වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




හැම ගෙදරකම මේ දේවල් සිදු වෙනවා

හැම ගෙදරකම මේ දේවල් සිදු වෙනවා

‘ප්‍රේම සැඳෑවෝ’ සමඟ යළි පාඨකයන් අතරට එන රංජිත් කුරුප්පු

Fifty Shades of Grey බ්‍රිතාන්‍ය ජාතික එල්. ජේම්ස් නමැති යොවුන් කතුවරියගේ කුලුඳුල් නවකතාවය. දිගු කලක් තිස්සේ ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන රංජිත් කුරුප්පු එම කෘතිය 'ප්‍රේම සැඳෑවෝ' නමින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. පවන රළු විය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් එහි තිර නාටකය වෙනුවෙන් සරසවිය සම්මානයද දිනා ගත්තේය.

මරණයේ දොරටුව, යුද්ධයේ අතුරු කතාවක්, හිට්ලර්ගේ අවසානය, කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, ගිිනි මැද සක්මන, ගිම්හාන ගීතය, සාතන්ගේ දියණිය, දෑස යොමා අහස දෙසා මින් පෙර සිංහලට පරිවර්තනය කර ඇති අතර මෙය ඔහුගේ දහනව වැනි කෘතිය වේ.

සිය උපන් බිමේ පාඨකයන් අතර ඉමහත් ජනප්‍රසාදයක් හිමි කර ගත් ලේඛකයකු වන රංජිත් අද මෙසේ අප හා සංවාදයට එක් වන්නේ 'ප්‍රේම සැඳෑවෝ' කෘතිය මුල් කර ගනිමිනි.

* Fifty Shades of Grey කෘතිය සිංහල පාඨකයාට තිළිණ කරන්නට හේතු වූ කාරණාව පිළිබඳ මුලින්ම කතා කළොත්?

මුලින්ම කියන්න ඕනෑ මේක සුන්දර ප්‍රේම කතාවක්. අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන ඇනස්ටාසියා ස්ටිල් කියන ශිෂ්‍යාව සහ ඇයට අනපේක්ෂිත මොහොතක මුණ ගැසෙන කෝටිපති ව්‍යාපාරිකයකු වූ ක්‍රිස්ටියන් ග්‍රේ අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය පාදක කරගෙන තමයි මේ නවකතාව නිර්මාණය වී තියෙන්නේ.

* නමුත් හුදු ප්‍රේම සම්බන්ධතාවකට එහා ගිය සරාගී ප්‍රේම වෘතාන්තයක් ලෙසයි පාඨකයා හමුවේ මෙය දිග හැරෙන්නේ?

ඇත්තටම ඔවුන් අතර ඇති වෙන්නේ සරාගී ප්‍රේම සම්බන්ධයක්. ක්‍රිස්ටියන් ග්‍රේ කුඩා කාලයේදී පරපීඩා කාමිනියක් වන සිය මවගේ මිතුරියක් අතින් අපචාරයට ලක් වෙනවා. ග්‍රේ පරපීඩා කාමියකු බවට පත් වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින්. එහෙත් ඇනස්ටාසියා ඔහුගෙන් ඉල්ලා සිටින්නේ සොඳුරු භාවාත්මක ප්‍රේමයක්. මෙම විසඳුමක් නොමැති ප්‍රතිරෝධය ඔස්සේ තමයි මේ නවකතාව ගලාගෙන යන්නේ.

* කතුවරිය ඉතා නිර්මාණශීලීව හා නිර්භයව මේ සරාගී පෙම් පුවත පාඨකයා වෙත ඉදිරිපත් කරනවා?

