වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කිරි අම්මා මගේ වයසේ පුංචි ළමයෙක් වගේ

කිරි අම්මා මගේ වයසේ පුංචි ළමයෙක් වගේ

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

අද සරසවිය පුදුම හතට පැමිණුනේ නිර්මාණශීලිත්වයෙන් පිරි දක්ෂ යොවුන් කලාකරුවෙක්. කලා හැකියාව සත්‍ය වශයෙන් ඔහු ලද වටිනාතම දායාදයක් වැනියි. කලා ලෝකයේ විවිධ ඉසව් කරා ඇදෙන ඔහු වරෙක සම්මානනීය කවියෙක්. තවත් වරෙක සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම සම්මානනීය යොවුන් නවකතා රචකයෙක්. තිර පිටපත් රචනයටත් ඔහු දක්වන්නේ සුවිශේෂ හැකියාවක්. මේ සියලු කටයුතු අතරේ සරසවියත් ඔහු සොයා ගියා. ඔහු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල. ඔහු පුදුම හතට පැවසූයේ තම ජීවිතයේදී වඩාත් සුවිශේෂ ලෙසින් දුටු චරිත හතක් ගැනයි.

පොඩි නෝනා - කිරි අම්මා

ඇය හරිම අපූරු චරිතයක්. ඇත්තටම මට ඇයව දැනුණේ මගේ වයසේ පුංචි ගැහැනු ළමයෙක් වගේ. මම පුංචි කාලේ ඇය මාව ගම හැම තැනම අරගෙන ගියා. එක්දහස් නවසිය හැට - හැත්තෑව දශකවල ගොඩකවෙල නගරයේ තාවකාලික සිනමා ශාලාවල පෙන්නූ චිත්‍රපට හැම එකක්ම වගේ ඇය නරඹලා තිබුණා. ඇය වඩාත්ම ආසා කළේ රුක්මණී දේවියට. රුක්මණී දේවිය ගීත ගයන්නේ අඬ අඬා බව ඇය මට වරෙක පැවසුවා. ඒ වගේම එඩී ජයමාන්න කෝලම්කාරයෙක් නිසා රුක්මණියට ගැලපෙන්නේ නැති බවත් ඇය නිතරම කියූ දෙයක්.

කිරි අම්මා කවදාවත් ඉස්කෝලේ ගිහින් තිබුණේ නැහැ. ඒ වුණත් හැම වෙලාවෙම තාලයට තට්ටු කරමින් කවි කිව්වා. සැතපුම් දොළහක් දුර ගෙවාගෙන පයින්ම මාව එක්කර ගෙන ගියා ටීවී එකක් තිබුණු රක්වානේ අපේ නැන්දාගේ ගෙදරට. මාසයකට වතාවක් එහෙම එක්කරගෙන ගිහින් 'මේං මේ කොල්ලට ඔය රූප පෙට්ටිය දාලා දීපල්ලා' කියලා ඇය කියනවා. මගේ ඒ ආසාව හරියටම හඳුනා ගත්තේ කිරි අම්මා තමයි. ඉස්සර ගමේ ඉඳලා මං කොළඹ එන හැම වාරෙකම ඇය සඟවාගෙන තබා ගෙන සිටි රුපියල් දහයේ, විස්සේ කොළ මට දීලා සාක්කුවට තියලා ගහන්න හැට්ට කටුවකුත් දුන්නා. සිනමාව විතරක් නෙවෙයි ජීවිතයත් මට උගන්නලා එක්තරා හැන්දෑවක නිහඬව ඇය දෑස් පියා ගත්තා.

කෙතරම් සැහැල්ලු ජීවිතයක් ද කියනවා නම් මිය ගිය මුහුණේ තිබුණේ සැහැල්ලු සිහින් සිනාවක්. රක්වානට පයින් යද්දී ඉර උදාව, ලස්සන දිය ඇලි, කඳු මට පෙන්නන්න තියෙන උවමනාවට ඇය තෝරා ගත්තේ දුරම, දුෂ්කරම පාරවල්. ඒ දුරම පාරවල් මට කලා ලෝකයට එන්න ළඟම පාරවල් වුණා. ඈත කැලෑ ගමක ඉපදිලා අව්වෙන් වැස්සෙන්, ගහෙන් වැලෙන් උගත් උරුමය මට දීලා ඇය ඒ කැලෑ ගමේම පොළවට පස් වෙලා ගියේ ස්තූතියක්වත් බලාපොරොත්තු නොවී.

