වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අපි ඉන්නේ අන්තිම දවසේ අන්තිම පැයේ, අන්තිම මිනිත්තුවේ, අන්තිම තත්පරේ

අපි ඉන්නේ අන්තිම දවසේ අන්තිම පැයේ, අන්තිම මිනිත්තුවේ, අන්තිම තත්පරේ

සිනමා සංරක්ෂණය ගැන ධම්මිත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්

සිනමා සක්විති ඇරැඹුණු තැනට පුතු ධම්මිත් ගිහින්

‘අවුරුදු ගාණකට උඩදී අපේ තාත්තා චිත්‍රපටවල රඟපාන්න පටන් ගත්තේ පූනාවේ ස්ටුඩියෝ එකක’

ධම්මිත් ෆොන්සේකා පැවසුවේය.

‘ඒ කොයි ස්ටුඩියෝ එකේද?’

එලෙස විමසුවේ ඉන්දියාවේ පූනා නගරයේ ජාතික සිනමා හා රූපවාහිනී පාසලේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බිපින්චන්ද්‍ර නාරියා මහතාය. එහිම ඉගෙන එහිම සේවය කරන නාරියා දැන් විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියා සිටී. ධම්මිත්ගේ මිතුරු කැමරා ශිල්පියකු වූ රාජා සයේද් ද ඔහු සමඟ සිටී. සායේද් නාරියාගේ සිසුවෙකි.

‘මං හිතන්නේ ප්‍රභාත් කියන ස්ටුඩියෝ එකේ’

නාරියාට සිනහ ගියේය.

‘දැන් ඔබ වාඩි වෙලා ඉන්නේ ඔබේ තාත්තා රූපගත කරපු තැන’

මේ සිදුවීම වුණේ දැනට සති කිහිපයකට පෙරය. ධම්මිත් එහි ගියේ සිනමා සංරක්ෂණය පිළිබඳ හැදෑරීමට ලත් ශිෂ්‍යත්වයකටය. එය ගැන ලිවීම පසෙක තබා ප්‍රභාත් චිත්‍රාගාරය පිළිබඳ කතාවට එක්වීමු.

1956 න් පසු මේ ප්‍රභාත් චිත්‍රාගාරය රජයට පවරාගෙන එහි ඉන්දියානු ජාතික සිනමා පාසල ඇරැඹුවේය. එදා මෙදා ඇතුළත එහි වෙනස් නොකළ ගොඩනැගිලි තුනක් වෙයි. ඒවා නම් ප්‍රධාන දර්ශණ තලය, ශබ්දාගාරය හා ප්‍රභාත් චිත්‍රාගාරයේ නිර්මාතෘ මෙන්ම ඉන්දියානු සිනමාවේ මහා පුරුෂයකු වන වී. ශාන්තාරාම්ගේ කාර්යාලයයි. චිත්‍රාගාර දර්ශන තලයේ ලෑලි තට්ටු, පරණ කඹ, එදා වයරින්, ආලෝක ස්විච් ඒ සියල්ලම ඒ ආකාරයෙන්මය. සිනමාවේ

නිහඬ යුගයේ 1929 දී කොලාහපූර් නගරයේ ඇරැඹි පසුව ශබ්ද යුගයට පිවිසෙත්ම 1933 දී පූනා නගරයේ ගොඩ නැඟුණු ප්‍රභාත් චිත්‍රාගාරය 1959 දී වසා දැමිණ. ඒ ඉන්දියානු සිනමා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට රාශියකට ජන්ම ලාභය ලබා දෙමිණි. එමෙන්ම අමරණීය සිංහල චිත්‍රපටයක් බිහි කරමින් හා අපේ සිනමා ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍ය නළු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මුල්වරට චරිතාංග නළුවකු ලෙසට ද පරිවර්තනය කරමිනි.

