වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත්ම ආදායම් වාර්තා

අලුත්ම ආදායම් වාර්තා

තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටය දැන් බොලිවුඩයේ වගේම ලෝකයේම ආකර්ශනය දිනා ගන්න සමත් වෙලා. බොහෝ දෙනෙක් මුලින් හිතගෙන හිටියේ තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටය එහි පළමු වැන්න සේම සාර්ථක නොවනු ඇති බවයි. නමුත් ඒ අදහස වෙනස් වුණේ කන්ගනා නිසා කියලයි හැමෝම කියන්නේ. කන්ගනා රනවුත් රංගනයෙන් දායක වූ ක්වීන් චිත්‍රපටය පසුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලබා කන්ගනා හොඳම නිළිය වෙන විටදි විචාරකයන් පවා සඳහන් කළේ කන්ගනාගේ මීළඟ චිත්‍රපටය ඉහළ සාර්ථකත්වයක් ලබනු ඇති බවයි.

ඒක ඔප්පු වුණේ පසුගියදා තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීමත් සමඟින්. කවුරුත් නොසිතූ අයුරින් තිරගත වී දින දෙකක ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 21.85ක් වාර්තා කළා. තනූ වෙඩ්ස් මනූ රිටන්ස් තිරගත වීම ආරම්භ කළේ පසුගිය මැයි 22 වැනිදා. ඉන්දීය රුපියල් කෝටි 30ක වියදමින් නිර්මාණය කළ මෙම සිනමා නිර්මාණය තිරගතව දින තුනක් වන විට ඉන්දීය රුපියල් කෝටි 65ක ආදායමක් වාර්තා කළා.

කන්ගනා සමගින් ආර්. මාධවන් මෙහි චරිත නිරූපණය කරනවා. ආනන්ද් එල් රායි විසින් අධ්‍යක්ෂණය කළ තනූ වෙඩ්ස් මනූ රිටන්ස් චිත්‍රපටයේ පළමු වැන්න තනූ වෙඩ්ස් මනූ ලෙසින් පසුගිය 2011 වසරේදී තිරගත වුණා. ඉන්දිය රුපියල් කෝටි 15ක වියදමක් දරා නිර්මාණය කළ එය උපයා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 56ක්. නමුත් දෙවැන්න ආරම්භයේදීම ඉහළ සාර්ථකත්වයක් ලැබීම ගැන කවුරුත් කතා කරන්නේ ප්‍රශංසනාත්මකවයි.