වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




රෙඩ් කිව්වෙ බොරුවක්....

රෙඩ් කිව්වෙ බොරුවක්....

චාන්දනී නැවතත් සිය පියා වෙනුවෙන් හඬ අවදි කරයි...

ෆ්‍රෙඩී සිල්වාගේ දියණී චාන්දනී සිල්වා පසුගිය දිනෙක නැවතත් ‘සරසවිය’ට ආවා.

මොකද මේ ආයෙත් සැරයක්?

මට පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න.

පසුගිය සතියේ සරසවියෙ පළවූ ෆ්‍රෙඩීගෙ දෙවැනි කසාදයේ පුතණුවකු වන ප්‍රගීත් සිල්වාගේ ලිපිය ඔබ කියෙව්වද?

ඔව්.

ඔහු පවසා තිබෙන දේවල්වලට ඔබ එකඟද?

ඇතැම් කරුණුවලට මම එකඟ නෑ. මං ඒ ගැන කියන්නයි අද ආවේ.

ඒ කියන්නෙ ප්‍රගීත් කියලා තියෙන දේවල් සාවද්‍යයි?

මට ප්‍රගීත් එක්ක නෙවෙයි ගැටලුව තියෙන්නෙ. ඔහුගෙ ඇඟෙයි මගෙ ඇඟෙයි දුවන්නෙ එකම ලේ. ඔහු මගේ මල්ලි. මල්ලිත් එක්ක අක්කට ප්‍රශ්නයක් නැහැ.

එහෙනම්?

ඔහු එක්තරා තැනක සඳහන් කරලා තියෙනවා ‘රාජ මාලිගේ පරවියා වගේ’ ගීතය රචනා කරලා තියෙන්නෙ බැසිල් එම්. සිල්වා කියලා කෙනෙක් කියලා.

ඉතින්?

රෙඩ් පවසා තිබුණනෙ ඒක එයාගේ සීයගෙ කියලා. එහෙනම් එයාගෙ සීයා බැසිල් එම්. සිල්වා වෙන්න ඕනා. එතනින්ම පේනවා ඔහු කියන්නෙ බොරු බව.

ඔබ පෙරදා පැවැසුවා රාජ මාලිගේ ගීතය ලියලා තියෙන්නේ සිරිල් ඒ සීලවිමල කියලා?

ඔව්, ඒක හරි.

එතකොට බැසිල් එම්. සිල්වා?

මෙහෙමයි. පැරුණි ගීත පොතක තමයි එහෙම සඳහන් වෙලා තියෙන්නෙ. ඔය කරුණයි මට වැඩිපුරම නිවැරදි කරන්න ඕන. ඕකට උදාහරණයකුත් කියන්නම්කො. තාත්තගේ මමයි මොට්ටපාල ගීතයේ රචකයා වශයෙන් තැන් තුනක තුන්දෙනෙකු සඳහන්ව තිබෙනවා. ඒ ඇලන්සන් මෙන්ඩිස්, සිරිල් ඒ සීලවිමල සහ බැසිල් එම්. සිල්වා. මම සොයා ගත් පරිදි සීල විමල අංකල් තමයි ඒකෙ නියම ගීත රචකයා. රාජ මාලිගේ ගීතයත් ඒ වගේ.

ප්‍රගීත් පවසා තිබුණු පරිදි ඔහුට තම පියාගේ ගීතවල අයිතිය ලිඛිතව තියෙනවා. ඒත් ඔබට නැහැ?

එයාට විතරක් නෙවෙයි ජනේෂ් අයියටත් තාත්තා අයිතිය ලබා දීලා තියෙනවා. ඒ ලියමන ජනේෂ් අයියගේ ගෙදර ඇති. මං ඒක හොයා ගන්න ඕනෑ.

