වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මඟ දිගට රසකතා

රූපවාහිනී සභාපතිගේ අපූරු ප්‍රචාරය

ජාතික රූපවාහිනියේ අලුතින් ආරම්භ වූ වැඩසටහන් ගැන එක්තරා අංකයකින් හිතවතුනට කෙටි පණිිවුඩ එන්න පටන් ගත්තා. එම වැඩසටහන් ආරම්භ වන දින අහවල් වෙලාවට ජාතික නාළිකාවෙන් විකාශය වන බවයි එම පණිවුඩයන්හි අන්තර්ගතව තිබුණේ.

මෙම කෙටි පණිවුඩ පැමිණියේ කාගෙන්ද යන්න දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි.

ඒවා යවන්නේ වෙන කවුරුවත් නොව ජාතික රූපවාහිනියෙම සභාපති ධූරය හොබවන ආචාර්ය සෝමරත්න දිසානායක විසිනුයි. සාමාන්‍යයෙන් ආයතනයක සභාපති කියලා කියන්නෙ එහි සිටින ඉහළම තැනැත්තානේ.

එහෙයින් ආයතනය ගැන වගකීමක් තියෙන්නෙත් ඔහුගේ අතේ. අන් ආයතන කෙසේ වෙතත් ජාතික රූපවාහිනියේ සභාපතිතුමන් සතුව පවතින්නේ ජාතික වගකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ.

ඉතින් ඒ කාර්යබහුලකම මධ්‍යයේ සෝමෙ මෙහෙම කෙටි පණිවුඩත් යවනවා තම ආයතනයේම ප්‍රගතිය වෙනුවෙන්.

සිය පෞද්ගලික දුරකතනයෙන් කෙටි පණිවුඩ යැවූ එකම එක සභාපතිවරයා වන්නේ අපේ සෝමරත්න දිසානායක බවට නොඅනුමානවම ඉතිහාසගත වේවි.

හිරේ සැපයි අයියේ

හේමසිරි ලියනගේයි, රිචඩ් මානමුදලියි දවසක් චැට් එකක් දාගෙන ඉන්නවලු. මේ දෙන්නට ද ඉතින් කතා කරන්න දේවල් නැත්තේ. දෙන්නම ඉතින් සුපිරි නළුවොනෙ. මෙන්න මේකයි හේමසිරි සහ රිචඩ්ගේ කතාවේ රසවත්ම හරිය.

හේමසිරි - මචං උඹ කලාකාරයෙක් නොවුණා නම් මොන වගේ තැනක ඉඳියිද?

රිචඩ් ඉතින් දහ අතේ කල්පනා කරලා මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා.

මං ඒ කලේ හරිම දඩබ්බරයා. කළොත් කරන්නේ අණ්ඩපාල වැඩ. ඒ හින්දා මං කලාවට නාවා නම් ෂුවර් එකට හිරේ විලංගුවේ වැටිලා මෙලහකටත්.

හේමසිරි - ඇත්තද?

රිචඩ් - ඔවුනේ.

හැබැයි එහෙම පිළිතුරු බැන්දට රිචඩ් ආයේ කල්පනාවකට වැටුණා.

රිචඩ් - හේමසිරි අයියේ.

හේමසිරි - ඇයි?

රිචඩ් - එක අතකින් හිරේ විලංගුවේ වැටුණා නම් හොඳයි.

හේමසිරි - ඒ මොකෝ?

රිචඩ් - ඇයි ඉතින් දැන් කාලේ කලා ලෝකේ වෙන දේවල් ඇහුණමයි, අපට වැඩ කරලා ලැබෙන මුදලයි ගැන සලකලා බැලුවම හිරේ විලංගුවේ වැටෙන එක සැපයි. එහෙම හිතලයි මට අර විදිහට කියවුණේ හේමසිරි අයියේ.

