වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කිචි බිචි කෙල්ලන්ගේ අපූරු වැඩ කිඩ

කිචි බිචි කෙල්ලන්ගේ අපූරු වැඩ කිඩ

පබෝධා ඩ්‍රයිවර් තිසුරි කොන්දොස්තර සුජානි වාහන ගලවයි වොල්ගා වාහන උස්සයි ශලනි එළවළු විකුණයි

‘දියණියෝ’ ගෙනන රවීන්ද්‍ර විජේරත්න හෙළි කරයි

හංසි, චම්පි, පහන්දි, මින්දුලි සමගින් ටික්කි දැන් රූපවාහිනියේ කා අතරත් ජනප්‍රියයි. පියවරු අහිමි පවුල්වල දියණියන් ලෙසින් මේ පස් දෙනාම පවුලේ බර කරට ගත්තේ අනාගතය වෙනුවෙන්. ඒ වුණත් ඔවුන් පස් දෙනාම තෝරා ගත්තේ සමාජය පිරිමින්ට යැයි සම්මත කරන ලද රැකියාවන්. නොයෙකුත් හැල හැප්පීම් මැද මේ පස් දෙනාම තම වෘත්තීන්වල කාර්යය බහුල වුණත් සංගීතය ඔවුන්ගේ විඩාව සංසිඳවනවා.

මේ අයුරින් දිග හැරෙන්නේ රවීන්ද්‍ර විජේරත්නගේ නවතම ටෙලි නිර්මාණයයි. ජීවිතය ලස්සනයි, අපි අපි වගේ, රුවන් මාළිගා, තූර්යා, සුජාතා වැනි ජනප්‍රිය ටෙලි නාට්‍යය පුංචි තිරයට ගෙනා රවීන්ද්‍ර දැන් ගෙන එන්නේ පෙර නිර්මාණවලට හාත්පසින් වෙනස් කතාවක්. වට්ටෝරු කතාවලට සීමා නොවී කවදත් අලුත් දෙයක් වගේම වෙනසක් කරන රවීන්ද්‍රගේ මේ වෙනස්ම කතාව ගැන ඔහු සමඟින් කතා කරන්න සරසවිය ඉඩක් වෙන් කළා.

රවීන්ද්‍ර නිසා දැන් පුංචි තිරයේ වෙනසක් වෙලා නේද?

මාත් එහෙම හිතනවා. හැමදාම බලන එකම විදිහේ කතාවලට වඩා වෙනස් දෙයක් කරන්න මට උවමනාව තියෙනවා. හංසි, චම්පි, පහන්දි, මින්දුලි සහ ටික්කිගේ කතාව ගෙන එන ‘දියණියෝ’ ටෙලි නාට්‍ය බිහි වුණේ ඒ අයුරින්. දියණියෝ සතියේ සෑම දිනකම රාත්‍රි 7.30ට ජාතික රූපවාහිනියෙන් ඔබ හමුවට එනවා.

ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන තරංග දිසානායක තමයි මෙහි පිටපත රචනා කළේ. නිෂ්පාදනයක් ඔහුගේමයි. අපි දෙන්නම එකතු වුණාම වෙනස් අලුත් දෙයක් ගැන තමයි කතා වෙන්නේ. ඒ අයුරින් ‘දියණියෝ’ පුංචි තිරයට ගෙන එන්න අවස්ථාව ලැබුණා.

මේ කතාව ගොඩනැඟෙන්නේ කොහොමද?

පියවරු අහිමි දියණිවරුන් පස් දෙනෙක් මේ කතාවට පසුබිම් වෙනවා. ඔවුන් ජීවිතය ජය ගන්න දරනා උත්සාහය තමයි මෙහි රූප ලෙසින් මැවෙන්නේ. සංගීතයත් ඔවුන්ගේ ජීවිතය සමඟින් අපූරුවට ගලාගෙන යනවා. පබෝධා සන්දීපනී චම්පිගේ චරිතයට පණ පොවනවා. ඇය පෞද්ගලික බස් රථයක රියදුරුවරියක්. අනෙකුත් බස් රථ රියදුරන්ගේ තාඩන පීඩන මධ්‍යයේ ඇය සිය වෘත්තියේ නියැළෙනවා. තිසුරි මෙහිදී පහන්දි වෙනවා. ඇය ගායිකාවක වීමේ බලාපොරෙත්තුවෙන් සිටින්නේ. නමුත් දෛවය ඇයට කොන්දොස්තරවරියක ලෙසින් සේවය කරන්න සළස්වනවා. මිතුරියන්ගේ සහය නිරන්තරයෙන් ඇය දිරිමත් කරනවා.

