වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ට විවේකය

ෂාරුක්ට විවේකය

අද අපේ කතාව බොලිවුඩයේ සුපිරි ඛාන් තිදෙනා ගැනයි. අමීර්, සල්මන් ගැන ලැබුණු ආරංචිවලින් හාත්පසින්ම වෙනස් ආරංචියක් තමයි අපට කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ගැන ලැබෙන්නේ. අපි මීට කලින් ඔහු භාර ගත්තු රංගන කටයුතුවලට කෙතරම් උනන්දු වෙනවාද කියලා කිව්වානේ. ඒ උනන්දුවේ ප්‍රතිඵල ඔහුට පසුගියදා ලැබුණා. හැබැයි ඒක එතරම් හොඳ එකක් නම් නොවෙයි.

පසුගිය වසරේ ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයට දායක වන විටදී ඇති වූ දණහිසේ අබාධායක් ආයෙමත් මතු වුණේ පසුගියදා ‘රීස්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී. ඒ වුණත් ලෙඩ ඇඳට නොවැටී ඔහු දිගටම රංගන කටයුතුවලට දායක වුණා. දණහිසේ අමාරුව නොතකා එහිදී නර්තනයකටත් දායක වුණා. කොහොම හරි රංගන කටයුතු සාර්ථකව නිම වුණත් ෂාරුක්ට විවේක ගන්න ලැබුණේ දණහිසේ අබාධය තව තවත් උත්සන්න වෙමින්.

ඒ වෙනුවෙන් රෝහල් ගත වෙන්න සිදු වූ කිං ඛාන්ට පසුගියදා ශෙල්‍යකර්මයකුත් සිදු කළා. මේ නිසා පසුගිය කාලය ඔහු ඇඳ විවේකයෙන් ගත කළ බව ආරංචියි. ෂාරුක් ආතරයිටීස් සම්බන්ධ ශෙල්‍යකර්මයකට භාජනය කළ බව වෛද්‍ය ආරංචි මාර්ග දන්වා තිබුණා. කෙසේ නමුත් ඔහු පසුගිය මාස ගණනාවක සිටම වම් පාදයේ ආබාධයකින් පෙළෙමින් සිට තිබෙනවා. දැන් නම් ඔහු යථා තත්ත්වයට පත් වෙමින් සිටින බව ආරංචියි. සුළු විවේකයකින් පසු නැවතත් රෑගත කිරීම් සඳහා සහභාගි වෙන්නත් නියමිතයි.