වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටැන්ලි ඕමාර්ගේ විශ්‍රාම වැටුප බිරියට තවමත් ලැබී නෑ
සියවසක් පැරැණි වයලීනයක් සුජාතා විදුහලට තෑගි

ස්ටැන්ලි ඕමාර්ගේ විශ්‍රාම වැටුප බිරියට තවමත් ලැබී නෑ

එච්. ආර්. ජෝතිපාලයන් පිළිබඳ ලියන විට ස්ටැන්ලි ඕමාර් නාමය කිසිසේත් අමතක කළ නොහැක. කලාසූරි ඕමාර් අති දක්ෂ වයලීන වාදකයෙකි. පසුගිය දවසක අපට ලැබුණු ලියමනක ඕමාර්ගේ භාර්යාවට විශ්‍රාම වැටුප නෑ යනුවෙන් පුවතක් සඳහන් කොට තිබිණි. අපි මේ කතාවේ ඇත්ත හොයන්නට 32/4, ජයවීර මාවත, ඇතුල් කෝට්ටේ ලිපිනය සොයා ගෙන ගියෙමු. එහිදී ස්්ටැන්ලි ඕමාර්ගේ බිරිය මුෂිනා සමෝහාන් අපට හමු විය. මේ මස 21 වැනිදාට ස්ටැන්ලි ඕමාර් මිය ගොස් වසරකි.

ස්ටැන්ලි ඕමාර් සංගීතවේදියා අපෙන් සමුගෙන වසරක් සපිරෙන්නත් ඇවිත්?

2014 ඔක්තෝබර් 21 වැනිදා එයා අපෙන් සදහටම සමු ගත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. එදා ඉඳලා මම දැන් ගෙවන්නේ හුදකලා ජීවිතයක්.

කෝ එතකොට ඔබේ දරුවෝ?

අපිට හිටියේ දුවයි පුතාලා දෙන්නයි. ලොකු පුතා ගුලාම් ඕමාර් අමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. දුව ෂෙරීන් ඕමාර් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. දෙටු පුත් රොනී ඕමාර් ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටලයක ගණකාධිකාරීවරයෙක්.

අද මේ ඔබ ගෙවන හුදකලා ජීවිතයෙන් අත් මිදෙන්න ඔබටත් හිතෙන්නේ නැද්ද විදේශ ගත වෙන්න, දරුවො ළඟට යන්න?

අපෝ නෑ. මගේ මහත්තයා හිටිය ගෙදර මේක. මේ ගෙදර සංගීතයෙන් පිරිච්ච තැනක්. මම හැදිලා වැඩුණේ මේ රටේ. මගේ නෑදෑයෝ, යාළුවෝ ජීවත් වෙන්නේ මේ රටේ. මට කොහෙත්ම හිත දෙන්නේ නැහැ වෙන රටකට ගිහින් ජීවත් වෙන්න. මගේ හුස්ම ටිකත් යන්න ඕනෑ මේ රටේදීමයි.

ඕමාර් මාස්ටර් ඔබට හමු වුණේ කොහොමද?

මාස්ටර්ගේ පවුලේ අයත් අපේ පවුලේ අයත් ඥාතීන් වෙනවා. මුල් කාලයේ මමත් ගුවන් විදුලියට යනවා සිංදු කියන්න. මාස්ටරුත් ගුවන් විදුලියට එනවා වයලීන් ගහන්න. අපි දෙන්නා එකිනෙකාට දැන හඳුනා ගත්තේ ගුවන් විදුලියේදී. කොහොම හරි අපේ පවුලට මම ගැන අහලා විවාහ යෝජනාවක් මාස්ටර් ගේ පවුලෙන් ආවා. අපේ අම්මා එයට කැමති වුණා. ඒ නිසා මමත් කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුව අපි දෙන්නා 1956 අගේස්තු 18 වැනිදා විවාහ වුණා. එදා අපේ විවාහයේ දෙවැනි මනමාලයා වුණේ ප්‍රකට සංගීතඥ එම්. කේ. රොක්සාමි.

මහත්තයාගේ වාදන හැකියාවත්, ඔබේ ගායන හැකියාවත් හරි අපූරුවට ගැළපෙන්න ඇති?

මම මහත්තයාගේ ගී නිර්මාණවල කෝරස් කියන්න ගියා. මහත්තයා මුලින්ම සංගීතවත් කළ රොඩීගම චිත්‍රපටයේ කෝරස් කියන්නත් ගියා.