'කාම සූත්‍ර' ග්‍රන්ථයෙහි විස්තර කෙරෙන ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගය අභිබවා ගිය පරපීඩාකාමියකු ගැහැනියකගෙන් බලාපොරොත්තු වන තෘප්තිය කෙබඳු ද යන්න රෝමෝද්ගමනය වන අයුරින් කතුවරිය මෙහි ඉදිරිපත් කර තිබෙනවා. ඇය පිටු පන්සියයේ පොත් තුනක් හරහා තමයි මෙම සරාගී පෙම් කතාව පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ. පිටු එක්දාස් පන්සීයක් පුරා පාඨකයා ඇඳ බැඳ තබා ගනිමින් ඔවුන් වෙහෙසට පත් නොකර, ඇය මේ කතාව ගොතා තිබෙන අයුරු හරිම අපූරුයි.

* මම හිතන්නේ මෙය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් අලෙවි වූ නවකතා මාලාවක්?

ඔව්. මේ වෙන කොට එය ලෝකය පුරා මිලියන සීයක් අලෙවි වී තිබෙනවා. ඒ වගේම භාෂා හතළිස් දෙකකට පරිවර්ථනය වෙලා තියෙනවා. මේසා විසල් පාඨක ප්‍රතිචාරයක් මේ කෘතියට හිමි වෙන්නට ඇත්තේ එහි තිබෙන අපූර්වත්වය නිසා විය යුතුයි. නවීන තාක්ෂණය සාහිත්‍යයට ගෙන ඒමත් මේ කෘතියේ විශේෂත්වයක්. Email වලින් යන සංවාද පවා ඊට ඇතුළත්. පුදුම ආසාවක් හිතෙනවා ඒ සංවාද කියවන්න. ඒවායේ ඇතුළත් දේවල්, ඊට යොදන මාතෘකා, ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍යයේ ඉතාමත් ගලාගෙන යන භාෂාවක් තමයි කතුවරිය මේ කෘතියට පාදක කර ගන්නේ. මිනිස් සන්තානය ඇතුළට කිඳා බැහැලා ඒ භාවයන්, ඒ හැඟීම්, ඒ දැනීම් සියලු දේම ඇය විග්‍රහ කරන විදිහ හරිම විචිත්‍රයි. මලක පුංචි රේණුවක් පවා කොහොමද සැලෙන්නේ කියන එක ඇය කවියක් වගේ ගෙනහැර දක්වනවා.

* ඔබේ මතයට අනුව 'ප්‍රේම සැඳෑවෝ' පරිසමාප්ත නවකතාවක්?

මහචාර්ය ඒ. වී. සුරවීර 'නවකතාව, නිර්මාණය සහ අවබෝධය' නමින් කෘතියක් ලියා තිබෙනවා. ඒ පොතේ එතුමා කියනවා නවකතාව කියන්නේ සත්‍ය සහ කල්පිතය අතර සංකලනයක් කියලා. එතුමා එහිම කියා තිබෙනවා නවකතාවක් කියන්නේ කතාවක් කීම නෙවෙයි, ඒ කතාව වෙච්ච හැටි කීම කියලා. හොඳම උදාහරණය තමයි ප්‍රේම සැඳෑවෝ. අපි කියමුකෝ සම්භෝගය කියලා. එහි හැම දේම මෙහි විග්‍රහ කෙරෙනවා.

* දැන් බටහිරට කාම සම්භෝගය කියන එක අලුත් දෙයක් නොවේ. ඔවුන් විවිධ නිර්මාණ හරහා එම අත්ැදකීම් එළි දක්වනවා. නමුත් ලංකාව වගේ රටකට මෙබඳු කෘතියක් ගැලපෙයි ද කියන කුකුස කෙනෙකුට ඇති වෙන්න පුළුවන්?

අපේ රටේ මේ කාමය, රාගය කියන දේවල් එළිපිට කතා නොකළාට ඒවා අපිට අපුත් දේවල් නෙවේනේ. කාමය කියන්නේ වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියනේ. ඉතින් කොහොමද අපි ඒක බැහැර කරන්නේ.

