වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

පත්තරයක් අරගෙන පැත්තකට වුණු රොබින්...

අපේ කලා ක්ෂේත්‍රයේ නව පුරපුරේ නියෝජනය කරන ඇතැම් අය අති පණ්ඩිතයි කියලා සමහරු කියනවා. කතාව ඇත්ත. ඇතැම් නවක නිළියන් හිතාගෙන ඉන්නෙ එයාලා මාලිනී ෆොන්සේකාටත් එහා කියලා. ඒතරම්ම ආඩම්බරයි. නිළි රැජන මාලිනී තවමත් දැක්ක තැන හිනාවෙලා නිහතමනීව සුහදශීලී වෙනකොට අර පිරිසගෙ හැසිරීම ගැන ඇත්තටම දුක හිතෙනවා. මේ කතාව කියාගෙන ආවේ පණ්ඩිතයන්ට පාඩමක් කියලා දෙන්නත් එක්ක.

අපිට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම රංගනවේදියෙක් තමයි රොබින් ප්‍රනාන්දු කියන්නෙ. ඔහු එදා සිට අද දක්වා කළ විස්කම් අපමණය අප්‍රමාණයි.

ඔන්න දවසක් රොබින් ටී. වී. ටී. ආයතනයට ගියා. සනත් අබේසේකරගෙ නවතම චිත්‍රපටය වන මහරජ අජාසත් හි හඬ කවන්න. ඔහු නියමිත වෙලාවටම එතැන සිටියා. ඔය අතරේ නවක රංගන ශිල්පියෙකුටද එදින චිත්‍රපටයේ හඬ කවන්න තිබුණා.

ඔහුට වෙලාව දීලා තිබුණෙ හවස නමුත් ඔහුට යම්කිසි වැඩ රාජකාරියක් යෙදිලා තිබුණු හින්දා ඔහු උදේ පාන්දරම ඇවිත් හිටියා. මෙහි හඬ කවලා පිටත්ව යන්න. මේ බව ඔහු සනත්ට කිව්වා. සනත් මොකද කළේ අර නවක නළුවගේ අවශ්‍යතාව තේරුම් අරන් රොබින්ට ඒ බව දන්වපු එක. රොබින් මොකද දන්නවද කිව්වේ.

“එයාගෙ ඩබිං ටික අරගෙන එයාව යවන්න. මට හදිස්සියක් නැහැ. මට ඕන වෙලාවක් අද දවසේ ඉන්න පුළුවන්”.

එහෙම කියපු රොබින් පත්තරයක් අරගෙන පැත්තකට වුණා. ඊට පසුව අර නවක නළුවා හඬ කවන්න යන්න කලින් සුබ පැතුවා. මොකද ඒ නළුවගෙ පළමු චිත්‍රපටය තමයි මහරජ අජාසත්. මේ වගේ සිදුවීමක් රොබින් වෙනුවට නවක නළුවකුට වුණා නම් ඔහු මොනවගේ පිළිතුරක් දේවිද. තීරණය ඔබට බාරයි.

හොඳ හිතට හීලෑ වුණ රිලා රාල...

පොඩි මාමා ටෙලි සිතුවමේ දර්ශන තලයට නයෙකුත් අරන් අහිකුණ්ඨිකයකු ඇවිල්ලා. නාට්‍යයේ සීන් එකකට නයෙක් ඕන හින්දයි ඔහු ඇවිත් තියෙන්නෙ. මේ පුද්ගලයා නයත් එක්ක (නයාගේ තනියට වෙන්න ඇති) පුංචි රිලා පැටියෙකුත් ගෙනැල්ලා. මේ රිලවා නාට්‍ය කණ්ඩායමේ එක් අයකුගෙවත් මූණ බලන්නෙ නැතිලු. සාමාන්‍යයෙන් රිලවෙකු දුටුවම නොයෙක් දෙනා විහිළු තහළු කරනවා. කන්න දෙනවා වගේ දේවල් කරනවනේ.

නාට්‍ය කණ්ඩායමේ අයත් එහෙම කරලා ඒත් මේ රිලවා නෙවෙයිලු ඔවුන්ව සත පහකට ගණන් ගත්තෙ. ඔය අතරෙ අපේ ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් එතනට ඇවිත්. අන්න ඒ වෙලාවෙ එයාගෙ දිහා විතරයි මේ රිලවා බලලා තියෙන්නෙ. මේ තැනැත්තිය වෙන කවුරුවත් නෙවෙයි උමයංගනා වික්‍රමසිංහ. ඇයත් එක්ක විතරයි මේ රිලා පැටියා මිතුරු වෙලා තියෙන්නෙ.