ඔබ මුෂිනා සමෝහාන් , ඇයි මේ මූන් කියන්නේ?

මැලේ භාෂාවෙන් මුෂිනා කියන්නේ හඳට. ඒ නිසා කවුරුත් මට මූන් කියනවා. මහත්තයාගේ නමේ ඕමාර් කොටසත් එක්ක කවුරුත් මට මූන් ඕමාර් කියනවා.

මහත්තයාගේ මුල්ම නම ඩලහාන් කියන්නේ ඇත්තක්ද?

ස්ටැන්ලි ඔමාර්, බිරිය මුෂිනා විවාහ වූ දා

ඔව්. මේ ඩලහාන් කියන නම තමයි එයාට කුඩාම අවධියේ දාලා තිබුණේ. පස්සේ මේ නම එයාට සුදුසු නෑ කියලා ඡ්‍යොතිෂයට සම්බන්ධ කෙනෙක් කියලා තිබුණ නිසා ෂහීඩ් ඕමාර් කියල නම දැම්මා. මේ ෂහීඩ් කියන නම කවුරුත් භාවිත කළා ස්ටැන්ලි කියලා. ඒ නිසා එයා ස්්ටැන්ලි ඕමාර් වුණා.

ඔබේ පවුලෙත් මාස්ටර්ගේ පවුලෙත් සාමාජිකයෝ විශාල පිරිසක්?

මාස්ටර්ගේ පවුලේ දරුවෝ එකොළහක්. මාස්ටර් එයින් නමවෙනියා. අපේ පවුලේ දරුවෝ දහතුනක්. මම දෙවැනියා.

මාස්ටර් කුඩා සන්දියේ කිසිවකු විසින් ඔහු ගැන අනාවැකියක් පළ කළ බව සත්‍යයක්ද?

මහත්තයාට උපතින් කතා කරන්න අපහසු වෙලා තිබිලා තියෙනවා. ඒ නිසාම තදින් ඡ්‍යොතිෂය පිළිබඳ විශ්වාස කරන එයාගේ තාත්තා කේන්දර බලන කෙනෙක් ළඟට ගියහම එයා කියලා තියෙනවා ඉදිරියේදී මේ තැනැත්තා ඇඟිලි තුඩු මඟින් දස්කම් දක්වන පුද්ගලයෙක් වෙනවා කියලා. ඒ වගේම එයා ඇඟිලි තුඩු මඟින් ප්‍රසිද්ධියක් ලැබුවා.

මාස්ටර්ගේ කතා කරන්න බැරි අපහසුව සුව වුණේ කොහොමද?

ඒ කාලේ මාස්ටර් වගේම මමත් නුවර තමයි පදිංචිව සිටියේ. මට මතකයි මාස්ටර්ගේ මේ කතා කරන්න බැරි අපහසුතාව සුව කළේ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් මතුරන ලද සීනි වගයක් කෑමට දිමෙන්.

මාස්ටර් ගැන දෛවඥයා කියූ කියමන කොයි තරම් දුරට සාර්ථක වුණා කියලද ඔබ විශ්වාස කරන්නේ?

මහත්තයා ලිපිකරු විභාග පහක් විශිෂ්ට ලෙස සමත් වුණා. විනාඩියට වචන අසූ පහක් ටයිප් කිරීමේ වාර්තාවක් තබන්න මහත්තයාට පුළුවන් වුණා. ඒ නිසාම එයාට ලිපිකරු අධි ශ්‍රේණියේ උසස්වීමක් ඇතුව කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ රැකියාවක් ලැබුණා. ඒ වගේම ඇඟිලි තුඩු මඟින් වාදනයේ නියුතු වයලීන් වාදකයෙක් වෙන්නත් ඔහුට පුළුවන්කම ලැබුණා. ඒ කාලේ මහත්තයා ටයිප් ගැහුවේ හරියට රබන් ගහනවා වගේ . ඒ තරම් වේගවත්.

ස්ටැන්ලි ඔමාර්, බිරිය මුෂිනා සමඟ

ස්ටැන්ලි ඕමාර් සංගීතවේදියා සිය ප්‍රතිභාව ප්‍රකට කළ වයලීනය ඔබ පරිත්‍යාග කරන්න අදහස් කර ඇති බව කියන ආරංචිය සත්‍යයක්ද?

