වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩය ජය ගත් සුරතල්ලු ...

බොලිවුඩය ජය ගත් සුරතල්ලු ...

‘සුරතල් සතුන් අතිශය සමීපතම මිතුරන් පිරිසකි. උන් කවරදාකවත් ප්‍රශ්න නොඅසයි. උන්ට විවේචන ඇත්තේ ද නැත’.

විශ්ව කීර්තිධර නවකතාකාරිනියක, ජනමාධ්‍යවේදිනියක මෙන්ම පරිවර්තිකාවක වූ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා ජෝර්ජ් එලියට් විසින් සුරතල් සතුන් අර්ථ දැක්වූයේ එලෙසිනි. මිනිසාගේ පරිණාමයේ පටන්ම අතිශය ළෙන්ගතු සත්ව කොට්ඨාසයක් ලෙස මිනිසා කෙරේ සමීපස්ථව කටයුතු කළ සුරතල් සතුන් මිනිසාටත් වඩා මිනිසාට අවනත වූ කීකරු සත්ත්ව කොට්ඨාසය ලෙස හැඳින්වීම අසාධාරණ නොවේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔවුන් දුකේදිත් සැපේදිත් නිබඳව ළඟ රැඳෙමින් තම ස්වාමියාගේ සුචච කීකරු සේවකයා බවට පත් වී කටයුතු කරන අයුරු විටෙක මවිතය දනවන සුලුය.

සිනමාව පිරික්සා බැලීමේදී සුරතල් සතුන් හා මිනිස් වර්ගයා අතර ඇති අධ්‍යාත්මීය මානව සබඳතාවය තහවුරු කෙරෙන සාක්ෂි රැසක් හමු වේ. බොලිවුඩයෙන් කරළියට පැමිණි සුරතලුන් වරෙක චිත්‍රපටයේ වීරයා පවා අබිබවා යමින් ඇස් ඉස් උඩ හිඳුවන මට්ටමේ සුරු විරුකම් කරමින් පාන දස්කම් විස්කම් පේ‍්‍රක්ෂකයා කුල්මත් කරයි. සාමාන්‍ය ලෝකයේ සුරතලුන් වශයෙන් යොදා නොගැනෙන විෂ ඝෝර දරුණු සර්පයන්, අලියන්, කොටියන් පවා සිනමා ලෝකයේ සුරතල් සතුන් ලෙස ආගන්තුක නොවේ. සිනමාව මඟින් දනවන සැබෑ චමත්කාරය සේම අපූර්වත්වය ද වන්නේ එයමය. මේ ලිපියෙන් විමසා බැලෙන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් බොලිවුඩ් සිනමාවේ පෙළහර පෑ සිනමා සත්ත්ව සුමිතුරන් කිහිප දෙනෙකු පිළිබඳවය.

හාති මෙරේ සාති - රාමු

අනාථයෙකු සේ හැදී වැඩුණු රාජු (රාජේෂ් ඛන්නා) හට දුකේදීත් සැපේදීත් නොවෙනස්ව ළඟින්ම සිටින සදා ළබැඳි ළෙන්ගතු මිතුරෙකි. ඒ අන් කවරෙකුවත් නොව රාමු නමැති අලි පැටියාය. දහසකුත් එකක් බාධා මධ්‍යයේ රාමුට හිමි වන්නේ කවරාකාර ඉරණමක්ද? රාජු හට තෝරා ගැනීම් දෙකකි. එනම් තමාගේ දුකේදිත් සැපේදිත් නොවෙනස්ව එකට සිටි අලි මිතුරා රාමු ද එසේත් නැතිනම් තම බිරිය හා දරුව ද යන්නයි. කිසිවෙකුත් නොසිතූ නොපැතූ සේ සියල්ල ක්ෂණයකින් වෙනස් වේ. අවසන රාමු පවුලේ සමීපතමයා බවට පත් වේ. 1971 වසරේ අති සාර්ථක අන්දමින් තිරගත වූ හාති මෙරේ සාති චිත්‍රපටය එම්. ඒ. තිරුමුගම්ගේ අධ්‍යක්ෂණයක් වූ අතර රාජේෂ් ඛන්නා සහ තනුජා ප්‍රධාන චරිතයන්ට පණ පෙවූහ. ‘ප්‍යාර් කි දුනියා’ ලෙස නම් කිරීමට මුලින්ම යෝජනා වුව ද රාමුගෙ චරිතයේ තිබූ ප්‍රබල බව නිසාම චිත්‍රපටයේ නම ‘හාති මෙරේ සාති’ ලෙසින් වෙනස් කරන ලදී. හාති මෙර් සාති සිනමාපටයෙන් කරළියට ආ සදා ළබැඳි අලි මිතුරා රාමු හින්දි සිනමාවේ සදා අනුස්මරණීයතම සුරතලෙකි.