* නමුත් අපේ සංස්කෘතිය, සදාචාරය එක්ක බලන කොට එබඳු දේවල් එළිපිට කතා කිරීම හොඳයි කියා ඔබ සිතනවාද?

ඉතින් එහෙම හොඳ නැතිනම් කොහොමද මේ ළමයි හම්බ වෙන්නේ. තුන්වැනි ලෝකයේ දූපත් මානසිකත්වයේ කුහකකම හැටියට තමයි මම මේක දකින්නේ. මේ කාමය ගැන කතා නොකිරීම බොරු සුචරිතවාදයක්. මොනවටද එහෙම බොරු සුචරිතවාදයක්. හැම ගෙදරකම මෙවැනි දේවල් සිදු වෙනවා. මේ කෘතියේ තිබෙන දේවල් දොරවල් වහගෙන සිදු කරනවා. අපේ රට බෞද්ධ රටක්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ 'කාමේසු මිච්චාචාරා වේරමනී සික්ඛා පදං සමාදියාමි' කියලයි. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා කිව්වා මිසක් කාමය වැරදියි කිව්වේ නෑනේ. අයියෝ SEX.. මේක මහ වල් පොතක්. එහෙම කියන අයගේ කුහකත්වය තමයි මම නම් දකින්නේ.

* ලෝක සාහිත්‍යයට නම් මෙබඳු දෑ අරුමයක් නෙවේ?

ඔව්. මෙබඳු කෘති ආගන්තුක නෑ විශ්ව සාහිත්‍යයට. නමුත් ඩී. එච්. ලෝරන්ස් 1926 දී 'ද ලේඩි චැට්ලිස් ලවර්' කෘතිය ලිව්වාම මුළු බ්‍රිතාන්‍යයේම ඒක තහනම් කළා. නමුත් අද තත්ත්වය වෙනස්. මේ ළඟදී මට හමු වුණා මහාචාර්ය ජගත් වැල්ලවත්ත. ඔහු මගේ මිිත්‍රයෙක්. ඔහු 'ප්‍රේම සැඳෑවෝ' කියවලා මේක ඉතාම අගනා ප්‍රේම කතාවක් බව පැවසුවා. කාම සම්භෝගය මෙහි තිබුණාට අර තරුණිය ඇනස්ටාසියා ඉල්ලා සිටින්නේ භාවාත්මක ප්‍රේමයනේ. මේ නවකතාවේ අවසානයට තිබෙන්නේ අර කෝටිපතියා අර සැබෑ ප්‍රේමය අවබෝධ කර ගන්නා සැටි. එතනට එනකොට පාඨකයා හඬනවා.

* මෙබඳු දීර්ඝ නවකතාවක් පරිවර්තනය කිරීමට මුල පිරීමම එක්තරා විදිහක අභියෝගයක්. මෙය ඔබට වෙහෙසකර අත්දැකීමක් වුණේ නැතිද?

කතුවරිය පිටු 500 බැගින් වෙළුම් තුනකින් යුත් පිටු 1500 ක නවකතාවක් ලෙසයි මෙය පාඨකයාට ඉදිරිපත් කරන්නේ. 'ප්‍රේම සැඳෑවෝ' එහි පළමුවැනි කොටස. මෙහි තවත් කොටස් පහක් සිංහලට පරිවර්තනය කරන්න සූදානමින් සිටිනවා. එවිට Fifty Shades of Grey මුළු කෘතියම සිංහල පාඨකයාට රස විඳින්නට පුළුවන්. ඇත්තටම මේ කාර්ය මට වෙහෙසක් වුණේ නෑ. මම මේකට කැමැතියි. මම මේ මුදල් බලාගෙන කරන දෙයක් නෙවේ. මට එයින් ලොකු තෘප්තියක් ලැබෙනවා. මේ කෘතිය විඳිමින් තමයි මම පරිවර්තන කාර්යයට යොමු වී සිටින්නේ. එය මට රසවත් අත්දැකීමක්.