“ශාන්තාරාම්ගේ කාර්යාලය බාහිරින් යම් ප්‍රමාණයකට වෙනස් වුව ද අභ්‍යන්තරයෙන් එදා වගේමයි. ඒ අවදියේ ශාන්තාරාම් පාන්දරින් කාර්යාලයට ඇවිල්ලා ස්ටුඩියෝ එකට පරක්කු වෙලා එන අය ඇතුළට ගන්නේ නැතුව ආපහු එළවනවලු. එදා ශාන්තාරාම් හිටගෙන හිටපු තැන පොඩි කුළුණක් හදලයි තියෙන්නේ. ඒ කාලේ චිත්‍රපට හදන කොට පළමුව බැලුවේ විනය. දෙවනුව ඇඳුම. අවශ්‍ය නම් මිසක් රැවුල වැව්වා ඇරෙන්න බොහොම පිරිසිදුවට රැවුල කපලා තමයි පෙනී සිටිය යුත්තේ.”

මාහාචාර්ය නාරියා සහ රාජා සහෙත් සමඟ ඉන්දියානු ජාතික සිනමා පාසල ඉදිරිපිට (ප්‍රභාත් චිත්‍රාගාරය)

පාඨමාලාවේ සිසුන්ට වහිඩා රෙහෙමාන් අතින් සම්මාන

ප්‍රභාත් දර්ශන තලයේ

කිරාන් ශාන්තාරාම්

එදා ප්‍රභාත් චිත්‍රාගාරයේ දෛවයෝගය ගාමිණී-කුමාරි ලංකා

ධම්මිත් ෆොන්සේකා පැවසුවේ මටය. රටට ආඩම්බරයක් වූ තාත්තා පියවර තැබූ තැන දැකගන්නට ලැබීම පුතෙකුට කෙතරම් හැඟීම්බර විය හැකිද? මේ ගමන යන්නට පෙරාතුව පූනා සිනමා පාසලේ ලාංකික සිනමාව පිළිබඳ බොහෝ දෙනා නොදන්නා බැව් ධම්මිත්ට වැටහී තිබිණ. ධම්මිත් මෙවර එහි ගියේ ආසියානු සිනමා පදනමේ සභාපති ඈෂ්ලි රත්න විභූෂණ විසින් පිරිනමන ලද ලාංකික සිනමාව අරභයා ලියන ලද පොත් රාශියක් ද සහිතවය. දෛවයෝගය ගැන ඇති වූ කතාබහ කෙළවර මහාචාර්ය නාරියා ධම්මිත් රැගෙන ගියේ ප්‍රභාත් චිත්‍රාගාරයේ පැරැණි චිත්‍රපට ගබඩාවටය. එය මෙයට වසර කිහිපයකට පෙර ගිනි ගැනිණි.

‘ප්‍රභාත් සමාගමේ චිත්‍රපට රැසක් එහිදී ගිනි ගත්තා. සමහර විට දෛවයෝගය නෙගටිව් පටයත් එහි තිබෙන්නට ඇති. ඒ කොහොම වුණත් ඒ ගින්න නිසා එහි සැඟවිලා තිබුණ පරණ මිචෙල් කැමරාව හමු වුණාලු’.

‘ගින්නට හේතුව?’

ඒ අවදියේ චිත්‍රපට නෙගටිව් තිබුණේ සිල්වර් නයිට්‍රේට්වලයි. ඒ නිසා ගින්න නවත්වන්න වතුර දාලවත් බෑ.

මුල් කාලයේ සිනමා ශාලාවල දුම්බිම තහනම් කිව්වෙත් ඒ නිසාලු?

ඔව්. ඒ හින්දා ඒ අවදියේ තිරය හදන්නෙත් සිල්වර් නයිට්‍රේට්වලිනි. ඒ නිසා ඉස්සර ශාලාවල වතුර බාල්දියකුයි, වැලි බාල්දියකුයි තිබුණා. සිගරට් එකක් විසි කළොත් ස්ක්‍රීන් එක ගිනි ගන්නවා.

ධම්මිත් චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ උනන්දු වූ ආකාරය අමුතුම කතාවකි.