සුජානි මේනකා හංසි නම් තරුණියයි. රෝගි මව සමඟින් ජීවිතය ගෙවන ඇය පියාගේ වියෝවෙන් උරුම වූ ගරාජයේ තම සියුමැලි දෑතින් වාහන අලුත් වැඩියා කරනවා. වොල්ගා කල්පනී ටික්කීගේ චරිතයට පණ පොවනවා. ඇය නම් චණ්ඩියෙක්. ලීසිං නොගෙවූ වාහන බලෙන් රැගෙන ඒම ටික්කිගේ රැකියාවයි. මින්දුලි සීයාගේ කොරටුවේ එළවළු ඩීමෝ බට්ටා වාහනයකින් නගරයට රැගෙන ගොස් විකුණා ජීවත් වෙනවා. මින්දුලී ලෙසින් පණ පොවන්නේ ශලනි තාරකා.

මේ පස්දෙනා එකතුව සංගීත කණ්ඩායමක්. ඔවුන් සංගීත පුහුණුවීම් වගේම එකිනෙකාගේ ප්‍රශ්න ගැනත් කතා වෙන්නේ හංසිගේ ගරාජයේදීයි. මේ දිරිය දියණියන් පස් දෙනාගේ බලාපොරොත්තුව කවදාහරි තම සංගීත කණ්ඩාම හොඳම සංගීත කණ්ඩායම බවට පත්කර ගැනීමයි.

‘දියණියෝ’ හි ප්‍රධාන චරිත කෙල්ලොම පහක්. කොහොමද මේ කෙල්ලො පස්දෙනා හසුරවා ගන්නේ?

මේ කෙල්ලො පස් දෙනා හසුරවන එක තමයි අමාරුම දේ. රූගත කිරීම් වලදී නම් පස් දෙනාම එක වගේ උනන්දුවෙන් කටයුතු කරනවා. හැබැයි ඉතින් විවේක වෙලාවට නම් මේගොල්ලන්ගේ කිචි බිචිය තමයි. මේ පස් දෙනාම එකට එකතු වුණාම කොල්ලන්ටත් වඩා දඟයි. කොල්ලන්ට නම් බණින්න පුළුවන්. මේ කෙල්ලන්ට බණින්නත් බැහැනේ. ඒ වුණත් පබෝධා, තිසුරි, සුජානි, ශලනි, වොල්ගා මේ හැමෝම බොහොම හොඳින් කැපවීමෙන් රංගනයට දායක වෙනවා. මේ පස් දෙනාම එකතු වුණාම හැදෙන ලෝකය හරිම සුන්දරයි. ඒ වගේම විනෝදයෙන් පිරුණු ලස්සන ලෝකයක්.

හංසි, චම්පි, පහන්දි, මින්දුලි සහ ටික්කි ලෙසින් සුජානි, පබෝධා, තිසුරි, ශලනි සහ වොල්ගා ලෙසින් තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?

නිර්මාණ කණ්ඩායමේ අපි මුලින්ම මේ පස්දෙනා හොඳට තමා රංගනයන් ඉදිරිපත් කරාවි යන විශ්වාසය තබාගෙන සිටියා. මොකද මේ හැමෝම අපිත් සමඟ මීට කලින් වැඩ කරලා තියෙනවා. ඒ විශ්වාසය තමයි මූලිකම හේතුව වුණේ. මේ පස් දෙනා තුළම ඒ ඒ චරිතවලට අදාළ සුදුසුකම් තියෙනවා.

මේ කතාවේ පබෝධාට බස් රථයක් ධාවනය කරන්න තියෙනවා. ඒක නම් අපහසු කටයුත්තක් වෙන්න ඇති?