* ඕනෑම සාහිත්‍ය කෘතියක් පරිවර්තනයට ලක්වෙද්දී අර මුල් කෘතියට උපරිම සාධාරණයක් ඉටු නොවන බව අප අසා තිබෙන සුපුරුදු කතාවක්. දැන් ඔබේ පරිවර්තන කාර්යය තුළදී ඊට අදාළව ඔබේ පිළිතුර?

මම වගකීමෙන් කියනවා කිසිදාක මා අතින් අර මුල් කෘතියට කිසිදු හානියක් සිදු වී නැහැ. මොකද ඒක තමයි මගේ පළමුවැනිම අවධානය. අපි මේ අනුන්ගේ පොතක් පරිවර්තනය කරන්නේ. යම්කිසි විදිහකින් විකෘතිතාවක් වුණොත් ඒක අපි රචකයාට කරන විශාල අසාධාරණයක්. ඒ නිසා ඒ ගැන සීයට, දෙසීයක් මගේ අවධානය යොමු වෙනවා. 'කාන්තාරයේ කුසුම' දොරට වැඩීමේදී මහාචාර්ය සරත් විජේසූරිය පැවසුවා මුල් කෘතියටත් වඩා එහි සිංහල පරිවර්තනය බලවත් කියලා. බොහෝ පාඨකයන් මට ලිපි එවනවා, විද්‍යුත් තැපෑලෙන් අමතනවා. ඔවුන් කියන්නේ දවස් එක හමාරකින් මුළු පොතම කියවලා ඉවරයි කියලයි.

* ලංකාවේ පාඨකයා පරිවර්තන සාහිත්‍යයට නැඹුරු වුණේ රුසියානු සාහිත්‍යය හරහා. ඒ වගේම බොහෝ ලේඛකයන් පරිවර්තන කාර්යයට අත ගැහුවේත් රුසියානු සාහිත්‍ය මුල් කරගෙන. ඔබේ අත්දැකීම් කෙබඳුද?

ඔබ හරියට හරි. රුසියානු සම්භාව්‍ය සාහිත්‍ය රස විඳ නැති කෙනෙකුට හොඳ නිර්මාණ කරන්න බෑ. ඒකෙන් තමයි අපි කුළු ගැන්වුණේ. මකාර් මුද්රා, ඇනා කැරනිනා, යුද්ධය හා සාමය, මළ මිනිස්සු වැනි කෘති කියවලා එදා අපි මහත් ආශ්වාදයක් වින්දා. අපි කුඩා කාලේ ඒ කෘති පරිවර්තනය වෙලා තිබුණනේ. ඒ භාෂාව, ඒ කවි අපේ භාෂා සංවේදිතාව ඔසවා තබන්නට ලොකු පිටිවහලක් වුණා.

* අපේ රටේ හරිහමන් සාහිත්‍ය විචාර කලාවක් නොමැති බව ඔබ එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා?

මම හිතන්නේ ලංකාවේ විචාර කලාව ඒ තරම් ශක්තිමත් නෑ. ඒක හැටේ දසකයේ ඉතා හොඳින් තිබුණා. හොඳ නිර්මාණත් බිහි වුණා. නමුත් අද එහෙම තත්ත්වයක් නෑ. සමහර විට මම මේ රටේ ජීවත් නොවන නිසා ද මං දන්නේ නෑ, මට පේනවා එහෙම සංවිධානාත්මක විචාර කලාවක් නැති බව. සමහර අය පොතක් දොරට වැඩියාම ඒ ගැන යමක් ලියනවා. නමුත් ඊට වඩා මේ පිළිබඳ මැදහත් විචාර කලාවක් අවශ්‍යයි.

* 'කාල නදී ගලා බසී' සහ 'කුරුලු හදවත' යන සම්මානනීය නවකතා ඔබ එම සම්මුඛ සාකච්ඡාවේදීම දෝෂ දර්ශනයට ලක් කර තිබුණා මට මතකයි?

