වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබට සුබ උපන් දිනයක් වේවා

The Living Legend

ඔබට සුබ උපන් දිනයක් වේවා

96

ලාංකික සිනමාව ලෝක සිනමාවේ ඉහළින්ම සනිටුහන් කරන ලද මහා සිනමාකරු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ ඉරිදා එනම් අප්‍රේල් මස 05 වැනිදා 96 වියට පා තබන්නේය. පසුගිය වසර 9 ඇතුළත ඔහු කිසිදු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ නැත. 90 වැනි වියේදී අම්මාවරුනේ චිත්‍රපටය නිර්මාණය කරන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගියේය. එහෙත් අදටත් ඔහු සිනමාව සම්බන්ධව බොහෝ තරුණයන්ට වඩා යාවත්කාලීන වෙයි. ලෝක සිනමාවේ එදිනෙදා සිදුවීම් ඔහුගේ නිරීක්ෂණයට හසු වෙයි. එපමණක් නොව චලන චිත්‍ර ඉතිහාසයේ සිදුවීම් සියල්ල එකින් එක අතීතාවර්ජනයක කිමිදෙන්නට ඔහුට දිගු වේලාවක් ගත වන්නේ ද නැත.

අප්‍රේල් 05 වැනි දින ලාංකික ඉතිහාසයේ සඳහන් වනුයේ 1971 කැරැල්ල වූ දවස හැටියටය. ජපනා කොළඹට බෝම්බ දැම්මේ ද එහෙව් දවසකය. එහෙත් මෙරට සිනමා රසිකයන්ගේ ආකල්ප වෙනස් කිරීමට කැරැල්ලක් ගැසූ, සම්ප්‍රදායික සිනමාවට එරෙහිව බෝම්බයක පිපිරවූ සිනමාවේදියා උපන්නේ ද අප්‍රේල් 05 වැනි දිනකය. තමා විසින් 1956 වසරේදී ඇති කරන ලද කැරැල්ලේ ප්‍රතිඵලය ලාංකික සිනමාව පුරා විසිර ගොස් ඇත්තේය. ආචාර්ය ලෙස්ටර්ගේ විප්ලවය ආකාර කිහිපයකින් ලාංකික සිනමාව අරබයා බලපෑවේය. ආකල්පමය බලපෑම මුළු මහත් සිනමාව කෙරෙහි පමණක් නොව සමාජය කරා පැතිර ගිය එකකි.

ශිල්පීය බලපෑම සමස්ත සිනමා කර්මාන්තය පුරාම විහිද ගිය එකකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මතක ආවර්ජනා ඇතුළත් කොට මවිසින් සංස්කරණය කරන ලද ආවර්ජනා කෘතියෙහි පසු කවරය සඳහා අපූරු කෙටි සටහනක් ලියා දුන්නේය. ‘සිංහල සිනමාවේ පීතෘවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඔහුට සහජාත අතිජාත පුත්‍රයෝ ගණනාවක් සිටිති. ඔවුනට ආචාර්ය ලෙස්ටර්ගෙන් ලැබුණු වාසගම පීරිස් නොව සිනමාවේදී යන්නය. පතිරාජ, වසන්ත, තිස්ස, ප්‍රසන්න, හඳගම, බූඩි, විමුක්ති ආදීහු ඒ අතර ප්‍රමුඛයෝ වෙති. මේ සෑම දරුවකුටම ලෙස්ටර් හොඳ උප්පැන්න සහතිකයක් බැගින් දී තිබේ. තිස්ස අබේසේකර ට්පධඹඪදඨ ඹඪබඩ ඹ්ඥඵබඥප කීවාක් මෙන් ලෙස්ටර් සමඟ අපේ සිනමාව වැඩුණේය. අපේ රසඥතාව වැඩුණේය. සිනමා විචාරය වැඩුණේය. කොටින්ම ලෙස්ටර් නිසා ලෝක සිනමා සිතියමේ අපේ පුංචි ශ්‍රී ලංකාව බැබළුණේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ ගැඹුරු විවරණයක් එහි ඇත්තේය. තිලකරත්න කුරුවිට බණ්ඩාර මේ සටහන ලියා ඇත්තේ 2009 වර්ෂයේය. මේ වන විට මෙකී දූ දරුවන්ගේ නාමාවලිය තවත් දීර්ඝව ඇත්තේය. ඔහු සිය මුල්ම වෘතාන්ත චිත්‍රපටය රේඛාව නැරැඹූ ප්‍රේක්ෂකයකුගේ මතය වූයේ එය නැරැඹූ සල්ලිවලින් කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් හොඳ වගය. ඒ 1956 වසෙර්ය. එතැන් පටන් ගෙවුණු වසර 54 ඇතුළත සිනමා ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය බහුල වශයෙන් වර්ධනය වූ බව නොරහසකි.

