වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




උතුරෙන් පලා ගිය දීපන්ට කාන් උළෙලේ බුහුමන්

උතුරෙන් පලා ගිය දීපන්ට කාන් උළෙලේ බුහුමන්

68 වන වරටත් පැවැත් වූ කාන් චිත්‍රපට උළෙල ගෙවුණු මැයි 24 වැනිදා අවසන් විය. මෙවර උළෙලේ ඉහළම සම්මානය දිනා ගත්තේ Dheepan නැමැති ප්‍රංශ චිත්‍රපටයයි.

කාන් උළෙලට සහභාගි වන්නට ලැබීම පෙර පින් පළඳීමක් වන්නේ තවමත් තිරගත වී නොමැති චිත්‍රපට සිය ගණනක් (දවසේ පැය 24 තුළ ඉඩ ලැබෙන පරිදි) නරඹන්නට හැකියාව ලැබීමයි. මා එහි ගියේ ආරාධිතයෙකු ලෙසින් නොවේ. ඇතැම් ස්වාධීන චිත්‍රපට නිෂ්පාදන ආයතනයන්හි වැජඹෙන බලධාරින් යන්තමින් හඳුනාගෙන සිටීම නිසාත්, ප්‍රවේශපත් ලබා ගැනීමට ඔවුන් හමුවේ හඬා වැටුණු නිසාත් මේ මහඟු අවස්ථාව මට ලැබුණි. තරගකාරී අංශයේ චිත්‍රපට සියල්ලත්, ඇතැම් තරගකාරී නොවන හා ප්‍රදර්ශන අංශයේ තිරගත වුණු අති සුවිශේෂ සිනමා නිර්මාණ තිහක පමණ ප්‍රමාණයක් දැක ගැනීමේ අවස්ථාව මට හිමි විය.

කාන් චිත්‍රපට උළෙල ලොව ප්‍රධානතම සිනමා උළෙල යැයි කීම අතිශයෝක්තියක් නොවේ. සමකාලීන අනෙක් සිනමා උත්සව වන ජර්මනියේ බර්ලින් හා ඉතාලියේ වැනිස් උළෙල හා සසඳන විට කාන් චිත්‍රපට උළෙල ලෝකයාගේ අවධානය වැඩියෙන් දිනා ගනියි. තවද අද සිනමා ලොවේ ඉහළින් වැජඹෙන ඇතැම් සිනමාකරුවන්ගේ මුල් පදනම් සකස් කර දුන්නේ කාන් උළෙලයි.

සෑම වසරකම මෙන්ම මේ වසරෙත් ලෝකයේ රටවල් 89 කින් සිනමා නිර්මාණ 1800 තමන් වෙත ලැබුණු බව උළෙලේ නිර්මාණ තෝරා ගැනීමේ අංශයේ ප්‍රධානියා වන Thierry Fremaux මුල්ම පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේය. තරගකාරී අංශයට තේරී තිබුණු චිත්‍රපට 19 අතරින් පහක් ප්‍රංශ නිෂ්පාදනයන්ය. (කාන් උළෙල වැඩි වශයෙන් ප්‍රංශ චිත්‍රපටවලට මුල් තැන දෙන බව පැහැදිලි කරුණකි). මෙවර උළෙල පරිපූර්ණ උළෙලකි. ඇතැම් විට තරගකාරී අංශයේ දකින්නට ලැබෙන ගැඹුරු එමෙන්ම අධිතාත්වික එසේත් නැතිනම් නරඹන විට නින්දට මඟ සලසන නිර්මාණ මෙවර දකින්නට තිබුණේ නැත. ගෙවුණු වසරේ Palme d'or දිනා ගත් Nuri Bilge Ceylan ගේ Winter Sleep මනා නිර්මාණයකි. එහෙත් පැය තුනකට අධික කාලයක් එය නැරැඹීම දඬුවමක් විය.