ඔව්. ඒක එතුමා ජීවත් වෙලා ඉන්න කාලෙම මගෙන් කරපු ඉල්ලීමක්. කවදා හෝ ඔහු මිය ගිය දිනෙක ඒ වයලීනය සංගීතයේ උන්නතිය උදෙසා පරිත්‍යාග කරන්න කියලා මට කියලා තිබුණා. මේ වයලීනයට දැන් අවුරුදු සීයක්. මේකෙ පෞරාණික වටිනාකමත් එක්ක මට මේක මිල කරන්න බෑ. මම තිරණය කළා නුගේගොඩ සුජාතා විද්‍යාලයට මේ වයලීනය පරිත්‍යාග කරන්න. ඒකට හේතුවක් තියෙනවා. මගේ මහත්තයා තමයි ඒ විද්‍යාලයේ පාසල් ගීතය නිර්මාණය කළේ. ඒ නිසාම මම ඒ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඕමාර් මාස්ටර් වික්‍රමයන් කළ ඒ වයලිනය එතුමා මිය ගොස් යෙදෙන පළමු ගුණ සමරුව යෙදෙන මේ මාසේ විසි එක් වෙනිදාට ඒ විද්‍යාලයේ දරුවන්ගේ අභිවෘද්ධීය වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

ඔය වයලීනයත් පුද සත්කාර ලැබූ කෞතුක වස්තුවක්?

හැමදාම ඕමාර් වයලීනය අතට ගන්නේ ඒකට භක්තියෙන් යුතුව වැඳලා. එයාගේ පුරුද්දක් තිබුණා උදේට වයලීනය වාදනය කිරීමේ. ඒ කලේ මේ ගෙදර උදේ ඉඳලා රෑ වෙනකන් සංගීතයෙන් පිරිච්ච ගෙදරක්.

මාස්ටර් වඩාත් ප්‍රසිද්ධියක් ලැබුවේ නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයෙන් බවයි මට හැඟෙන්නේ?

ඒක සත්‍යයක්. හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම මහත්වරුන්ගේ නාට්‍ය වැඩි ප්‍රමණයකට සංගීතය සැපයුවේ මහත්තයා. ජනේලය, තවත් උදෑසනක්, මනරංජන වැඩ වර්ජන, අපට පුතේ මගක් නැතේ, මකරා, සුභ සහ යස, ස්ත්‍රී, සුදු සහ කළු ආදී නාට්‍ය රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

මැලේ ජාතිකයන් සඳහා වෙන් වූ සංගීත වැඩ සටහනක් වූ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සලාමත්’ සංගීතවත් කළේ ඔබේ ස්වාමියායි?

මාසික මැලේ සංස්කෘතික වැඩ සටහන අදටත් කරගෙන යන්නේ බර්ටි අබ්බාස්. ඒ වැඩ සටහන කරගෙන යන්න අදටත් අපේ වාද්‍ය වෘන්දය පුහුණුවීම් කරන්නේ මේ ගෙදර. එදා ස්ටැන්ලි ඕමාර් යම් ආකාරයකට මේ ගෙදර සංගීතයත් එක්ක ජීවත් වුණා ද ඒ මතකය, ඒ ආශ්වාදය යම් ප්‍රමාණයකට හරි මට දැනෙන්නේ මේ පුහුණුවීම් නිසාමයි.

මාස්ටර්ගේ ප්‍රථම ගුණ සමරුව නිමිත්තෙන් එදිනට මොනවගේ සැමරුමක් ද කරන්න බලාපොරොත්තුව.

අපේ ආගමේ හැටියට පල්ලියේ වතාවල්වල නියැළෙන කීප දෙනෙක් ගෙදරට ආරාධනා කොට දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරන්න තමයි මම මේ සූදානම් වෙලා ඉන්නේ. එයා වෙනුවෙන් දෙසැම්බර් 27 වැනිදා මරදානේ ටවර් රඟහලේ අපි ප්‍රසංගයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ටෝනි මන්තාරා තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. මහත්තයා ලියූ ගීත, සංගීතවත් කළ ගීත අපි එදාට මේ ප්‍රසංගයේදී සජීවීව ගායනා කරනවා. එදාට මේ ප්‍රසංගය නරඹන්න සියලු දෙනාට ආරාධනා කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඇත්තද මාස්ටර්ට හිමි රජයේ විශ්‍රාම වැටුප ඔහු මියගොස් වසරක් ගත වුවත් එය ඔහුගේ බිරිය හැටියට ඔබට නොලැබෙනවා කියන්නේ?

