වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




‘උදුම්බරා’ පරම්පරා තුනක් එක්තැන් කළා

‘උදුම්බරා’ පරම්පරා තුනක් එක්තැන් කළා
 

දයාරත්න රණතුංග

අමරා රණතුංග

කඳුපෙළ අතරෙන් සැඟව යන හිරුගේ රශ්මිය ඔබ මොබ සැරිසරන්නේ අහස් තලයේ අපූරු රටාවක් ගෙත්තම් කරමිනි. ඒ රටාවේ වූ රන්වන් පැහැයට හැරුණු වලා පෙළෙහි පැහැයෙන් මුළු නාවල ප්‍රදේශය වෙලා ගෙන ඇතැයි මට සිතෙයි. ඈත ඇදී යන කොක් රෑන සන්ධ්‍යා ශ්‍රියාවිය පලඳන ලද මුතු මාලයක සිරිය සිහිපත් කෙරිණි. නාවල විවෘත විශ්වවිද්‍යාලය අසලින් වූ පටු පාර දිගේ ඇවිද ගිය මම වාහන හා මිනිසුන් ගැවසෙන මඟින් වෙන්ව හුදකලා මාවතකට ප්‍රවිශ්ට වීමි. ඒ හුදකලා මාවත අවසාන වූයේ ඒ කෝකිලයාගේත්, කෙවිලියගේත් සොඳුරු කැදැල්ලෙනි. මඳක් විවර වී තිබුණු සුවිසල් ගේට්ටුවෙන් මදක් එබී බැලූ මගේ දෙනෙතට හසු වූයේ දයාරත්න රණතුංගයන්ය. හිරු බැස යන සැඳෑව අතරේ කල්පනාවක ගිලී සිටි ඔහු දුටු මනතින් මගේ සිතට පිවිසියේ දයාරත්න රණතුංගයන්ම ගැයූ අපූරු ගීයකි.

'සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරාත්තුව ළයට තරුළු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා...'

එසැණෙන් සෙමෙන් සෙමෙන් පා නඟමින් ඔහු අසලට පැමිණියේ අමරා රණතුංගය. සිය අතේ වූ තේ කෝප්පය සැමියා අත තැබූ ඇය ඔහු අසලින්ම වූ හාන්සි පුටුවේ අසුන් ගත්තා ය. ඒ ඔහුගේ කල්පනාවේ කොටස්කාරියක වීමට මෙනි. එහෙත් මා එහි පිවිසියේ ඒ කල්පනාවට ඉඩක් නොතබාමය. හදවතේ නැගෙන සෙනෙහෙවන්ත බවෙන් මා පිළිගත් මේ දෙපළගේ මුවඟ රැඳුණේ සොඳුරු සිනහවකි. ඒ සිනහව අතරෙන්ම ඇය මා ඇමතුවේ සිතේ උපන් සැබෑ ළෙන්ගතු බවකිනි.

'නුවර ධර්මරාජ විද්‍යාලයීය ශාලවේ පැවැත්වීමට නියමිත 'උදුම්බරා' ප්‍රසංගය මේ මාසේ හතර වැනිදා සවස 6.00 ට ආරම්භ වෙනවා. 'උදුම්බරා' අරගෙන අපි මේ නුවරට යන්නේ අවුුරුදු 10 කට විතර පස්සේ. මේ ප්‍රසංගයේ තිබෙන විශේෂත්වය වෙන්නේ අපේ දරුවන් වගේම මුනුපුරන් සිව් දෙනාත් ගීත ගැයීමයි.'

'උදුම්බරා' ප්‍රසංගය ආරම්භ වන්නේ අසූව දශකයේය. උදුම්බරාට පෙර 'සාරංගා' නමින් ඇරැඹුණු ප්‍රසංගය ප්‍රසංග සියයක් වේදිකා ගතවීමත් සමඟ පැමිණි උදුම්බරා සී. ඩී. තැටිය ඔවුන්ගේ ප්‍රසංගයේ තවත් එක් හැරවුම් ලක්ෂයකි.