මහගම සේකර

අපේ රටේ ජීවන රිද්මය හරියටම හඳුනාගෙන කලා නිර්මාණ කළ විශිෂ්ටයෙක් ලෙසින් සේකරයන් හඳුන්වන්න පුළුවන්. ඔහුව කිසිදා මට ජීවමානව දකින්නට වාසනාව නොලැබුණත් ඔහු සිය 'සක්වා ළිහිණි' කෘතියේ කීවේ,

'මා ලියූ කවි මට වගේම
ඔබ හැමටත් පොදු වනු ඇත
සබඳ එවිට මගේ කවියේ
මා නොසොයා ඔබ දකීවි . . .'
යනුවෙන්.

ඔහු සැබැවින්ම පුදුම සහගත පුද්ගලයෙක්. ඔහුගෙන් පසු පරපුර වූ රත්න ශ්‍රී විජේසිංහලාගේ පරපුරට ද එතැනින් පසු අපේ පරපුරට ද එක සේ බලපෑ නිර්මාණකරුවෙක්. ඔහුගේ කවි තවම අප හරි හැටි කියවා නැති බව මාගේ අදහසයි. කාව්‍යකරණයේදී, ගීත රචනයේදී, චිත්‍රකරණයේදී පමණක් නොව සිනමාකරණයේදී ද සේකරයන් දක්වා ඇත්තේ සුවිශේෂී බවක්. ඔහුගේ නිර්මාණවල අව්‍යාජ බව සිහින්, සත්‍ය වේදනාවක් සේ සැම තැනම වර්ණ ගැන් වී තිබෙන අයුරු විස්මයජනකයි. කවිය, ප්‍රබුද්ධ වගේම සාමාන්‍ය සරළ රස වින්දන ශක්තියෙන් යුතුව ජනතාව අතරට ගෙන යන්න සේකරයන් හට හැකි වුණා.

ඒ වගේම දේශපාලන අතකොළු බවට පත් නොවී, නම්බුනාම, තනතුරු ගැන වගක්වත් නොකියන තමාගේ උපන් කලාව උල්පත් වතුර පාරක් වගේ නිදහසේ ගලාගෙන යන්න ඉඩ හැරියා. ඇත්තෙන්ම සේකර ජාතික උරුමයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ ජීවිතය කෙටි කලකට සීමා වුණත් ඔහු කළ නිර්මාණ ඔස්සේ ශත වර්ෂ ගණනක් ඔහු ජීවත් වේවි.

ලක්ෂ්මන් විජේසේකර

අපූරු හඬක් හිමි, අපූරු තාරුණ්‍යයක් හිමි ඒ වගේම හරිම අපූරු මිනිස් හදක් හිමි පුද්ගලයෙක්. ඒ වගේ මිනිස්සු ලෝකෙ නැති තරම්. අනුන්ගේ ගීත ගය ගයා සමහරු පොරකද්දී උපේක්ෂාවෙන් ඔහු ඒ දෙස බලාගෙන සිටින අයුරු මං දැකලා තියෙනවා. අනුන්ගේ අවස්ථාවන් තමන්ගේ කරගන්නා මිනිසුන් ජීවත්වන ලෝකයක තමන්ට ලැබෙන අවස්ථාවට අනෙකුත් සහෝදර ශිල්පීන්ගේ නම් යෝජනා කරන පුද්ගලයෙක්. ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවෙකුට එහෙම නිහතමානී වෙන්න පුළුවන් කියලා මට හිතුණෙම නැහැ.

ලක්ෂ්මන් විජේසේකරයන් සමඟ ටෙලි නාට්‍ය දෙක තුනක කටයුතු කරන්න මටත් ඉඩකඩ ලැබුණා. ඒ හැම දවසක්ම හරිම සුවිශේෂයි. රූගත කිරීම් ඉවර වෙලා හැම දර්ශන තලයකින්ම සමු ගනිද්දී ඔහු පුරුද්දක් වගේ කරන දෙයක් තිබුණා. ඒ තමයි අනෙක් අය අවට හැම තැනම විසි කරලා දැමූ කඩදාසි, ඉටිකවර, ටොපි, චොකලට් කොළ අහුලන එක. ඔහු ඒ සේරම අහුලා විසි කරනවා. කවදාවත් කාටවත් අවවාද කළේ නැහැ. ආදර්ශය උතුම් බව පෙන්නුවා. චාම්, සරළ, නිහතමානි බවෙන් පිරිපුන් ඔහු තවත් දිගු කලක් නිර්මාණකරණයේ නියැලෙමින් ජනතාව සමඟ සිටිය යුතු බව මගේ අදහසයි.

රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන් හැඳින් වුණේ නව කවියේ චන්ද්‍රෝදය හැටියට. සැබැවින්ම අපේ පරම්පරාවට යෂ්ටිය දුන්නේ ඔහු විසින්. ජීවිතය ඔස්සේ කවිකම් මුවහත් කරගෙන පෑ පෙළහර පුදුම හිතෙන තරම්. ඔහුගේ ගීත රචනා ගීත ලෝකය මවිත කළා කිව්වොත් නිවැරැදියි. 'චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ', 'සුදු නෙළුම කෝ', 'පාත ඉඳන් අපි ආවේ', 'නින්ද නැති රැයේ', 'ලෙංචිනා මගෙ නංගියේ' වගේ ගීත ජනප්‍රිය වගේම සාහිත්‍ය අතිනුත් ඉහළයි.