‘එළකිරි කඩේ’ කෙට්ටු බුවා

හැමදාම නළු නිළියොයි ගායක ගායිකාවෝ ගැන විතරක් ගොසිප් ලියන්නේ ඇයි? එයාලා ජනප්‍රිය හින්දද, එහෙම වැඩි තැනක් ඒ අයට දෙන්නේ? ඇයි අපි කළුද? කියලා නව පරපුරේ අධ්‍යක්ෂවරු මගෙන් අහනවා. ඒ හින්දම මේ පාර හිතුණා අධ්‍යක්ෂවරයකුට වෙච්ච අපූරු කතාවකුත් මේ පිටුවට එකතු කරන්න. මෙයාගේ නම ධනුෂ්ක එන්. පෙරේරා. ඔහුගේ ස්වරූපය කියනවා නම් මේ රූපෙන් පෙනෙන පරිදි ඔළුවේ කෙස් රොදක් නැහැ. ටෙලි නාට්‍යම කරලා තමයි ඔහුගේ මේ කෙස් ගිහිල්ලා තියෙන්නේ. මෙයා ටිකක් හීන්දෑරියි. බැලූ බැල්මට අධ්‍යක්ෂවරයකු කියලා කියන්නත් බැහැ.

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන 'එලකිරි කඩේ' ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරන්නේ මේ ධනුෂ්ක. ඒ වගේම ෆේස්බුක් නාට්‍යයෙහි අන්තිම කොටස් ටිකත් ඔහු අධ්‍යක්ෂණය කළා. අධ්‍යක්ෂණයට පිවිසෙන්නට ප්‍රථම ධනුෂ්ක සහාය අධ්‍යක්ෂවරයෙක්. ස්වර්ණවාහිනියේ නාට්‍ය ගණනාවක්ම ඔහු තමයි සහාය අධ්‍යක්ෂණය කළේ. ඔන්න ඉතින් ධනුෂ්ක එලකිරි කඩේ අධ්‍යක්ෂණය කරමින් සිටිනවලු.

දවල් කෑමට ෂූටිං නවත්වලා. ඔය අතරෙ නවක නළුවෙක් ලොකේෂන් එකට ඇවිත්. ඔහු දන්නේ නැහැ ධනුෂ්ක මේකෙ අධ්‍යක්ෂවරයා කියලා. මොකද වැඩි දෙනෙක් දන්නේ ඔහු සහාය අධ්‍යක්ෂවරයකු හැටියටනේ. අර නළුවා කෙළින්ම ධනුෂ්ක ගාවට ඇවිත් ඇහැව්වලු 'කවුද බං මේකෙ ඩිරෙක්ටර්' කියලා. එවලේ ධනුෂ්කට පොළව පලාගෙන යන්න හිතුණලු. අන්තිමේ ධනුෂ්ක අධ්‍යක්ෂණය කරනවා අර නළුවා දැකලා.

අන්තිමේ ධනුෂ්ක ගාවට ඇවිල්ලා සොරි කියලා කිව්වලු. හැබැයි ඉතින් ධනුෂ්කයෝ ඔය කෙට්ටුවට තියෙන ඇඟ හදා ගත්තොත් නම් ඔයාව ඩිරෙක්ටර් කෙනෙක් වගේ පෙනේවි. ඒකට ඔයා මේනක රාජපක්ෂ ගෙන් උපදෙස් ටිකක් ගන්න හොඳේ.

හිට් වූ හැට් එක

ලක්ෂ්මන් හිල්මිට බොහේ දෙනෙක් කියන්නේ 4 in 1 කියලා. ඒ ඔහු ගායනයෙන්, වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ පද රචනයෙන් එකසේ දස්කම් පෙන්වන හින්දා. හිල්මිට සංගීත ප්‍රසංගවලිනුත් අඩුවක් නැහැ. ඔහු නිතරම කාර්යබහුල වෙලා ඉන්නෙත් ප්‍රසංග වේදිකාව නිසා. හිල්මි මේ දවස්වල ගමන් බිමන් යන්නේ හැට් එකක් දාගෙන. ප්‍රසංග වේදිකාවට විතරක් නෙවෙයි කොහේ හෝ ප්‍රිය සම්භාෂණයකට වගේම යාළුවෙකුගේ ගෙදරකට ගියත් මේ හැට් එක ඔළුවෙලු. මේක ඉතින් හිල්මිව හැට් එක් පිටින් දකින අයට ලොකු ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් කොණ්ඩෙ ගිය අයනෙ තොප්පි දාගෙන මෙහෙම ඉන්නෙ. හිල්මිට එවැනි ගැටලුවකුත් නැහැනෙ. කොහොම හරි හිල්මිගේ පස්සෙන් වැටිලා අපි හොයා ගත්තා මේ හැට් කතාවේ සුලමුල.