තේරී මෙහෙර්බානියන් - මෝති

චිත්‍රපටයේ වීරයා මිය ගිය පසුව සුරතල් සතෙකු චිත්‍රපටයේ ප්‍රධානතම වීරයා බවට පත් වන්නේ තේරී මෙහෙර්බානියන් චිත්‍රපටය හරහාය. රාම් (ජැකී ෂෙරොෆ්) තම එදිරිවාදීන් අතින් ඝාතනය වෙද්දී රාම්ගේ මිතුරා වූ ගෝපිගේ (රාජ් කිරන්) නිර්දෝෂීභාවය දන්නා එකම සාක්ෂිකරු මෝතිය. තමාගේ විචක්ෂණශීලී බුද්ධිය, සියුම් ඉව උපයෝගී කර ගනිමින් සැබෑ මිනීමරුවා හසු කර දීමට මෝති නම් වූ බැල්ල පොලීසියට උපකාර කරන අයුරු අපූරුවට මෙම චිත්‍රපටය හරහා ඉදිරිපත් කෙරේ. 1985 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටය විජය රෙඩ්ඩිගේ අධ්‍යක්ෂණයකි. මෙහි ජැකී ෂෙරොෆ්, පූනම් ඩිලොන්, අම්රිෂ් පූරි ආදීහු රංගනයෙන් දායක වූහ. බ්‍රවුනි නම් වූ බැල්ල මෝති ලෙස අපූරු දායකත්වයෙක් චිත්‍රපටයට ලබා දේ.

පරිවාර්

බිර්ජු (මිතුන් චක්‍රබෝති) අනාථ දරුවන් දෙදෙනෙකුට රැකවරණය සලසන අවංක මිනිසෙකි. ඔහුගේ සෙවණේ වඳුරු සුරතලෙකු හා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු සුරතලෙකු ද හැදී වැඩේ. ඔවුනගේ ජීවිතවලට හදිසියේම පැමිණෙන තරුණියකි. තරුණියගේ ආගමනය මොවුන්ගේ ජීවිත උඩු යටිකුරු කරයි. කෙසේ හෝ මේ තරුණියගේ ජීවිතය ආරක්ෂා කරමින් ඈට රැකවරණය සපයමින් දිවි හිමියෙන් කටයුතු කරන සුරතල් සතුන් දෙදෙනා පවුලේම ආරක්ෂකයන් බවට පත් වේ. ශෂිලාල් නායර් විසින් අධ්‍යක්ෂණය කළ පරිවාර් චිත්‍රපටය 1987 වසරේදී තිරගත විය. මිතුන් චක්‍රබෝර්ති, මීනක්ෂි ශේෂාද්‍රි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.

මා

මුදලට ගිජු වූ තම නෑනා හා බෑනා අතින් මම්තා (ජයප්‍රදා) මරණයට පත් වේ. ඒ වන විටත් මම්තා කුඩා පිරිමි දරුවෙකු බිහි කොට හමාරය. ඔහුට රැකවරණය සැලසීමටත් ඔහු ආරක්ෂා කිරීමටත් මම්තාගේ ආත්මයට උපකාර කරන්නේ සුනඛයෙකි. මම්තාගේ ආත්මය දැකීමේ සියුම් නිරීක්ෂණ සංවේදිතාවයත්, අධි මානසික හැකියාවත් මේ බලු සුරතලා සතුය. බල්ලා මිනිසාගේ අතිශය සමීපතම මිතුරාය යන කරුණ බොහොම අපූරු මෙම චිත්‍රපටය හරහා තහවුරු වේ. 1992 වසරේදී තිරගත වූ මා චිත්‍රපටය අජේ කාශ්‍යප්ගේ අධ්‍යක්ෂණයකි. ජයප්‍රදා, ජිතේන්ද්‍ර, අරුණා ඉරානි යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ.

මේනේ ප්‍යාර් කියා

ප්‍රේම්ගේ (සල්මන් ඛාන්) හා සුමන්ගේ (භාග්‍යා ශ්‍රී) ආදරයට වැටකඩොලු බැදෙද්දී ප්‍රේම් විසින් සුමන් වෙත යවන ආදර හසුන් ගෙන යන සුදු පරෙවි සුරතලා ද බොහෝ දෙනාට ආදරණීයම මතකයන් එක් කළ තවත් අපූරුතම චරිතයකි. හොඳ මෙන්ම නරකට ද ප්‍රතිචාර දක්වන මේ අපූරු පරෙවි සුරතලා දැනුදු ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොයන තරමේ සුන්දරත්වයක් ඉතිරි කළේය. සුරාජ් බර්ජට්යා විසින් අධ්‍යක්ෂණය කළ මේනේ ප්‍යාර් කියා චිත්‍රපටය 1989 වසරේදී තිරගත විය. සල්මන් ඛාන්, භාග්‍ය ශ්‍රී, මොනිෂ් බාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.