තාත්තාගේ අභාවයෙන් පස්සේ 2005 වසරේදී ගාමිණී ෆොන්සේකා පදනම පිහිටුවනවාත් එක්කම ඔහු රඟපෑ පරණ චිත්‍රපට සංරක්ෂණය කළ යුතුය යන හැඟීම තිබුණා. ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට විනාශ වෙලා. මේ අවස්ථාවේ ආරියරත්න පෙරේරා මහත්මයා (උතුමාණෙනි, චණ්ඩි පුතා, බාඳුරා මල්, මයුරිගේ කතාව නිෂ්පාදක) තාත්තා තැනූ චිත්‍රපට කිහිපයක් පදනමට බාර දෙන්නට කැමැති වුණා. ඒත් සමහර චිත්‍රපට අයිතිය තිබුණට පිටපත් තියෙන්නේ වෙන අය ළඟ. සමහර ඒවා එහෙ මෙහෙ වෙලා. එහා මෙහා කරලා. ඒ පාර අපි චිත්‍රපට හොයාගෙන ගියා.

ආරම්භය දුෂ්කරය. දැනුම ටිකය. මුල්ම කටයුත්ත තිබෙන පිටපත් එකට අමුණා ඩීවීඩී එකකට එක් කිරීමයි. කෙසේ වෙතත් ධම්මිත් ගේ මැදිහත්වීමෙන් කුමාර කොතලාවල අධිපතිත්වය දරන ටොරානා මූවිස් සමාගම සමඟ එක් වී පරසතු මල්, සාගරයක් මැද චිත්‍රපට සහ සුදු සහ කළු ටෙලි වෘතාන්ත ඩී. වී. ඩී ලෙස නිකුත් කෙරිණ.

සංරක්ෂණය යටතේ මට කරන්න පුළුවන් වුණේ එච්චරයි. නමුත් මට තේරුණා සංරක්ෂණය කියන්නේ ඒකාකාරී ළදරු වචනයක් කියලා. ආරියරත්න පෙරේරා චිත්‍රපට දෙන්න කැමැතියි කියන කොට මට තිබුණේ මම මොනවද කරන්නේ කියන එක. කළ හැකි දේ ඩී.වී.ඩී පරිවර්තනයයි.

චිත්‍රපට සංරක්ෂණය යනු එයට වඩා පුළුල්ය. රෑ නිදි මරා ධම්මිත් ඒ ගැන කල්පනා කළේය. අවසානයේ අන්තර්ජාලය හරහා ලැබුණු තොරතුරු මත සියාෆ් පදනම (ප්‍රංශ නාමයකි) අන්තර් ජාතික සිනමා සංරක්ෂණ පදනම සොයා ගත්තේය. එහි එක් අංශයක් වූයේ වර්ල්ඩ් ෆිල්ම් ෆවුන්ඩේලන්ය. එහි පාලකයා ලෝක ප්‍රසිද්ධ සිනමාකරු මාටින් ස්කොසෙස්ය. ඔවුන් ලොව විශිෂ්ට චිත්‍රපට ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරති. ස්පිල්බර්ග් ද මේ සඳහා දායක වෙයි.

මේ සොයා බැලීමේ ප්‍රතිඵලය ඉන්දියාවේ පැවැති චිත්‍රපට වැඩමුළුවයි. ඔහු ඒ සඳහා තම ජීවදත්ත සහිත ලිපියක් ලිව්වේය. රෙකමදාරු කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. මේ රෙකමදාරුව කෙතරම් බලසම්පන්න ද යත් ධම්මිත්ට ශිෂ්‍යත්වයක් ලැබිණ.

ඉන්දියානු සිනමා සංරක්ෂණ හා ප්‍රතිරක්ෂණ පාසල නම් වූ එය පිහිටුවන ලද්දේ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ උනන්දු වූ ඉන්දියානු රජ කුමරකු වන ශ්‍රීවේන්ද්‍ර සිං දුන්ගප්පූර්ය. ඉන්දියානු චිත්‍රපට සංරක්ෂණයේ පුරෝගාමියා වූ පී. කේ. නායර්ගේ ශිෂ්‍යයකු වූ ශ්‍රීවේන්ද්‍ර, නායර් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කළේය.