අද බොහෝ දෙනා හොඳ චිත්‍රපටයක් නැරැඹීම විලාසිතාවක් බවට පත් කරගෙන සිටිති. අදටත් මෙරට අධ්‍යක්ෂවරයකුගේ නමින් චිත්‍රපටයක් වෙළෙඳපොළට මුදා හැරිය හැකි ප්‍රධානම සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර්ය. වර්තමානයේ ලාංකික සිනමාවේ දිදුලන සෑම සිනමාකරුවකු පසුපස ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් පීතෘවරයාගේ සෙවනැල්ල වැටී ඇත්තේය. මෙයින් අදහස් කරනුයේ තරුණයන්ගේ සිනමාවේ ස්වාධීන ලක්ෂණ පල නොකිරීම යන පටු අර්ථය නොවේ. එහෙත් හොඳ සිනමාවට මෙරට දී වෙළෙඳපොළක් ඇති කිරීමටත්, වඩා හොඳ සිනමාව කවරේදැයි අවබෝධ කරක දීමටත්, ඔවුනට මඟ පෙන්වීමටත් ආචාර්ය ලෙස්ටර් වෙතින් සිදු වූ ඓතිහාසික මෙහෙවර විටෙක සිනමාකරුවකු ලෙස ඔහු විසින් නිර්මාණය කරන ලද අග්‍රගණ්‍ය සිනමා කෘතීන් පවා අභිබවා යන්නකි.

ලෝක සිනමාවේ දැනට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම සිනමාකරු පෘතුගාලයේ මැනුවෙල් ඩි ඔලිවේරාය. ඔහුගේ වයස දැන් අවුරුදු 106 කි. නිහඬ සිනමා යුගයේ සිට ඩිජිටල් සිනමා යුගය දක්වා චිත්‍රපට නිර්මාණය කරන ලද ලොව එකම සිනමාකරු ඔලිවේරාය. ඔහුගේ නවතම චිත්‍රපටය ද චර්ච් ඔෆ් ද ඩෙවිල් රූ ගැන්වනුයේ මේ දවස්වලය. එහෙත් ඔලිවේරා යනු පෘතුගාල සිනමාව නොවේ. පෘතුගාලය ආශ්‍රිත රටවල ඔලිවිවේරා විසින් තබන ලද අනන්‍යතා සලකුණක් නොවීය.

ආචාර්ය ලෙස්ටර් සිය මුල්ම කෙටි චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ 1949 වසරේදීය. ඒ සොලියුලොකි නමිනි. එය 1951 වසරේදී බ්‍රිතාන්‍යයේදී සම්මාන දිනා ගන්නා ලදී. 1956 දක්වාම ඔහු තනනුයේ වාර්තා හා කෙටි චිත්‍රපටයන්ය. ජීවිතයේ ගැඹුර විනිවිද දකින්නට මෙන්ම ඇසට නොපෙනෙන ලෝකය කැමරාවේ තෙවැනි ඇසින් විනිවිද දකින්නට ආචාර්ය ලෙස්ටර් පුරුදු පුහුණු වූයේ වාර්තා හා කෙටි චිත්‍රපට නිර්මාණයෙන් ලත් ශික්ෂණයෙන්මය.