කවි පොත් අතර 'සල් ගහ යට', 'බිය නොවන් අයියණ්ඩි', 'තරු ලකුණ', 'සුබ උදෑසන' වගේ කවි පොත් අපට බොහෝ දුර ජීවිතේ ගෙන යන්න පාර පෙන්නුවා. තමන් ජීවිතේ ලද අත්දැකීම් ඉතාම සූක්ෂම ලෙසත් විස්මිතවත් නිර්මාණ විදියට ඉපැද්දූ ඔහුගේ ගබඩාවේ ඇති සාහිත්‍ය තතු ප්‍රමාණය ද ඒ වගේම පුදුමයක්. ඒ නිර්මාණ උල්පත එතරම් සරුසාර වන්නේ පාලි, සංස්කෘත පමණක් නෙවෙයි බුදු දහම සහ අනෙකුත් සංස්කෘතීන් පිළිබඳ දැනුමත්, සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ඔහුගේ දැනුමත් නිසා විය යුතුයි.

අලුත් කවි අංකුරයන්ට ඔහු පෑ සෙනෙහසත් අමරණීයයි. ඔහුගෙන් පෙර වදනක් ලියා නොගත් අලුත් පරපුරේ කවියෙක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකින්. ඔහුගේ නිර්මාණ සම්පත්තිය වගේම දැනුම් සම්පත්තියත් අනාගතයේ කාලාන්තරයක් පුරා සුරක්ෂිත විය යුතු යැයි මට සිතෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මට සැබැවින් දකින්න ඉඩ ලැබිලා නැහැ. මම ඔහු දුටු පියකරුම ආකාරය තමයි ලාල් හෑගොඩගේ කැමරා ඇසින් දුටු මනහර සේයාරුව. නාට්‍යකරණයෙනුත්, නවකතාකරණයෙනුත්, කාව්‍යකරණයේත් ඔහු පෑ දස්කම් ගැන අදත් අපි කතා කරනවා. සැබැවින්ම මම නම් එතුමා හඳුන්වන්නේ ඉතා උසස් කවියෙක් විදියට. ඒ වගේම අපි අහලා තියෙන විදියට ඔහු ඉතාමත්ම සරල, චාම් පුද්ගලයෙක්. ඒ වගේම ප්‍රේමය පිළිබඳ ඉතාමත්ම සුන්දර නිර්වචනයක් දුන් පුද්ගලයෙක් ලෙසිනුත් හඳුන්වන්න පුළුවන්.

එතුමාගේ 'විලාසිනියකගේ ප්‍රේමය' නම් වූ චම්පු කාව්‍යයේ ප්‍රේමය යනු තමා රිසි වූ කෙනෙකුට ලොබ සිතින් තොරව පිදිය යුතු දෙයක් බවත් පෙරළා බිඳක්වත් බලාපොරොත්තු නොවිය යුත්තක් බවත් සඳහන් වෙනවා. ප්‍රේමය පිළිබඳ එලෙස සිතිය හැක්කේ මුණිවරයෙකුට පමණයි. එහෙත් සත්‍ය යනු එයම නොවේද කියලා හිිතෙනවා. ඒ ලෙසින් බලන විට අපේ සාහිත්‍ය කලා සම්ප්‍රදායන් පිළිබඳ කතා කරද්දී අපට ඉතාමත්ම ආඩම්බරයකින් කතා කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වැනි උදාර නිර්මාණශීලී පුද්ගලයන් නිසයි.

සුදත් රෝහණ

ටෙලි නාට්‍ය නිර්මාණයේදී හරිම අපූරු සමත්කම් පෑ නිර්මාණකරුවෙක් ලෙසින් මා සුදත් රෝහණ දකිනවා. බොහෝ විට ශ්‍රී ලාංකේය ගැමි ජන ජීවිතයේ විවිධ වූ වෘතාන්ත තාත්ත්වික අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ ගත් පුද්ගලයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අති දුෂ්කර දර්ශන ඉසව්වල ගැවසෙමින් නිර්මාණයට සත්‍ය හැඩතල ලබා දෙන්න ගත් උත්සාහයන් අගය කළ යුතුමයි. ඔහුගේ 'බැද්දෙ ගෙදර', 'වනවදුලේ වසන්තය', 'යුග විලක්කුව' වගේ රූපවාහිනී නිර්මාණ විකාශය වන කාලයේ මා පාසැල් සිසුවෙක්.