දින දහයක් ගෙවී ගොස් තරගකාරී අංශයේ චිත්‍රපට සියල්ල නැරැඹීමෙන් පසුව ප්‍රේක්ෂකයන් අතර මෙන්ම විචාරකයන් අතර ද සම්මාන දිනා ගන්නා නිර්මාණ ගැන කතා බහක්, දෙබසක් ඇති වන්නට පටන් ගනියි. ඇතැම් විටෙක සිනමා ලොවේ කැපී පෙනෙන උදවිය තමන්ගේ සිත් දිනා ගත් නිර්මාණ හා සම්මාන හිමි වන නිර්මාණ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඉතාලි ජාතික Paolo Sorrention ගේ Youth හෝ හංගේරියානු ජාතික Laszio Nemes ගේ Son of Saul චිත්‍රපට මෙවර සම්මානය සඳහා උරුමකම් කියනු ඇතැයි කාගේත් අදහස විය. එහෙත් කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් Palme d'or දිනා ගත්තේ ප්‍රංශ ජාතික Jacques Audiard ගේ Dheepan චිත්‍රපටයයි. සත්‍ය වශයෙන්ම තරගකාරී අංශයේ තිරගත වුණු නිර්මාණ අතරේ Dheepan සුවිශේෂ නිර්මාණයක් වූයේ නැත. එහි කියවෙන්නේ කලෙක එල්. ටී. ටී. ඊ. සොල්දාදුවෙකු ලෙසින් සටන් වැදුණු දෙමළ ජාතිකයෙකුගේ ප්‍රංශ ගමන ගැනයි. දීපන් නැමැති මේ සොල්දාදුවාට උතුරේ අනාථ කඳවුරකදී යාලිනි නැමැති තරුණිය මුණ ගැසෙයි. ඔහුගේ බලාපොරොත්තුව නම් ඇය තමන්ගේ බිරිඳ ලෙසින් හඳුන්වා දෙමින් ප්‍රංශයට පැමිණීමය. අනාථ කඳවුරේම සිටින කුඩා දැරියක් වන ඉලයාල් ද ඔවුන්ට එක් වෙයි.

ප්‍රංශයට පැමිණෙන මේ ව්‍යාජ පවුල පැරීසියට නුදුරින් තට්ටු නිවාස සංකීර්ණයක පැළපදියම් වෙයි. එය පහසු තැනක් නොවේ. තට්ටු නිවාස සංකීර්ණය පාලනය වන්නේ හා එහි රජ කරන්නේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් අතිනි. ඔවුන් දාමරිකයන්ය. දීපන් යාලිනි සහ ඉලයාල්ගේ ජීවිත සංකීර්ණ ජාලයකට මැදි වෙයි. ඔවුන්ගේ අතීතය රදුරු එකක් වූවා මෙන්ම වඩා සුව පහසු තැනක් යැයි සිතූ ප්‍රංශ ජීවිතය ද කටුක තැනක් බවට පත් වෙයි. පරිපාලන සේවයේදී ඔවුන් භාෂාමය ගැටලුවලට මුහුණ දෙති. වටාපිටාවේ පවතින දාමරික ක්‍රියාකාරකම් මතින් අතීතයේ තම ජීවිතය වෙලා ගෙන තිබුණු දරුණු සිතුවිලි ගැන දීපන් සිහි කරයි. සත්‍ය වශයෙන්ම චිත්‍රපටයේ කියවෙන්නේ ප්‍රංශයට පැමිණෙන සරණාගතයෙකු වෙනස් සමාජයකට හැඩ ගැහෙන්නට දරනා උත්සාහයයි.

අධ්‍යක්ෂක Jacques Audiard මීට පෙර දෙවරක් කාන් උළෙලේදී සම්මාන දිනා ගත්තෙකි. වර්ෂ 1996 දී Un here tr's Discret වෙනුවෙන් හොඳම තිර රචනයට සම්මානය දිනා ගත් ඔහු 2009 දී Un Prophet වෙනුවෙන් ජූරි සම්මානය දිනා ගත්තේය. ඔහු ප්‍රංශයේ කැපී පෙනෙන අධ්‍යක්ෂවරයෙකි. විශේෂයෙන් අන්තර් ජාතික සිනමා ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූවෙකි. එහෙත් Dheepan ඔහුගේ වඩා වැදගත් නිර්මාණය නොවන බව විචාරකයෝ පවසති. උළෙලේ Greand Prix හිමි කර ගත් Son of Saul නම් කාගේත් නියම තේරීම විය. අධ්‍යක්ෂවරයාගේ මුල්ම චිත්‍රපටය වූ එහි Saul නැමැත්තා 1944 වසරේ Auschwitz කඳවුරේ සිරගතව සිටින යුදෙව් ජාතිකයෙකි. ඔහුගේ කාර්යය වධකාගාරයේ මිය යන යුදෙව් ජාතිකයන්ව පුලුස්සා දැමීමයි. එක් දිනක තමන්ගේ පුතු යැයි යන්තමින් හඳුනා ගත හැකි දරුවකුගේ සිරුර ඔහුට හමු වෙයි. සෝල්ගේ එකම වුවමනාව වන්නේ තම දරුවාට ගෞරවාන්විත ආදාහනයක් ලබා දීමයි.