රේඛාව නිර්මාණය කරන සමය වනවිට මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තනා වසර 9 ක් ගත වුව ද මේ එකදු චිත්‍රපටයක්වත් සිනමා භාෂාවෙන් පොහොසත් වූ ඒවා නොවේ. ඇතැම් චිත්‍රපටයක් එහි අන්තර්ගතය මත විචාරක අවධානයට පාත්‍ර වුව ද රූපයෙන් කතා කීමේ කලාව එහි නොවීය. එපමණක් නොව මෙරට සිනමා විචාරකයන් පවා අනුදක්නා ලද්දේ අන්තර්ගතය පිළිබඳ කතිකාවක පමණි. එහෙත් සිනමාව යනු එයටම ආවේණික වෙසෙස් බස් වහරකින් යුක්තය. භාෂාව යනු චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අන්තිමට අවශ්‍ය දෙය බැව් සිංහලෙන් පහදා දෙන්නට සිදු වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ටය. සිනමාකරුවකු චිත්‍රපට නිපද වනුයේ සිංහලෙන්, දෙමළෙන් හෝ නොව සිනමාවේ රූප භාෂාවෙන් බැව් ඔහු කියා සිටියේය. ඔහුගේ සිනමාව ලෝකයේ බොහෝ රටල් හඳුනන්නේ රූපයෙන් කතා කළ බැවිනි. ඔහු විසින් වස්තු විෂය කොට ගන්නට වඩා ලොල් වූ ජීවිතයේ අඳුර විනිවිද යන චරිත ලෝකය හඳුනා ගත්තේ එහෙයිනි.

ආචාර්ය ලෙස්ටර් මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව රූප ගත කරන්නට සූදානම් වෙද්දී එයින් චිත්‍රපටයක් කළ හැකි වෙතැයි වික්‍රමසිංහයන්ට සිතුණේ නැත. ඔහු සිනමාවට උචිත කතාවක් ලෙස තෝරා දුන්නේ රෝහිණීය. ගම්පෙරළිය යනු විශිෂ්ට සිනමා කෘතියකට පාදක කොට ගත හැකි නවකතාවක් ලෙස විශ්වාස නොකරන මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් යනු අපේ පුරෝගාමී සිනමා විචාරකයන්ගෙන් කෙනෙකි. එපමණක් නොව අශෝකමාලා නිර්දය ලෙස විවේචනයට ලක් කරන එක් සිනමා විචාරකයකු වන්නේ ද ඔහුය. අශෝකමාලා සහ කඩවුණ පොරොන්දුව හා සසඳද්දී වඩා සිනමා ලක්ෂණ පෙන්වන ලද චිත්‍රපටයකි.