නමුත් පසුකාලීනව 'ස්වයංජාත' වගේ නිර්මාණ සඳහා ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්න ඔහු මා තෝරා ගන්නවා. ඇත්තටම ඒක හරිම සංකීර්ණ අත්දැකීමක්. සාමුහික කටයුත්තකදී ඔහු දරන සංවිධානාත්මක ක්‍රමවේදයන් ඉතා විශිෂ්ටයි. විටෙක පුදුමයත් ගෙන දෙනවා. ඒ වගේම තමයි නියමිත වෙලාවට කටයුතු කිරීම. එක තත්පරයක් හෝ එහා මෙහා වීම ඔහු නොසතුටට පත් වන කාරණයක්.

ඒ වගේම කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ නවතම ටෙලි නිර්මාණය වූ 'ගිරිකුළ' නාට්‍යයේ තේමා ගීතය රචනා කිරීමට මා හට බාර දුන්නා. එය මගේ ප්‍රථම ටෙලි නාට්‍ය තේමා ගීතයයි. ගැයුවේ විශාරද නන්දා මාලිනියයි. ඒ පුංචි වචන ටික ලිවීමට මා පෙළඹුණු අයුරු සදාකාලික මතකයක්. 'ගිරිකුළ' ටෙලි නාට්‍යයේදී අපේ රටේ විවිධ දර්ශන තලවලට ගොස් ඒ සිදුවීම්, චරිත පිළිබඳ සුපරික්ෂාකාරීව බලන්නට ඔහු අවකාශය සලසා දුන්නා. බොහෝ ටෙලි නාට්‍ය එවේලෙට පිටපත රචනා කර රූපගත කරන යුගයක පසුබිම් ගීතය ලිවීමට පමණක් වෙනමම මා ඒ ඒ දර්ශන තල වෙත ගෙන්වා ගෙන එම පසුබිම්වල ගැවසීමට මට ඉඩ ප්‍රස්ථා සකසා දුන්නා. මා එය රචනා කළේ ධම්ම පදය සහ පටාචාරා කතා වස්තුව ඇසුරු කරගෙනයි. එම වස්තු බීජ මා හට සිහිපත් වූයේ ඒ දර්ශන තලවල අදාළ චරිත සමග ජීවත් වන විටදීයි. තමා අත තැබූ නිර්මාණ කාර්යය වෙනුවෙන් අන් සෑම දෙයක්ම දෙවැනි කොට සලකන ඒ විශේෂ දුර්ලභ ගතිය සුදත් රෝහණ සතුයි.

කෞෂල්‍යා ප්‍රනාන්දු

ඉතාමත් ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියන් රැසක් අපට ඉන්නවා. එය අප්‍රමාණ සතුටට කාරණයක්. ඒ අතරිනුත් කෞෂල්‍යා ප්‍රනාන්දු නම් අසිරිමතිය විශිෂ්ටයි. ඇයට චරිතයක් රඟපාන්න ඇස් දෙක විතරක් වුණත් ඇති කියලයි මම හිතන්නේ. ඇය රංගනයෙන් දායක වුණු බොහෝ නිර්මාණ වගේම මෑතකදී අප දුටු 'බොරදිය පොකුණ' ඔස්සේත් ඇය උසස් සිනමා ප්‍රේක්ෂකයාව ජීවත් කළා. ඇය යම් හෙයකින් දෙවැනි වෙනවා නම් ඒ අයිරාංගනී සේරසිංහට සහ ස්වර්ණා මල්ලවආරච්චිට පමණයි. ඒක වුණත් සැකසහිත යැයි කීවොත් උක්ත ප්‍රවීණ ශිල්පිනියන් තරහ වෙන එකක් නැහැ. ශ්‍රී ලංකාවේ අපේ සාමාන්‍ය කාන්තාවගේ ආත්මය හරි අපූරුවට ඇය නියෝජනය කරනවා. ඒක එක්තරා විස්මයක්.

බහුල ලෙස ටෙලි නාට්‍යවල ඇය දකින්න නොලැබීමත් ඇය අපූරු චරිතයක් බවට පත්වීමට තවත් හේතුවක්. නිර්මාණ හිඟ පාඩුකම් බහුල විදියට තියෙන අපේ රට වගේ රටක ඇය දැඩි පිපාසාවෙන් පෙළෙනවත් ඇති. ඒත් පිපාසයෙන්ම මිය ගියත්, රතු, කහ සායම් දාපු කෘත්‍රිම සිසිල් බීම නම් ඇය කවදාවත් බොන එකක් නැහැ. එහෙම එපා කියලත් මම ඉල්ලා සිටිනවා. ඇත්තටම ඇය අපේ දුක්විඳින සැබෑ කාන්තාවගේ ජීවන සුසුම රංගනය ඔස්සේ ලෝකයට ගෙන යන්නට සුදුසුම සංදේශකාරියයි.