උමා දෙන කෑමලු රිලවා එදා කෑවෙ. කොහොම හරි නයාගෙ දර්ශන අරගත්තට පස්සෙ නයත් අරගෙන නයි අයිතිකරුවා යන්න හදද්දි රිලා පැටියා එතනින් එන්න අදිමදි කරලා.

අවසානයේ උමා බිස්කට් එකක් එහෙම දීලා රිලවා පලවා හැරියලු. එදා ඉඳලා උමාගෙන් ගොඩක් දෙනෙක් අහනවලු රිලවුන් හීලෑ කිරීමේ සාස්තරය මොකක්ද කියලා. උමා නම් ඊට පිළිතුරු බඳින්නෙ “හොඳ හිත තමයි එකම සාස්තරේ” කියලලු.

ඉංග්‍රීසි දෙබස් සිංහල ඩයලොග්

අධ්‍යක්ෂ සරත් ධර්මසිරි උන්නැහේ අලුත් නාට්‍යයක් නිර්මාණයක් කරනවලු මේ දවස්වල. කොහොමත් සරත් මහත්තයගේ නිර්මාණ ගැන නම් ආයේ ඉතින් කියන්න චෙදයක් නැහැනේ. සුපිරිනේ. මේකත් අන්න ඒ වගේ වැඩක්. ආනමඩුව පැත්තෙලු මේ නාට්‍ය ෂූට් කරන්නේ.

ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකෙ රඟපානවලු. සරත් තමන්ගේ අධ්‍යක්ෂණ ප්‍රතිභාව තීව්‍ර කරමින් මෙය නිර්මාණය කරනවලු. සාමාන්‍යයෙන් සරත් උන්නැහෙ නාට්‍යයක් නිර්මාණය කරනවා කිව්වාම එහි රඟපාන්න අවස්ථාව ඉල්ලගෙන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කෝල් කරනවා. ඒ පිළිබඳ පෞද්ගලිකව මමත් දන්නවා.

හැබැයි මේ වතාවේ නම් කිසිම කෙනෙක් සරත්ගෙන් රංගනයට අවස්ථාව ඉල්ලලා නැහැ. සරත්ට කතා කරන අයත් නාට්‍ය ගැන අහපු ගමන් වැඩි විස්තර අහන්නේ නැතුව ෆෝන් එක තියනවලු. ඔහුට පුදුම වෙලා එසේ වීම ගැන.

ඒ නාට්‍යයේ රඟපානවා අනිල් ජයසිංහ. අනිල්, සරත් එක්ක කදේ වැටුණ වෙලාවක මේ කතාව ඇදලා අරගෙන. එතකොට තමයි මෙහි යථාර්ථය හෙළි වෙලා තියෙන්නේ. සරත් මේ නාට්‍ය නිර්මාණය කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

අපේ කට්ටිය ඉංග්‍රීසිවලට කොහොමත් බයයි නේ. අනික සිංහලෙන් දෙබස් කියාගෙන රඟපාන්න බැරි කොට කොහොමද ඉංග්‍රීසියෙන් ඩයලොග් කියන්නේ නේද. ඒ හින්දා තමයි සරත්ගෙන් මේ නාට්‍යයේ රඟපාන්න කිසි කෙනෙක් අවස්ථාව ඉල්ලන්නේ නැත්තේ.

නාට්‍ය විස්තර අහන බොහෝ දෙනෙක් ඒ ගැන දැන ගත්ත වහාම දුරකථනය විසංධි කරන්නේ එහි රඟපාන්න කතා කරයි කියලා වෙන්න ඇති. සරත් මේ නාට්‍යය නම් කරලා තියෙන්නේ ජ්ඥබජඩ ර්ඥ ලෙසට.

ලන්ච් එකට පිනි ජම්බු...