මේ වැඩමුළුවට ඇමරිකාවේ පැරමවුන්ට් චිත්‍රපට ඇකඩමියේ උප සභාපති ඇතුළු 22 ක් සහභාගි වුණා. තමන්ගේ අත්දැකීම් දින දහයක වැඩ මුළුවකට එකතු කළා. එයට පෙර තවත් සති තුනක් මට සිදු වුණා සිනමාව ගැන කියවන්න.

ඒ සිනමාපට ඉතිහාසය පිළිබඳවය. පටල පට සංරක්ෂණය, ප්‍රති සංස්කරණය ආදිය වචනයෙන් වචනය විස්තර කෙරිණි.

අපි බොහෝ විට කරන්නේ චිත්‍රපට ප්‍රින්ට් තුන හතරකින් හොඳම කොටස් ටික එකතු කරලා එක පිටපතක් හදනවා. හැබැයි ඒ සංරක්ෂණය නොවේ. එය ප්‍රති සංස්කරණයයි. මෙහිදී චිත්‍රපටය කෑල්ලක් කැඩිලා තිබුණොත් ඒක ඉවත් කරන්නේ නැහැ. රෙපයාර් කරනවා. ඒ විතරක් නොවේ. ඒ ගැන වාර්තා ලියනවා.

එපමණක් නොව එම චිත්‍රපටයට සම්බන්ධ ජීවතුන් අතර සිටින කෙනෙකු ඇත්නම් ඔවුන්ගේ අත්දැකීම් සොයා යන්නටද, එහි නිෂ්පාදක පිළිබඳ සියලු තොරතුරු සොයන්නට තවත් පිරිසක් සිටී. චිත්‍රපට ප්‍රති සංස්කරණයේදී වාර්තා ලිවීම විශාල කර්තව්‍යයකි. කැමරා ශිල්පියා ජීවතුන් අතර නැතිනම් සහාය ශිල්පියකු හෝ සොයා ගැනීම ඔවුන්ගේ රාජකාරියයි.

මේ සංවිධානය සමහර තොරතුරු සොයා ගෙන ඇත්තේ අදාල චිත්‍රපටවලට සම්බන්ධ අය මහළු මඩම්වල ජීවත් වෙද්දී. ඒ අයගෙන් තොරතුරු හොයා යනවා. චිත්‍රපටයක කැඩුණු කෑල්ලක් හදන්නේ ඒ තරම් තොරතුරු හොයලා ඉවර වෙලා. ඒ වගේම අපි සැත්කම්වලදී පාවිච්චි කරන උපකරණ වගේ විශේෂ උපකරණ තමයි භාවිතා කරන්නේ.

ධම්මිත් සිය අත්දැකීම් කියාපෑවේය. ඇත්තටම චිිත්‍රපටයේ සංරක්ෂණය යනු පුරා වස්තුවක් සුරකිනවා වැනි වැඩක්.

අනිවාර්යෙන්ම. ඒ අය අපට එයින් ඉගැන්නුවේ නිර්මාණයට ගෞරව කිරීම නැත්නම් නිර්මාණකරුවාගේ අදහස වටහා ගැනීම.

මේ තෝරා ගැනීම හැම චිත්‍රපටයකටම එක සමානද?

නැහැ. මූලිකව තැන දෙන්නේ තෝරා ගන්නා චිත්‍රපටය කලාත්මක හෝ ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපට නම් වැදගත් කොට සලකනවා. ප්‍රතිසංස්කරණයෙන් පස්සේ තමයි නියම සංරක්ෂණයට පිවිසෙන්නේ. එනම් හරි ස්ථානයක, නිවැරැදි උෂ්ණතාවයකින් ගබඩා කිරීම. යන්නට කලින් මා දැන සිටියේ සංරක්ෂණය වචනය විතරයි. ඊටත් පස්සේ ප්‍රතිෂ්ඨාපනය කරන්නේ. ඉහත සියලු දේවලට තමයි ඩිජිටල් ක්‍රමයට ගොඩ නංවන්නේ.

ප්‍රතිෂ්ඨාපනයේ සීමාවන් ඇත. මේ වැඩමුළුව ඇතුළත ඉගැන් වූයේ එයයි. ඒ අනුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ශබ්දපටය පිරිසිදු කරනවා විනා එය නව තාක්ෂණය යටතේ නැවත අලුත් හඬ පටයක් සැකසෙන්නේ නැත. මේ ක්‍රමය ප්‍රේක්ෂක, විචාරක, සිනමා ශිල්පීන් හා සංරක්ෂකයන් එකතු වී තැනු ක්‍රමයකි.