හිල්මිගේ කොණ්ඩෙ හදන්නේ එයාගේ නෝනා වන ඈන් ෂෙහානි ඩැනියල්ස්. මෙන්න මෙයාට සැලොන් එකකුත් තියෙනවා. ඉතින් ඈන් මේ දවස්වල ගමේ ගිහිල්ලලු. හිල්මිගෙ කොණ්ඩෙටත් සෙනසුරු ලබල මේ හේතුවෙන්.

නිසියාකාරව කොණ්ඩෙ හදාගන්න බැරි හින්දා හිල්මි කරලා තියෙන්නේ නෝනා යළි එනකම් හැට් එකක් පාවිච්චි කරපු එක. සමහර අය නම් බලාගෙන ඉන්නේ තමන්ගේ නෝනා කොහේ හරි යනකම් ඉඳලා වෙන නෝනා කෙනෙකුට කියලා කොණ්ඩෙ හදා ගන්නනෙ. නමුත් හිල්මි නම් එහෙම නැහැ. ඔන්න ඈන්, ඔයාට ඉන්නේ නියම මහත්තයෙක් හොඳේ. ඔයා එනකම් හිල්මි කොණ්ඩවත් හදාගෙන නැහැ.

දෙවැනි මනමාලයාගේ කොණ්ඩ අවුල

හිල්මිගෙ කොණ්ඩෙ ගැන එහෙම කතාවක් ලියද්දි තවත් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ කොණ්ඩෙ ගැන මහා වර්ණනාවක් කළා. එයා කියන්නේ එයාට ලැබුණු වටිනාම දායාදය තමන්ගේ මේ කොණ්ඩය කියලා. එහෙම කියනකොට ඔබ හිතන්න ඇති මෙයාගේ කොණ්ඩෙ හරි දිගයි කියලා. අපෝ නැහැ. අඟල්වලින් කියනවා නම් හරියටම අඟල් දෙකක් විතර ඇති මෙයාගේ කොණ්ඩයේ දිග. මේ කොණ්ඩකාරයා නිනෝ අරලිය ජයකොඩි.

නිනෝ කියන විදිහට නිනෝට තියෙන්නේ සුපිරි කොණ්ඩයක්ලු. ඕන ඕන විදිහට ඒක පීරන්නයි හදාගන්නයි පුළුවන්ලු. නිනෝත් ඉතින් පුළු පුළුවන් විදිහට කොණ්ඩය නානා ප්‍රකාර විදිහට හදනවලු. ඔහොම ඉන්න කොට නිනෝට ලෝචනාගේ විවාහයේ දෙවැනි මනමාලයකුට ඉන්න අවස්ථාව ලැබිලා. මේ වෙනුවෙන් නිනෝට අර සුපිරි කොණ්ඩෙ අඩු කරන්න වෙලා දෙපැත්තෙන්.

නිනෝ ඉතින් කල්පනා කර කර අර කොණ්ඩෙ කැපුවලු. එදිනත් නිනෝ හම්බ වෙන සෑම යාළුවකු ගාවටම ගිහින් කියලා තියෙන්නේ තමන්ගේ කොණ්ඩෙ ගැන. ෆොටෝ එහෙම ගත්ත ලෝචනා නිනෝව හොයද්දි එක එක යාළුවො ගාවට ගිහින් නිනෝ කොණ්ඩෙ ගැන කියනවලු. අන්තිමේ එදා නිනෝගේ තහනම් වචනය බවට කොණ්ඩය පත් වෙලා. ඉතින් ඉන් පසුව නිමෝ කොණ්ඩය ගැන වචනයක්වත් කතා කළේ නැතිලු.