අපි නම් සාමාන්‍යයෙන් දවල්ට කන්නෙ බත්. හැබැයි ඊට අමතරව අවස්ථාවන්ට ගැළපෙන පරිදි බත් වෙනුවට ආදේශක ආහාර ගන්න අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

නමුත් බත් නොකා ඒ වෙනුවට ජම්බු කෑ නළුවෙක් ගැන දන්නවද? ඔහු තමයි සුදත් විජේසේකර. ඔහු දවස් දෙකක් දවල් ආහාර වේල පිරිමහගෙන තියෙන්නෙ ජම්බුවලින්. කොහොමද දනනවද එහෙම වෙලා තියෙන්නෙ.

සුදත් දවසක් කිරිබත්ගොඩ පොළ ආසන්නයේ රූගත කිරීමකට සහභාගි වෙලා. පොළේ වෙළෙන්ඳෙක් ගාව තිබුණලු රතට රතේ බැබළෙන පිනි ජම්බු තොගයක්.

මේවා දැකලා සුදත්ට පොඩි කාලෙ මතක් වුණාලු. ඔහු ගත්තලු ජම්බු කිලෝ පහක්. ඒකත් අරගෙන වාහනයට ඇවිත් ජම්බු ටික පැත්තකින් තියාගෙන ගෙඩිය දෙක කෑවලු.

අන්තිමේ කිලෝ එකහමාරක් විතර ජම්බු සුදත්ගෙ බඩේලු. ඔය අතරතුරදි දහවල් ආහාරය ගන්න නිෂ්පාදන කණ්ඩායමෙන් කතා කරද්දි සුදත්ට කිසිම බඩගින්නක් නැතිලු ජම්බු බඩේ නිසා. පහුවෙනිදත් මේ කතාව එහෙම්මම සිද්ධවෙලා.

සුදත් ඒ දින දෙකේදිම දවාලට කාලා තියෙන්නෙ ජම්බු විතරයිලු.

සල්ලි මල්ලි සල්ලි...

සල්ලි කියලා කියන්නේ අප කොයි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍ය මිනිස්සුන්ට වගේම කලාකරුවන්ටත් එය පොදු කාරණයක්. නිදුකින් ඉනුමැන ගීතය ගයන ඩිමංක වෙල්ලාලගේටත් එවන් වූ මුදල් අවශ්‍යතාවක් දැණුන වෙලාවක් පැමිණියා. ඒ මොහොතෙම ඔහුට දුරකථන ඇමතුමක් ආවා. පහුවෙනිදාට සංගීත සංදර්ශනයක ගීත ගයන්න එන්න කියලා ආරාධනාවකුයි එම ඇමතුමෙන් කියවුණේ.

දෙවියො මුහුණ බැලුවා වගේ මේ මොහොතෙම ප්‍රසංගයක් ලැබුණු එක ගැන ඩිමංක සිටියේ පුදුමාකාර සතුටකින්. ඔන්න ඉතින් පහුවෙනිදා හවස ඩිමංක ෂෝ එකට පිටත් වුණා.

එතනට ගියාට පස්සෙයි තරු පෙනුනෙ. ඔක්කොම ප්‍රවීණ ගායකයො ඩිමංකට කලින් ඇවිල්ලා. ඩිමංකගෙ නම ලිස්ට් එකේ කලින් තිබුණට ප්‍රවීණයන්ට තැන දෙන්න ඕන කියලා හිතාගෙන ඔහු පැත්තකට වුණාලු.

කොහොම හරි එක දිගට පැය තුනක් විතර ප්‍රවීණ අය ගී ගයලා. රාත්‍රි දොළහට විතර ඩිමංකට ලැබුණලු ගී ගයන්න. ඔය වෙලාවෙම සංගීත හඬ පරයා ටකරං පෙරලන සද්දයක් ඇහුනලු. මෙන්න බොලේ ප්‍රසංගය නරඹන්න ආව පිරිසක් රණ්ඩුවෙනවා. එවෙලෙම ෂෝ එක නතර කළාලු. සංවිධායකවරුන් ආගිය අතක් නැතිලු මේ වෙනකොට.

ඒ අවස්ථාවෙදි ඩිමංක හැර අනෙක් ගායක ගායිකාවො මුදලුත් එහෙම ඉල්ලාගෙන. ඩිමංකට සත පහක්වත් ලැබිලා නැහැ. අන්තිමේ කොරේ පිටට මරේ කියාගෙන හුලං බිබී ඩිමංක ගෙදර ආවලු.