මේ පර්යේෂණයේදී චිත්‍රපටයට අදාළ කෑම බිල්, ඇඳුම්, කණ්ණාඩි කුට්ටම් ආදියෙන් පවා සොයා ගන්නවා. හේතුව ඒවායිනුත් චිත්‍රපටය ගැන කියැවෙනවා. ඒ විතරක් නොවේ. පිටපතේ අග ඇති අංක පවා සොයාගෙන ඒ විස්තරක් හොයා ගන්නවා. අපේ නිධානය වගේ කෘතියක් සංරක්ෂණය කළේ ඒ විදියට.

අපේ රටේ බොහෝ චිත්‍රපට පසුගිය කාලයේ විනාශ විය. ජාතික ලේඛනාරක්ෂකයට අනුබද්ධිත සංරක්ෂණාගාරයක් අද පවතී.

අපේ එක චිත්‍රපටයක් තිබුණා නිෂ්පාදකගේ ගරාජ් එකේ. අපේ පවුලේ හිතවතකුගේ චිත්‍රපටයක් බලු කූඩුවක දමල තෙමි තෙමී විනාශ වුණා. සමහරු අයිතිය බදුගෙන ඉන්නවා. ඒත් කවුරුවත් තේරුම් නොගන්නා දේ මේ කැඩුණු පිටපත් අපේ අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරනවා. ගාමිණී, මාලිනී, ජෝ ගැන තියෙන අගය ඊළඟ පරම්පරාවට තේරුම් කරන්න බැහැ. කෞතුක වස්තුවක් නම් කෙළින් කළාම මෙතැන එහෙම එකක් තිබුණා කියලා හිතා ගත්තෑකි. ඒත් චිත්‍රපටයකට එහෙම බෑ. අගයි මුලයි තිබුණට මැද නැත්නම් චිත්‍රපටය හිතාගන්න බෑ.

එහෙනම් අප කළ යුත්තේ?

අපේ හොඳම චිත්‍රපට සියය තෝරලා සංරක්ෂණය කිරීම. ඒවායේ අයිති ප්‍රශ්න දිග අරින්න රජය මැදිහත් වෙන්න වෙයි. උසාවි වලට ගිහින් අවුරුදු ගණන් ඉන්න දැන් බැහැ. හේතුව ලෝකයේ සිනමා රසායනාගාරයන් වැසී ගෙන යනවා. කළු සුදු හදන්නත් බෑ. කොඩැක් සමාගම දැන් බංකොලොත්. අක්කර පන්සීයක ඉඩම අද අක්කරයක ගොඩනැගිල්ලක. ඩිජිටල් නිසා රසායනික ක්‍රියාවලිය අත ඇරලා. අපි ඉන්නේ අවසන් දවසේ, අවසන් මොහොතේ, අවසන් පැයේ. ඒ නිසා මෙතැනින් එහාට අපට සංරක්ෂණය ගැන කතා කරන්න ප්‍රමාද වන්නට බැහැ.

ධම්මිත් තවත් අපූරු හෙළිදරව්වක.

මම You Tube එකේ ළඟදී දැක්කා එක්තරා ඇමරිකන් සොල්දාදුවෙක් ලංකාවේ සේවය කරපු කාලේ ඔහුගේ 16 MM  කැමරාවෙන් ගත්ත ෆොටෝස් කිහිපයක්. ඒකේ තියෙනවා දියතලාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, දියතලාවට යන්න තියෙන පාර, පොඩි ළමයි සෙල්ලම් කරනවා. ලංකාවේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ෂූට් කරලා තියෙනවා. මේක සොල්දාදුවා වයසට ගියාට පස්සේ ඔහුගේ පුතා ගේ සුද්ද කරන විට හමු වුණු පටල පටවල සටහන් වෙලා තියෙනවා.

