක්සි චිත්‍රපටය ද මෙවර උලෙළට ඇතුළත්විම ද විශේෂත්වයකි.

කාන් සිනමා උලෙළෙහි තරඟකාරී අංශයේ තිරගත කළ ප්‍රංශයේ ඔලිවියර් ඇසයාස්ගේ සයිලස් මාරියා, කොලොම්බියාවේ ජෝස් ලුවිස් උග්ලර් අධ්‍යක්ෂණය කළ එලියාස් මාරියා, ඉතියෝපියාවේ යාරෙඩ් සෙලේති අධ්‍යක්ෂණය කරන ලද ලෑම්බි, බ්‍රසිලයේ සීසර් ඇසිවාඩෝ අධ්‍යක්ෂණය කරන ලද ලැන් ඩි ඇන්ඩ් ෂේඩ් ඇතුළුව ලෝක ප්‍රකට සිනමාකරුවන් වන පීටර් ග්‍රීනවේ අධ්‍යක්ෂණය කරන ලද අයින්ස්ටයින් ඉන් ගුවන් ජුවාටෝ, සාබු අධ්‍යක්ෂණය කළ චාසුකේස් ජර්නි ක්‍රිස්්ටොෆ්, සනුසි අධ්‍යක්ෂණය කරන ලද ෆොරින් බොඩි, ෆාන්ෂුවා ගිරාජ් අධ්‍යක්ෂණය කරන ලද බෝයි ෂෝ ඇතුළු ඉහළම ගණයේ චිත්‍රපට මෙවර සිනමා උලෙළේ තිරගත වීමට නියමිතය.

අමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, කැනඩාව, රුසියාව, කාම්බෝජය, බල්ගේරියාව, බෙල්ජියම, බ්‍රසීලය, පෝලන්තය, ලැටිවියාව, ලිතුවේනියාව, මෙක්සිකෝව, සර්බියාව, චිලී රාජ්‍ය, ජපානය, ඉරානය, ස්වීඩනය ඇතුළු රටවල් රාශියක් මෙවර සිනමා උලෙළෙට ඉදිරිපත් වී සිටියි.

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළෙට මෙවර පැවැත් වෙනුයේ දෙවැනි වරට වේ. පසුගිය වසරේ මෙම සිනමා උලෙළේ අතිශය සාර්ථක ප්‍රේක්ෂක සහභාගිත්වයක් දක්නට ලැබිණ.

රීගල්, මැජෙස්ටික් සිටි, එම්පයර් ආකේඩ් සිනමා ශාලාවන් සමඟ ජාතික චිත්‍රපට සංස්ථාවෙහි තරංගනී ශාලාව සහ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළෙහි චිත්‍රපට තිරගත වේ.