නෝර්වේජියානු ජාතික Joachim Trier ගේ Louder Than Words නම් නිර්මාණයද උළෙල් කතාබහට ලක් වුණු සිනමාපටයක් විය. යුධ ඡායාරුප ශිල්පිනියක් වූ මවගේ හදිසි මරණයෙන් පසුව එදිනෙදා ජීවිතයට මුහුණ දෙන පියෙක් සහ තරුණ පිරිමි දරුවන් දෙදෙනෙකෙ වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ වඩා කැපී පෙනුණේ ප්‍රධාන චරිතය රඟනා Gabreyel Byrn ගේ රඟපැමයි. ග්‍රීක ජාතික Yogos Lanthimes ගේ The Losters චිත්‍රපටය අපූරු වාතාවරණයක ගොඩ නැඟුණු අරුම කතාවක් තේමා කර ගත්තකි. අනාගතයේදී දිනකදී දින 45 ක් ඇතුළත සහකාරියක් හෝ සහකාරයෙක් සොයා ගන්නට නොහැකි වන අය සත්වයන් බවට හරවා වනයට පිටත් කිරීමේ කතාවකි එහි ඇත්තේ. කෙසේ වුව ද උළෙලේ සිදුවුණු අසාධාරණයක් වෙත් නම් එය ඉතාලි ජාතික Paolo Sorrentino මුහුණ දුන්නකි. වසර දෙකකට පෙර The Great Beauty නිමවා ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටය සඳහා සම්මානය හිමි කර ගත් සොරෙන්ටිනෝගේ Youth මෙවර Palme d'or දිනා ගනු ඇතැයි කාගේත් මතය විය. එහි කතාව ගෙතී ඇත්තේ විශ්‍රාමික සංගීතඥයෙකු වටාය. මහලු වියේ පසුවන ඔහු තම මිතුරු සමඟ ඇල්ප්ස් කඳු බිමේ නිවාඩුවක් සඳහා පැමිණෙයි. මේ චිත්‍රපටය නම් ඇසට සුව දසුනකි. සොරෙන්ටිනෝ තමන්ගේ සෑම ජවනිකාවක්ම මවා ඇත්තේ මනා සිනමා සුන්දරත්වයක් මවමිනි.

කාන් චිත්‍රපට උළෙල නම් ප්‍රකට හා අප්‍රකට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ එළි දක්වන තැනක් පමණක් නොවේ. ප්‍රකට හා අප්‍රකට නළු නිළියන්ගේ දස්කම් රැගෙන එන්නකි. ප්‍රකට නළු මයිකල් කේන් රඟපෑම ගැන ගුරුවරයෙක් බඳුය. තවද Dheepan චිත්‍රපටයේ ප්‍රධාන ද්‍රවිඩ චරිත මවන තුන් කට්ටුව ගැන සඳහන් කිරීම වටී. ඔවුන් කිසි දිනක සිනමා පටයකට දායක නොවුණු අයයි. දීපන්ගේ චරිතය මවන අන්තෝනිදාසන් ජේසුදාසන්, යාලිනිට පණ පොවන කලියේශ්වරි ශ්‍රීනිවාසන් ද තම කාර්යයන් ඉටු කරන්නේ අත්දැකීම් පිරුණු නළු නිළියන් මෙනි.

සිනමා ලොවේ මුල් තැන සිටින මේ සිනමා උළෙල අවසන් වුණු දිනය කාන් නගරය උත්සවශ්‍රීයෙන් පිරී ගිය තැනක් විය. දින දහයක් පුරා බැලූ බැලූ අත දකින්නට ලැබුණු සිනමා ප්‍රචාරක දැන්වීම් මැද නගරය මල් වෙඩි දර්ශනයන්ගෙන් බැබලුණි.

හෙට දිනයේ ඔබේ කාර්යය කුමක්ද? එක් පුවත්පත් කලාවේදියෙක් උළෙලේ නිර්මාණ තෝරන්නා වන Thierry Fremaux ගෙන් ඇසුවේය.

“මම සතියක් නිවාඩු ගන්නවා. ඊට පසු ලබන වසරේ උත්සවය වෙනුවෙන් ලැබෙන නිර්මාණ නරඹන්නට පටන් ගන්නවා.” ඔහු කීවේය.