පුතා මේක තාත්තට පෙන්නලා තාත්තාගෙන් මේ ගැන වොයිස් රෙකෝඩින් එකක් ගන්නවා. එතකොට තාත්තා කියනවා අපේ රට ගැන මතක තියෙන 1940 ගණන්වල විස්තර. එතකොට මේක අපේ සංරක්ෂණයට වැඩක් නැද්ද? අපේ උරුමයට මේක වටින්නේ නැද්ද? මේක අපි ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්න එක වටින්නේ නැද්ද?

‘සිනමා උරුමය’ කියන වචනයෙන් තමයි මේ දේවල් කෙරෙන්නේ. අපි බලන්න ඕනේ පුළුල් පැතිකඩකින් වෙනස් විදියට.

එතකොට සිනමාව කියන මාධ්‍ය කාලයත් සමඟ ඉතිහාසය නැවත කියවන්නා වු සටහනක් බවට පත් වෙනවා?

අනිවාර්යයෙන්ම. You Tube  එකේ සමහර වෙලාවට එබඳු චිත්‍රපට තියෙනවා. ඒත් නැවත බලන කොට නෑ. ඕවා කාලෙකදි නැති වෙන්න පුළුවන්.

අද නෙගෙටිව්වලට නැතුව ෆෝ බ්ලූරේවලට හෝ ඩිජිටල් යටතේ එකතු කර ගැනීම ප්‍රශ්නයක් වෙනවද?

අද ප්‍රශ්නයක් වෙනවා. හැම ඩිජිටල් ෆෝමැට් එකක්ම ඉලක්කම් විදියට තියෙන්නේ. එක Button  එකක් එබුවාම මැකෙන්න පුළුවන්. DVD  එකක තියෙන එකක් අවුරුදු පහකදී මැකිලා තියෙන්න පුළුවන්. කොච්චර ක්‍රමවේද තිබුණත් ඒ දත්ත මැකිලා යන්න පුළුවන්. අපි සංරක්ෂණය කරපු චිත්‍රපටයක් කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක බොහොම වැදගත්. ඒකෙදි අදටත් තියෙන විශ්වාසදායක ක්‍රමය තමා සෙලියුලොයිඩ් එක. දළ සේයා පටලය. LTU ටේප් කියන පටල පටියේ තමයි සංරක්ෂණ කරපු චිත්‍රපටයක් ගබඩා කරන්නේ. ඒකේ මුල් ආයු කාලය අවුරුදු 30 යි. DVD එකක් අවුරුදු 10 යි. දළ සේයා පටලය අවුරුදු 500 යි.

එතකොට සංරක්ෂණය කරපු චිත්‍රපටයක් අවසානයේදී අපි දළ සේයා පටලයකට ගන්නවා.

ඒ කියන්නේ දැන් අලුතෙන් හදන චිත්‍රපට පවා දළ සේයා පටලයකින් ලබාගන්න ඕනෑ?

අනිවාර්යයෙන්ම. නැට්ට පටලවගෙන අපි ඩිජිටල් ගැන අධිමාන්නයෙන් විශ්වාසයෙන් වැඩ කරන එක වැරදියි. අද හොඳ චිත්‍රපටයක් තියෙනවා නම් ඒක  Flim Out  කරලා ආකයිව් එකට එකකුයි තමන්ගේ පෞද්ගලික මට්ටමේ තැනකයි දෙපොළක ගබඩා කරලා තියෙන්න ඕනෑ. අඩුම තරමින් ලංකාවේ හැටියට. ඇමරිකාවේ නම් පටලපටි තුනක් ආකයිව් කරනවා තැන් තුනක. ඒවා භූගෝලීය වෙනස්කම් මත පවා වෙනස් වෙනවා. මුහුදු සිමාව ළඟ ස්ථානයක ගබඩා කරලා තියෙනවා නම් රට අභ්‍යන්තරයට වෙන්න ස්ථානයකින් ගබඩා කරනවා.

ඒ කියන්නේ ලංකාවේ නම් අනුරාධපුරේ එකයි, දියතලාවේ එකයි?

