වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කොරියාවෙන් මෙවර හිරු සඳු ආදරෙයි

කොරියාවෙන් මෙවර හිරු සඳු ආදරෙයි

‘හිරු සඳු ආදරෙයි' නවතම කොරියානු ටෙලි නාට්‍ය පසුගිය 26 වැනිදා සිට සෑම සතියේ දිනකම පස්වරු 6.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. සුජාත දියණිය, අභීත දියණිය, සිරිමැටි සිත්තරාවි වැනි කොරියානු ටෙලි නිර්මාණ රස විඳි ඔබට තිළිණ කෙරෙන 'හිරු සඳු ආදරෙයි' කොරියාවේ ජෝසෝන් රජ යුගයට සම්බන්ධ ප්‍රබන්ධ කතා පුවතක් ගෙන එයි.

චං ඉයුන් ග්වෝල් විසින් රචනා කරන ලද නවකතාවක් ඇසුරෙන් මෙහි තිර රචනය ජින් සු වාන් සහ අධ්‍යක්ෂණය කිමි දෝ හුන් සමඟ ලි සොං ජුන් විසින් සිදු කෙරිණි. ඔබට සුපුරුදු අභීත දියණිය ටෙලි නාට්‍ය මාලාව රූගත කළ ප්‍රාන්තයේදී මෙහි රූගත කිරීම් කර තිබේ.

'ජෝසොන් රජ පෙළපතේ ඔටුන්න හිමි කුමාරයා ලී හ්වොන් කුමරුය. ඔහු ආඩම්බර ගති ඇත්තෙකි. දිනක් අහම්බයකින් ඔහුට යෙවොන් කුමරිය මුණ ගැසේ. ඇය හෝයෝ ඇමතිතුමාගේ එකම දියණියයි. ඇයගේ සොයුරා යෙඔම් මහ රජු විසින් හ්වොන් කුමරුගේ ඇදුරුතුමා ලෙස පත් කරයි. ඔහුගේ ඇසුරින් හ්වොන් කුමරුගේ දැඩි ගති වෙනස් වේ.

යෙවාන් කුමරිය සමඟ කුමරුගේ ඇසුර හේතුවෙන් රජු දෙදෙනා විවාහ කරදීමට තීරණය කළ ද කුමන්ත්‍රණකරුවන් විසින් එය වළකනු ලබයි. කුමරුට වෙනත් කුමරියක සරණ පාවා දීම කුමන්ත්‍රණකරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ සියළු ප්‍රශ්න හමුවේ කුමරාගේ බලාපොරොත්තුව වන්නේ රටවැසියාට යහපත සැළසීමයි'.

මේ අයුරින් 'හිරු සඳු ආදරෙයි' කතාව ගොඩ නැංවේ. ලි හ්වොන් ලෙස රඟපාන කිමි සු හියුන් ජනප්‍රියතම නළුවා බවට ද පත් වූයේ මෙහි රංගනය හේතුවෙනි. සුජාත දියණිය, සිරිමැටි සිත්තරාවි ටෙලි නාට්‍ය හරහා ඔබ හමු වූ චරිත කිහිපයක් ද මෙහිදී ඔබට හමුවනු ඇත. 2012 වසරේදී ප්‍රථම වරට විකාශනය කළ 'මූන් එම්ෙබ්‍රිසිං ද සන්' ලෙසින් නම් වූ මෙම ටෙලි නිර්මාණය ජපානය, පිලිපීනය, සිංගප්පූරුව, ඉරානය, තායිලන්තය, හොංකොං, මැලේසියාව ආදී රටවල් රැසක විකාශය කර තිබේ. එසේම එම්. බී. සී. සම්මාන උළෙල, 48 වැනි බොක්සාං සම්මාන උළෙල, 18 වැනි ෂැන්හයි සම්මාන උළෙල, හූස්ටන් අන්තර් ජාතික සම්මාන උළෙල ඇතුළු සම්මාන උළෙල රැසකදී 'මූන් එම්ෙබ්‍රිසිං ද සන්' විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සම්මානයට පාත්‍ර විය.

ළහිරු පසන්, නලින් ප්‍රියදර්ශන, ඉසිනි නිසාරා, අචිනි නිශාදිකා, උෂාන් සෙනරත්, කමල් ගමගේ, මනාකා තාරකි, සිළිදු රංවල, අජිත් ක්‍රිෂාන්ත, සන්ධ්‍යා රඹුක්කන, නයනා රඹුක්වැල්ල, ප්‍රසන්න ෆොන්සේකා, අනුර බණ්ඩාර රාජගුරු ඇතුළු ශිල්පීහු රැසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති. හඬ සටහන හා මුසුව සුමුදු විජේවර්ධන, හඬ කැවීම් අදියුරුවම හා නිපැයුම පී. කුලරත්න, තේමා ගී තනු සෝමපාල රත්නායක, සංගීතය ජයන්ත රත්නායක, තේමා ගී ගායනය රොහාන් ශාන්ත බුලේගොඩ සහ නෙලූ අධිකාරි විසිනි. 'හිරු සඳු ආදරෙයි' නිපැයුම් මෙහෙයුම, සංස්කරණය හා තේමා ගී පද අතුල රන්සිරිලාල් විසිනි.

හිරු සඳු ආදරෙයි තේමා ගීතය

හිරු සඳු ආදරෙයි

ගෙයි හිරු සඳුත් ආදරෙයි

තරු පැටවුන් ආදරෙයි

 

මේ ගෙයි - හැම හද මැදුරෙම - දයාබරයි

ආදර අසිරියේ මිහිර ගලයි

 

පුර හඳ - පිපි තරු - අහසේ පවුලයි

පැටව් - දෙමාපිය - නිවසේ මිදුලයි

ගෙදරින් - ගෙදරට - දයාව සුදිලෙයි

දුවේ - පුතේ - ඒ ආදරේ අරුතයි

 

ආදරේ නොමැතිව හිස කුසගින්නේ

වනපෙත ඇල දොළ හිරිගඬු ලන්නේ

මාලිග පැල්පත් හුස්ම වැටෙන්නේ

පිවිතුරු ආදරයේ මහිමෙන්නේ