වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - හින්දි සිනමාවේ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයකු වූ මදන් මෝහන් පිළිබඳ විස්තර ටිකක් දන්වන්න?

එච්. එස්. සැමුවෙල් - පංචිකාවත්ත, මරදාන

අර්ජුන් - 1924 ජූනි මස 25 වැනිදා ඉපිද 1975 ජූලි 14 වෙනිදා 51 වියේදී අකල්ව මියගිය ඉතාම විශිෂ්ට සිනමා සංගීත අධ්‍යක්ෂකවරයකු වන ඔහු ලතා මංගේෂ්කාර්, තලාත් මෙහෙමුද්, මොහොමඩ් රාෆි වැනි ගායක ගායිකාවන් වෙනුවෙන් විශිෂ්ට ගීත සංඛ්‍යාවක් නිර්මාණය කළා. ඉන්දියානු සම්භාව්‍ය සංගීතය නූතන හින්දි සිනමාව වෙනුවෙන් පරිවර්තනය කිරීමේදී විශාල මෙහෙයක් කළේ මදන් මෝහන් බවයි හැඟී යන්නේ. ඔහුගේ මුල්ම චිත්‍රපටය 1950 දී තැනුණු ආන් කේන් චිත්‍රපටයයි. ඉන් පසු සංගීතවත් කළ මදෝස්, රේල්වේ ෆ්ලැට්ෆෝම්, බායි බායි, ජේලර්, දුනියා නා මානේ, හකීතක්, වෝ කවුන්හයි, මේරා සායා, පර්වානා ඇතුළු චිත්‍රපට රාශියක ඔහු සංගීතය මෙහෙයවනු ලැබුවා. ඔහු මිය ගොස් වසර 29 කට පසු ඔහු විසින් නිර්මාණය කරන ලද එතෙක් අනාවරණය නොවූ සංගීත නිර්මාණ යොදා ගනිමින් වීර්සාරා චිත්‍රපටය නිර්මාණය වූවා.

ප්‍රශ්නය - හින්දි සිනමාවේ ප්‍රවීණ නළු දිලිප් කුමාර් රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද?

වියානි ගුණවර්ධන හා ලවැන්ඩර් - වෙන්නප්පුව

අර්ජුන් - ජ්වාර් බාතා චිත්‍රපටය.

ප්‍රශ්නය - එල්ෆීන්ස්ටන් රඟහල නවීකරණය කර ගාමිණී ෆොන්සේකා නමින් හඳුන්වන බව ප්‍රචාරය වුවත් දැන් ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ඇයි?

ආනන්ද වික්‍රමආරච්චි - ඉහළ තල්දූව

අර්ජුන් - ප්‍රචාරයක් නැත්තේ ඇයිදැයි මා දන්නේ නැහැ. හැබැයි එල්ෆීන්ස්ටන් සිනමාහලේ ඉතිහාසය එහි ඇති වැදගත්කම පිළිබඳ සලකා බලද්දී මගේ පෞද්ගලික මතය නම් එයට සුදුසු එකම නම වන්නේ ද එල්ෆීන්ස්ටන්ම තමයි. නම වෙනස් කොට ගාමිණී ෆොන්සේකා නම් මහා කලාකරුවාට අවමන් කළ යුතු නැහැ.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10