අන්න එහෙම. ඇමරිකාවේ පැරමවුන්ට් එකේ උප සභාපති කිව්වේ එයාලගේ භූගත ගබඩාවක් තියෙනවා. ඒක මොනම භූමි කම්පාවකටවත් අහු වෙන්නේ නැහැයිලු. දෙවැනි ලෝක යුද්දෙදි හදපු බංකරයක් තව ලොකු කරලා හදලා ඒකේ ගබඩා කරලා තියෙනවා. එයාලගේ ආකයිව් ඒ තරම් දුර ගිහිං තියෙනවා. එහේ අලුත් චිත්‍රපට අනිවාර්යෙන්ම සංරක්ෂණය කරන්න ඕනෑ. ඩිජිටල් චිත්‍රපට දළ සේයා පටලයට ගැනීම අනිවාර්යෙන්ම සිදු කරනවා.

බණ්ඩාරවෙල තමා ඉස්සර සංරක්ෂණ ස්ථානයක් ගැන කල්පනා කළේ?

දැන් ඔබ වචනය කිව්වා. මම හිතනවා දියතලාවේ ආමි කෑම්ප් එක ඇතුළේ කාටත් වැඩිය නොපෙනෙන යන්න එන්න හැකි ආකයිව් එකක් තියෙන්න ඕනෑ. එහේ උෂ්ණත්වයන් හා ගමනාගමන පහසුකම් ආරක්ෂාව මේ සියල්ල නිසා දියතලාව හොඳයි කියලා මම හිතනවා.

ලංකාවේ ජාතික සංරක්ෂණාගාරය සුද්දෝ හදලා තියෙන්නේ නුවරඑළියේ. අපේ අය තමයි ඒක කොළඹට අරන් ඇවිත් තියෙන්නේ?

දැන් ඒකේ ප්‍රතිඵලය තමයි අපේ සාමාන්‍ය කොළයක මුද්‍රණය කරපු එකක් පවා හොඳ මටටමක නෑනේ. අපේ කවුරු හරි පණ්ඩිතයෙක් කියන්න ඇති යන්න එන්න අපහසු නිසා කොළඹට අරං යමු කියලා. ආකයිව් එකක් කියන්නේ ඕනෑ වෙලාවට යන්න එන්නවත් අත දාලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. රටේ ඉතිහාසය ආරක්ෂා කරන තැනක්. දැන් වුණත් ප්‍රමාද නෑ ආකයිව් එක ගෙනියනව නම් සුදුසු තැනකට. එතරම් දෙයක් අපිට කරන්න බැරි වුණත් චිත්‍රපට ක්ෂේත්‍රයේදී නම් මම හිතනවා අපි තව ප්‍රමාද විය යුතු නැහැ කියලා.

ඔබට ශාන්තරාම්ගේ පුතා කිරන් මුණ ගැසුණාද?

මට එයාගේ පුතාව හමු වෙනවා. අපේ වැඩ සටහනේ අන්තිම දවසේදි එයා මගෙන් අහනවා ඔයා ගාමිණී ෆොන්සේකාගේ පුතා ද කියලා. මම කිව්වා ඔව් කියලා. මම ඔයාගේ තාත්තා ගැන විස්තර අහලා තියෙනවා. මට විස්තර ගන්න තැනක් නෑ. පුළුවන් ද මට DVD එවන්න කියලා. පස්සේ මම ‘පරසතු මල්’, ‘සාගරයක් මැද’ චිත්‍රපට දුන්නා.

ලංකාවේ උප සිරස සහිත චිත්‍රපට අඩුයි.

මගේ බලාපොරොත්තුවත් ඒක තමා. මේ චිත්‍රපට එකක්වත් සිංහලෙන් තිබිලා වැඩක් නෑ. මොකද ඉදිරියට එනවා වෙනම පරම්පරාවක් මේවා ගැන හොයන. මේක සල්ලිම නෙමේ. වෙනම වටිනාකමක් තියෙන දෙයක්. මේ වටිනාකම තේරෙන පුද්ගලයෝ අනාගතයේදී ඒවි. ඒ නිසා අපි අපේ වැඩේ කරලා තියෙන්න ඕනෑ. නැත්නම් හිඩැසක් හිටිනවා.