හම් ආප්කේ හේන් කෝන් - ටෆී

නිෂා (මධුරි) විසින් ප්‍රේම් (සල්මන් ඛාන්) වෙත යැවූ ආදර හසුන් පත් මෙන්ම පෙන්ඩනයත් රාජේෂ් හට (මොනිෂ් බාල්) ලබාදීමට සලස් වන නිෂාගේ හා ප්‍රේම් ගේ ආදරය එක් කිරීමට උපකාර කරන්නේ ටෆී නම් වූ පොමනේරියන් වර්ගයේ සුරතල් බලු පැටියාය. ටෆීගේ සැබෑ නම රෙඩෝය. ටෆීගේ චරිතය ප්‍රේක්ෂක සිත් ආකර්ෂණයට නතු කර ගත් චරිතයක් බවට පත් විය. 1994 වසරේදී බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ හම් ආප්කේ හේන් කෝන් චිත්‍රපටය සුරාජ් ආර් බර්ජත්‍යාගේ අධ්‍යක්ෂණයකි. සල්මන් ඛාන්, මධුරි ඩික්සිත්, මොනිෂ් බාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ.

චිල්ලර් පාටි

2011 වසරේ ඉන්දීය ජාතික සම්මාන උලෙළේදී හොඳම ළමා චිත්‍රපටය වශයෙන් ජාතික සම්මානයෙන් පවා පිදුම් ලද චිල්ලර් පාටි චිත්‍රපටය නිකේෂ් තිවාරි සහ විකාෂ් බාල්ගේ අධ්‍යක්ෂණයකි. බිදු නමැති බලු සුරතලකු හා ළමුන් පිරිසක් වටා ගෙතුණු මේ චිත්‍රපටය සුනඛයන් හා මිනිසාගේ අතර වූ බැඳීම අපූරුවට ඉදිරිපත් කරන සිනමා නිර්මාණයකි.

එන්ටටේන්මන්ට්

අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කී පන්නාලාල් ජෝරි (දිලිප් ටාහිල්) මිය යන්නේ තම බූදලය එන්ටටේන්මන්ට් නම් වූ තම සුනඛ සුරතලා හට උරුම කර දෙමිනි. පන්නා ලාල් ජොරිගේ නැති වූ නියම පුතු අකිල් (අක්ෂේ කුමාර්) තම පියා සොයා ගෙන පැමිණිය ද සියලු පැතුම් සුනු විසුනු කරලමින් තම පියා මිය ගොසිනි. තමාගෙන් පසු බූදලය එන්ටටේන්මන් නමැති බල්ලාට පවරා ඇති බව දැනගන්නා අකිල් කීප විටකදීම එන්ටටෙන්මන්ට් මැරීමට තැත් කළ ද ඒවා ව්‍යර්ථ වේ.

පසුව කිසිවෙකුත් නොසිතූ පරිදි දෙදෙනා ගජ මිතුරන් බවට පත් වේ. පසුව සියලු උපද්‍රවවලින් එන්ටටෙන්මන්ට් බේරා ගන්නේ ද අකිල් විසිනි. අපූර්වතම සිදුවීම් රැසකින් යුක්ත වූ මේ චිත්‍රපටය එන්ටටේන්මන් හට අතිශය ජනප්‍රියත්වයක් උදා කර දුනි. එන්ටටේන්මන්ට්ගේ සැබෑ නම ජූනියර්ය. පුදුම බල්ලා (Wonder Dog)  ලෙස ද මොහු හඳුන්වයි. ෆර්හාන් සජිඩ් 2014 අධ්‍යක්ෂණය කළ එන්ටටේන්මන්ට් චිත්‍රපටයට අක්ෂේ කුමාර්, තමන්නා, භාතියා, ජොනි ලිවර් යනාදීහු රංගනයෙන් දායක වූහ.

මෙකී සිනමාපටයන්ට අමතරව ආන්කේන් (1993) චිත්‍රපටයේ වඳුරු සුරතලා ද, දුද් කා කාර්ස් (1990) චිත්‍රපටයේ නාගයා ද, දිල්ලි - 6 චිත්‍රපටයේ (2009) මසකලී නම් වූ පරවියාත්, කූන් බරි මන්ග් (1988) චිත්‍රපටයේ රඟපෑ ජම්බෝ නමැති බල්ලාත්, රාජා නැමති අශ්වයාත් හින්දි සිනමාවේ ප්‍රකට වූ සෙසු සරතල් සතුන් වශයෙන් හඳුන්වාදීමට පිළිවන.