හරි, ඒ දෙන්නටම එහෙම ලිඛිත අයිතියක් තියෙනවා කියමුකෝ. නමුත් ඔබ ඒ කිසිවක් නැතුවයි මේ විදිහට රාජ මාලිගේ ගීතය ගැන තර්ක කරන්නෙ. කෙනෙකුට කියන්න පුළුවන් ඔබ ඕනෑවට වඩා උඩ පනිනවා කියලා?

උඩ පනින්න විතරක් නෙවෙයි, මට කරණම් ගැහුව හැකි. මොකද මමනෙ ෆ්‍රෙඩී සිල්වගෙ නිත්‍යනුකූල කසාදයේ එකම දුව. ඉතින් මට තාත්තා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් බුලත් දෙන්න ඕන නැහැ?

ඔබ ඔහොම කිව්වට ප්‍රගීත් පවසනවානේ ඔහු ද ෆ්‍රෙඩී සිල්වගේ නිත්‍යනුකූල බිරියකගෙ දරුවෙක් බව?

නැහැ, නැහැ මගෙ අම්මා තාත්තගෙන් දික්කසාද වෙලා නැහැ.

රාජ මාලිගේ ගීතය නිසා ෆ්‍රෙඩී තව තවත් ජනපි‍්‍රය වුණා කියලා ප්‍රගීත් කියලා තියෙනවා?

තාත්තව වෙන කෙනෙක් හින්දා ජනපි‍්‍රය වුණා කියන කරුණ අමූලික බොරුවක්. තාත්තට කවුරුවත් තල්ලුවක් දෙන්න ඕන නැහැ. එයා කොහොමත් ජනපි‍්‍රයයි. මේ රටේ සිනමාව පවතින තුරු ඔහු තමයි විකට රජු. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. අනික තාත්තගෙ සිංදු වෙන කවුරුත් කිව්වට තාත්තගෙ ජනපි‍්‍රයත්වය ඉහළ යන්නෙත් නැහැ. තාත්තට එදා තිබුණු පිළිගැනීම අදටත් තියෙනවා. මතුවටත් තියෙනවා.

ප්‍රගීත් ෆ්‍රෙඩීගෙ සිංදු කියනවට ඔබ කැමැතිද?

මොකද නැත්තෙ. තාත්තගෙ සිංදු කියන්න කෙනෙක් ඉන්නවා කියන එක කොච්චර හොඳ දෙයක්ද?

ඔබ දැකලා තියෙනවද ප්‍රගීත් තාත්තගේ සිංදු කියනවා?

තවම නැහැ. ඒත් මං කැමැතියි ඔහුව මගෙ බෑන්ඩ් එකට සම්බන්ධ කරගන්න. මං ඒ බව ප්‍රගීත්ට කිව්වා.

රෙඩ් තවමත් ඔබට කතා කළේ නැතිද?

නැහැ.

රෙඩ්ට මොනවද ඔබට කියන්න තියෙන්නෙ?

මෙච්චරයි, තාත්තගෙ සිංදුව කිව්වට කමක් නැහැ. නමුත් තාත්තට නිසි ගෞරවය ලබා දෙන්න. අනික රාජ මාලිගේ ගීතය ඔහුගේ සීයාගෙ නෙවේ කියලා මේ වන විට ඕන කෙනෙකුට පිළිගන්න තරම් සාක්‍ෂි තියෙනවා. එහෙව් තත්ත්වයක් මත ඒ කරුණත් පිළිගෙන ෆ්‍රෙඩී සිල්වාට නිසි ගෞරවය දීලා සිංදුව කියන්න.

ඒ වගේම මං නවක ගායක ගායිකාවන්ගෙන් ඉල්ලන්න කැමතියි අනුන්ගෙ සිංදු හොරකම් කිරීම නවත්වන්න කියන එක. අනුන්ගෙ සිංදු කියන්න ඕනම නම් ඒ සඳහා අවසරය ලබාගෙන එය හිමි පැරුණි ශිල්පීන්ට නිසි ගෞරවය දීලා සිංදු කියන්න. එතකොට කාටවත් කරදරයක් නැහැ.