මම එහෙම කළේ ඒ පොත් දෙකම කියවා බලලයි. නමුත් ඒ කෘතීන් හොඳ නවකතා හැටියට මම පිළිගන්නේ නෑ. කතාවක් තියෙනවා. එතකොට නවකතාවක් කියන්නේ කතාවක්ද? කතාවෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වය පිළිබඳ කරන විශාල විමර්ෂණයක්නේ. සමාජය, ආර්ථික පදනම, මිනිස් සන්තානයේ සිතුම් පැතුම් මේ සියල්ල නවකතාවක අන්තර්ගත විය යුතුයි. දැන් බර්ට්‍රන්ඩ් රසල් කියනවනේ 'මැරේජ් ඇන්ඩ් මොරාල්ස්' කියන කෘතියේ මේ සමාජය මෙහෙයවන බලවේග දෙකක් තියෙනවා කියලා.

* ඒ මොනවාද?

එකක් තමයි කාමය සහ පවුල. අනෙක තමයි ආර්ථිකය. මේ දෙක තමයි මිනිසා මෙහෙය වන්නේ. පවුලක් කැඩිලා යන්න එක්කෝ ආර්ථිකය එහෙම නැතිනම් කාමය හේතු වෙන්න ඕනෑ. මීට පරිබාහිර කාරණා තියෙන්න පුළුවන්. එතකොට 'කුරුලු හදවත' කියන්නේ මොකක්ද? සුන්දර සුරංගනා කතාවක් වගේ එකක්නේ. එහි සමාජ යථාර්ථයක් කුළු ගැන්වෙනවාද? මන්දා මම නම් දැක්කේ නෑ.

* නමුත් එම කෘතිය 2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවා?

ඒ වසරේ සම්මානයට සුදුසු වෙනත් නවකතාවක් නොතිබුණ නිසා ඒකට දෙන්න ඇති. නමුත් ඔවුන් කළ යුත්තේ මේ වසරේ සම්මානය පිරිනැමීමට සුදුසු නවකතාවක් නැත කියා එකී සම්මානය පිරි නොනැමීමයි. එතකොට තමා ලේඛකයා වැඩිදුර උනන්දු වෙන්නේ සහ තමන්ගේ වැරැදි අඩුපාඩු හදා ගන්නේ. මගේ ප්‍රකාශක ප්‍රේම් දිසානායක මහතා තමයි ඒ පොත් දෙකත් ප්‍රකාශයට පත් කළේ. මම දන්නේ නෑ එතුමා මොනවා හිතයිද කියලා මගේ අදහස ගැන. ඒ කෘති දෙක හොඳ කතන්දර දෙකක්. එතකොට අපට ප්‍රශ්නයක් එනවා නවකතාව යනු කතන්දර කීමද? මහාචාර්ය සුරවීරයන්ට අනුව නම් නවකතාව කියන්නේ කතාවක් කීම නෙවෙයි. කතාව වෙච්ච හැටි කීම.

* ඔබේ ඊළඟ වෑයම තමයි ස්වතන්ත්‍ර නවකතාවක් නිර්මාණය කිරීම. මම හිිතන්නේ දැනටමත් ඔබ ඒ කාර්යය සඳහා මුල පුරලා?

දැන් ඒ කටයුතු කෙරීගෙන යනවා. 'ප්‍රේම සැඳෑවෝ' පරිවර්තනය නිසා ඒ කාර්යය මඳක් නැවතී තියෙනවා. ලබන වසර වෙන කොට එය පාඨකයන් අතට පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සමාජ, ආර්ථික ප්‍රවාහයත් එක්ක දිවෙන සෞන්දර්ය චාරිකාවක් හැටියට දැනට ඒ නවකතාව හඳුන්වන්න මම කැමැතියි.