පබෝධා ඒ කටයුත්ත හරිම ආසාවෙන් භාර ගත්තා. පබෝධා රූගත කිරීම්වලට පෙර දවස් දෙකක් හෝමාගම බස් ස්ටෑන්ඩ් එකේ බස් එක ධාවනය කරන්න පුරුදු වුණා. පළමුවෙන්ම රූගත කරද්දි හරි අයියේ මම බස් එක ගේන්නම් කිව්වට මට පොඩි බයකුත් තිබුණා. එතැන තවත් බස් රථ තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව ඉන්නවා. පාරේ තවත් ගොඩක් වාහන යනවා. මේ හාමෝම බේරලා වැඩේ කරන්නත් ඕනිනේ. තත්පරයෙන් වැරදුනොත් සේරම ඉවරයි. ඒත් ඇය තනිවම හරිම අපූරුවට බස් රථය ධාවනය කරනවා. දැන් නම් ඇයගේ රංගනය වගේම බස් රථ ධාවනයත් විශ්වාසයි.

එතකොට තිසුරි?

තිසුරිට ඒ පුහුණුව දුන්නේ අදාල බස් රථයේ කොන්දොස්තර මිතුරා. ඔහු බස් රථයේ සෙනඟ හසුරවන හැටි, ටිකට් කඩන ආකාරය, ඉතුරු සල්ලි දෙන හැටි බලාගෙන තිසුරි පුරුදු වුණා.

සුජානි, ශලනි, වොල්ගාගේ රංගනයන් ගැනත් කිව්වොත්?

මේ තුන්දෙනාම තමන්ගේ රංගනයන් ඉතාම අපූරුවට කළා. සුජානි ගරාජයේ කටයුතු වගේම ශලනි ඩිමෝ බට්ටා රථයෙන් ගිහින් එළවළු විකුණන හැටිත් නියමයි. හැමෝටම වැඩිය චණ්ඩියා වෙන්නේ වොල්ගා.

ඉතිං මේ කතාව පුරාවට අමතක නොවන සිදුවීම් රැසකුත් ඇති නේද?

අපොයි ඔව්. එවැනි සිදුවීම්වල නම් අඩුවක් නැහැ. තිසුරි බොහොම හොඳට බස් එකට ගෙනඟ ලෝඩ් කරනවා. හෝමගම බස් ස්ටෑන්ඩ් එකේ තිසුරි බස් එක ලෝඩ් කරන කොට සාමාන්‍ය මිනිස්සුත් බස් එකට නැඟලා. තවත් දවසක් පබෝධා බස් එක ධාවනය කරගෙන යනකොට බස් රථ පරීක්ෂකවරු බස් එක නැවැත්තුවේ නිළ ඇඳුම් සහ ටිකට් දෙනවද කියලා චෙක් කරන්න. බස් එක නැවැත්තුවාම ඔවුන්ට හිතා ගන්න බැරි වුණා. මේ වගේ සිදුවීම් සමඟින් බොහොම විමෝදයෙන් අපි ‘දියණියෝ රූගත කරනවා.

මේ දිරිය දියණියන්ගේ අනාගතය සැකසෙන්නේ කොහොමද?

ඇත්තටම මේ දිරිය දියණියන් පස් දෙනා පිරිමින් මෙන් පිරිමින් කරනා වැඩ කළත් ඔවුන්ගේ තාරුණයේ කාන්තා සියුමැළි බව නැති වෙන්නේ නැහැ. චම්පි, හංසි, පහන්දි, මින්දුලි සහ ටික්කි මේ පස් දෙනාටම වෘත්තීය වශයෙන් පිරිමි ගති ලක්ෂණ දුන්නත් ඔවුන්ගේ කාන්තා සුන්දරත්වය ගිළිහෙන්නේ නැහැ. බොහොම අපූරුවට ඔවුන් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙනවා. ඒ වගේම සංගීතය ඔවුන්ගේ ජීවිත සුන්දර කරනවා.

දැනට අපි මේ ටෙලි නිර්මාණයේ කොටස් තිස් පහක් හතළිහක් වගේ ප්‍රමාණයක් රූගත කළා. තවත් කොටස් කිහිපයක් ඉදිරියේදී රූගත කරන්න කටයුතු යොදා ගෙන තියෙනවා. කොටස් පනහක් හෝ හැත්තෑපහක් වැනි ප්‍රමාණයකින් මේ දියණියන්ගේ දෛවයේ විසඳුම ගෙන එන්න ‘දියණියෝ’ නිර්මාණ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.