'උදුම්බරා සී. ඩී. පටයෙන් පස්සෙයි සාරංගා ප්‍රසංගය උදුම්බරා ලෙස නම් වෙන්නේ. එතැන් පටන් එහි තිබුණු ගීත ශ්‍රාවකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණා. ඔවුන් ඒ ගීතවලට කොයි තරම් ආදරය කළා ද කිව්වොත් ඒ තරමටම උදුම්බරා ප්‍රසංගයත් ජනප්‍රිය වුණා. මුල් කාලයේ මේ ප්‍රසංගවල ගීතවලට අත්වැල් ඇල්ලුවේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, මාලිනී බුලත්සිංහල, මායා දමයන්ති, නිර්මලා රණතුංග, මේරියන්ස් සුනීතා කියන අද ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින අයයි සිටියේ. ඒ වගේම ලෙකු පුතාත් අමරා සමඟ ගීත ගැයුවා. එතකොට එයාට අවුරුදු 8 යි. ඒ ගැයුවේ 'සෙන්පතියෝ' ගීතයයි.'

දයාරත්න රණතුංගයන්ගේ සිත අතීතය සොයා ගියේ මේ අතරය. ගුවන් විදුලියේ පර්යේෂණ හා සංගීත අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස අගනා සේවයක් කළ ඔහු රාගධාරී සංගීත ආශ්‍රයෙන් කළ ගීත ශ්‍රාවක හදවත් වැළඳ ගත්තේ කිසිදු දිනෙක නොමැකෙන ලෙසිනි. රාගධාරී සංගීතය ඇසුරු කළ 'සැන්දෑ අහසේ' ගීයත්, විප්‍රලම්භ ශෘංගාරය පිළිබඳ කියැවෙන 'දුරස්වන්නට' ගීතයත් දයාරත්න රණතුංගගේ මියුරු ස්වරයට අපූරු ලෙස ගැළපුණේය. මෙවැනි ගීත රැසක් රැගත් 'උදුම්බරා' ප්‍රසංගය පසුගිය කාලයේ මේ නිජ භූමියේ දකින්නට ලැබුණේ කලකට පසුවය.

'පසුගිය කාලයේ මව්බිමෙ මේ ප්‍රසංගය වැඩිිපුර අසන්නට දකින්නට නොලැබුණත් විදේශ රටලදී නම් ප්‍රසංගය දිගටම පැවැත් වුණා. පසුගිය දවසක කොළඹ අවටත් ප්‍රසංගයක් පැවැත්වුණා. ඒත් පසුගිය දවසක ධර්මරාජ ආදී බාලදක්ෂ සංගමය මඟින් අපට නුවරට එන්න ආරාධනා කළා. ඒ ආරාධනාව අපි සතුටු සිතින් පිළිගත්තා. මේ ප්‍රසංගයේදී අපි දෙදෙනාත් සමඟ පොඩි පුතාත්, පොඩි පුතාගේ පුත්තු දෙදෙනාත්, ලේලිත්, දුවත්, දුවගේ පුත්තු දෙදෙනාත් ගී ගයනවා. පවුලේම නව දෙනෙකු ගී ගයන මේ 'උදුම්බරා' ප්‍රසංගය පරම්පරා තුනක එකතුවක්.'

අමරා රණතුංගගේ මිහිරි ස්වරය ගලාගෙන යයි. ඇය සංගීත අංශයෙන් බිහිවුණු පළමු මහාචාර්යවරියයි. ගුරුවරියක ලෙස සිය දැනුම සැමට බෙදා දුන් ඇය විශ්‍රාමික සුවයෙන් කාලය ගත කළ ද, විශ්‍රාමික සුවයක් කෙසේ ලබන්නද? ඒ ශිෂ්‍ය, ශිෂ්‍යවන් තම අධ්‍යයන කටයුතු සඳහා ඇයවත්, ඇගේ සැමියාවත් සොයා පැමිණෙන බැවිනි. එමෙන්ම විශ්වවිද්‍යාලවලින් ද අධ්‍යයන කටයුතුවලට ඔවුන් වෙතට ළමුන් යොමු කෙරෙයි. ඇය සම්මානිත මහාචාර්යවරියකි. ඇගේ ලොකු පුතු පුලස්ති ඉන්දිකය. ඔහුගේ පුතු නිරෝෂන් රණතුංගය. ඔහු පදිංචිව සිටින්න් ඉතාලියේය. දෙවැන්නා නන්දිත සාරද ය. ඔහුග් බිරිය සධානා ය. ඇය වසන්තා සන්දනායක ගායන කෝකිලාවියගේ මිනිබිරියයි. ඔවුන්ට පුතුන් දෙදෙනෙකි. ඔවුන් ඕෂධ චමිත් හා ශෂික අරුණය. බඩපිස්සී කුමුදුමතී රූපශිකාය. ඇය නර්තන ගුරුවරියක් මෙන්ම සංගීත ගුරුවරියකි. ඇගේ පුතුන් දෙදෙනා ලකිඳු අබේසේකර හා නඳුල අබේසේකරය.