මහත්තයා මිය ගොස් දැන් අවුරුද්දක් විතර වෙන්න එනවා. තවම එයාට හිමි විශ්‍රාම වැටුප බිරිය හැටියට මට ලැබෙන්නේ නැහැ. කීප විටක් රාජගිරියේ මහා ලේකම් කාර්යාලයට ගියා. මාසෙකින් හැදෙයි දෙකකින් හැදෙයි කිව්වා. ඒත් නෑ. අවශ්‍ය සියලු ලියකියවිලිත් මම එහාට භාර දීලයි තියෙන්නේ. එයා ජීවත් වෙලා ඉන්නකන් විශ්‍රාම වැටුප ලැබුණා. හදිස්සියේ මහත්තයා හෘදයාබාධයක් ඇති වෙලා තමයි නැති වුණේ. එයා නැති වුණාත් හරි එයා වෙනුවෙන් බිරියට හිමි විය යුතු ඒ විශ්‍රාම වැටුප තමයි මට ලැබිය යුත්තේ.

එච්. ආර්. ජෝතිපාල නම් වූ සුවිශේෂී ගායකයාගේ ගායන දිවියේ තිඹිරි ගෙය ස්ටැන්ලි ඕමාර් කියන්නේ ඇත්තක්ද?

මගේ මහත්තයා තමයි ජෝතිපාලව ක්ෂේත්‍රයට රැගෙන එන්නේ. එදා ජෝතිපාලගේ සෙවණැල්ල වුණේ මගේ මහත්තයා. මගේ මහත්තයා නොසිටින්න ජෝතිපාල කෙනෙක් බිහි නොවන්න තිබුණා. මගේ මහත්තයා මුල් කාලයේ නැවතිලා හිටියේ මරදානේ මාලිගාකන්ද පාරේ බෝඩිමක. ඒ කාලේ ඉඳලම ජෝතිපාල මහත්තයා එක්ක හිතවත්. වැඩි දවසක් ජෝතිපාල ගත කරලා තියෙන්නේ මහත්තයාගේ බෝඩිමේ. මට මතකයි මහත්තයා කියනවා ජෝති ඒ කාලේ මහත්තයාගේ ඇඳුම් ඇඳගෙන ෂෝවලටත් ගියාලු. ජෝතිපාලව ගායකයෙක් කළේ මගේ මහත්තයා. මාස්ටර් ජෝතිගේ දිවි මඟට පහන් ටැඹක් වුණා. මහත්තයා සිංදුවක් ලියලා තනුව දාලා එයාගේ වියදමෙන් ඒ ගීතය ජෝතිගේ හඬින් පටිගත කරලා එදා ජෝතිව ගායකයෙක් විදියට සමාජගත කළේ ඕමාර් මාස්ටර්.

ජෝති මේ රටේ අසහාය ගායකයෙක් ලෙස මාස්ටර් බිහි කළ ඒ මුල්ම ගීතය ඔබට මතකද?

මගෙ රාජනී සුකුමාලි දයා සොඳුරු ප්‍රියාවි . . .

කලාසූරී, කලා භුෂණ සම්මානයෙන් පුද ලද ස්ටැන්ලි ඕමාර් කලා ශිල්පියා පිළිබඳ අද මොන වගේ හැඟීමක් ද ඔබට දැනෙන්නේ?

මහත්තයා ජීවිතයේ සැඳෑ සමය ගෙව්වෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංගීතය ඉගැන්වීමෙන්. මේ ගෙදරට සමාජයේ විවිධ තරාතිරමේ උදවිය ඇවිත් ගියා සංගීතය ඉගෙන ගන්න. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ පවා ආවා ගියා. ඇතුල් කෝට්ටේ ජයවීර මාවත කිව්වොත් අයෙ දෙකක් නෑ ඕමාර් මාස්ටර් තමයි කාටත් මතකයට ආවේ. අදටත් ඒ මතකය මිනිස්සු තුළ තියෙනවා. මගේ මහත්තයා සල්ලි හම්බ කළා නෙමේ, මිනිස්සු හම්බ කළේ. මහත්තයා ගීත රචනා පනහක් විතර ලියලා තියෙනවා. ඒවාට ජාති භේද, ආගම් භේද තිබුණේ නැහැ. එයා සංගීතය පැත්තෙන් බෞද්ධ සමාජයටත් කළ සේවය සුළුපටු නැහැ.