'මගේ කටහඬ ඒ ආකාරයෙන්ම පිහිටලා තියෙන්නේ ඕෂධ පුතාටයි. නන්දික පුතාගේ ලොකු පුතා වන ඔහුත් මේ ප්‍රසංගයේදී ගී ගයනවා. අනෙක් මුනුපුරන් තිදෙනාත් සංගීතයට බොහොම දක්ෂයි. තබ්ලා වයන්න, වයලීන් වයන්න, ගිටාරය වයන්න ඔවුන් බොහොම දක්ෂයෝ. ඉගෙන ගන්නත් ඔවුන් ඒ වගේම කැමැතියි. අපෙන් පස්සේ ඒ අය අපේ ගීත ඉදිරියට පවත්වාගෙන යාවි.'

දයාරත්න රණතුංගයන් අලුත් පරපුර ගැන කතා කරන්නේ සුබදායක හැඟීමෙනි. අමරා - දයා සංගීත පදනම සංගීත ආශ්‍රමයකි. ඔවුන්ගෙන් සංගීතය ඉගෙන ගැනීමට මෙහි පැමිණෙන්නන්ගෙන් සංගීත ආශ්‍රමය පිරී පවතියි. දයාරත්න රණතුංගයන් මියුරු ස්වරයෙන් ශ්‍රාවක සිත් සුවපත් කරන අතරම සංගීත චිකිත්සාව ද බොහෝ දෙනාව සුවපත් කරයි. ඒ අයුරෙන් සංගීතයෙන් මන පිනවන ඔවුන්ගේ හදවත ද සෙඳුරුය. සැබෑම සොඳුරුය.

'මේ 'උදුම්බරා' ප්‍රසංගයෙන් අපි බලාපොරොත්තු වන කරුණු කිහිපයක්ම තිබෙනවා. එකක් නම් මේ ගීත ගැයීමෙන් රසික ජනතාවගේ හදවත සුවපත් කිරීමයි. අනෙක් කරුණ නම් මේ ප්‍රසංගය වඩාත් වැදගත් වන්නේ පාසල් ළමුන්ටයි. ඒ ඔවුන්ගේ විෂය නිර්දේශවලට අපේ ගීතත් ඇතුළත් නිසා. ඒ ගීත රස විඳින්නට ඔවුන්ට එදිනට හැකි වේවි.'

අමරා පවසන්නේ එදිනට උදුම්බරා ප්‍රසංගයේ ගී රස විඳින්නට පැමිණෙන ශ්‍රාවකයන්ට සොඳුරු පැතුම් පිදීමට කලින්ම සූදානම් වෙමිනි. ඒ පැතුමට දයාරත්න රණතුංග ද හවුල් වෙයි. කවදත් හදවත සොඳුරු පැතුම්වලින් සපිරුණු මේ ආදර්ශවත් යුවළගෙන් සමුගන්නා මොහොතේ මට ඔවුන් ගැයූ අපූරු ගීතයක පද සිහිිපත් වූයේ නිතැතිනි.

'මහ රෑ යාමේ - මේ ඇල්හේනේ
තනියම ගී පද කියනු අසා
වෙහෙස දරාගෙන පාර අසාගෙන
ආවෙමි අඳුරෙම ඔබව සොයා . . .'