ලාංකික සිනමාව මඟින් බිහි කරන ලද අග්‍රගණ්‍ය සිනමා කෘතිය සේ සැලකෙන නිධානය, දෙලොවක් අතර හැටේ දශකයේ ලෝකයේ බොහෝ රටවල විශිෂ්ට සිනමා කෘතීන් අතර අත්පත් කර ගන්නා ස්ථානය මැන ගත යුත්තේ ඒ ඒ චිත්‍රපට ලබා ගත් ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව හා සැසඳීමෙන් නොවේ. ඒ වර්ෂයන්ගේ ලෝකයේ බිහි වූ චිත්‍රපට හා සැසඳීමේදීය. ජීවිත හා සමාජ විවරණයෙන් ආචාර්ය ලෙස්ටර් විසින් ගොඩ නංවන ලද පරිණත බව ඒ වන විට ලොව ජීවත් වූ මහා සිනමාකරුවන් හා සම තැන් අසුන් ගන්වයි. එක් අතකින් අද මෙන් සිනමාව ලෝකය වටා හඹා යන්නට, ජාත්‍යන්තර සිනමා උත්සව කරා ගෙන යන්නට ඒ යුගයේ අවස්ථාවන් නොවීය. සැබැවින්ම එය දුෂ්කර කාර්යයක් විය. එංගලන්තයේදී සිනමාකරණය පිළිබඳ අත් පොත් තබන ලද්දේ නමුදු ආචාර්ය ලෙස්ටර් රේඛාව ජාත්‍යන්තර සිනමා උත්සව කරා ගෙන යනුයේ මාරි සිට්න් නම් සුප්‍රකට සිනමා විචාරිකාව අහම්බෙන් ශ්‍රී ලංකාවේදී එය දුටු නිසාය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් උපත ලබනුයේ 1919 වර්ෂයේය. පළමු ලෝක මහා සංග්‍රාමය නිමා වී ලෝකය යම් ආකාරයකට පරිවර්තනය වන යුගයක් ලෙස එම යුගය ඉතිහාසයට එක් වෙයි. බටහිර වෛද්‍යවරයකු වූ ඔහුගේ පියා තම පුතු හට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනුයේ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් කරමිනි. ක්‍රිකට් ක්‍රීඩකයකු හෝ පුවත්පත් කලාවේදියකු වීම යන ඉලක්කයන් බැහැර කරන ආචාර්ය ලෙස්ටර් ජීවිතයට වඩා හොඳින් කතා කළ හැකි භාෂාව සිනමා රූපය බව වටහා ගනියි. අග්නිදිග ආසියාවේ පැරැණිතම සිනමා සමාජයක් වන කොළඹ සිනමා සමාජය ඉංග්‍රීසි උගත් තරුණයන්ගේ සිතුවිලි වෙනස් කළ සාධකයක් විය. පසු කලෙක ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වන තම බාල සොහොයුරු අයිවන් පීරිස්, ආචාර්ය ලෙස්ටර්ගේ ජීවිත කතාව වෙනස් කරනු ලබන එක් පුද්ගලයකු වෙයි. අයිවන් පීරිස්ගේ තනියට එංගලන්තයට යන ඔහු ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවකු වෙයි. අද මෙන් හෑන්ඩ් ෆෝන් මඟින් චිත්‍රපට ඡායාරූපයක්වත් නොගන්නා කාලයක නොදන්න ලන්ඩනයේ සිට කෙටි චිත්‍රපටයක් තනන්නට වෑයම කිරීම හිතා බැලිය යුතු හපන්කමකි.

දෛවය නම් එම කෙටි චිත්‍රපටය හරහා තම උපන් රටේ සිනමාව වෙනස් කරලීමට මඟ පෑදීමයි. සෙලියුලොකි සිට ඔහු කෙටි හා වාර්තා චිත්‍රපට 12 ක් නිර්මාණය කරන ලදී. රේඛාවේ සිට අම්මාවරුනේ දක්වා ගෙවුණේ පනස් වසරකි. එම වසර පනහ ඇතුළත ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව 19 කි. එනම් රේඛාව, සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑස නිසා, ද ගෝඩ් කිං, මඩොල් දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ මෙම චිත්‍රපට 19 ට අයත්ය. සාපේක්ෂව ගත් කළ වසර 50 ක් ඇතුළත නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට 19 ක් නම් එය නිර්මාණකරුවාගේ කාලය අපතේ යැවීමක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. අවාසනාව නම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට එසේ කරන්නට සිදුවීමය. කවර කෙලෙස බුහුමන් දැක් වුව ද නිර්මාණකරුවකුට තමන්ගේ නිර්මාණය එළි දැක්වීමට ඉඩ සැලැස්වීම විනා අන් කවර හෝ බුහුමනක් හෝ වැදගත් නොවේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ට සිය වෘතාන්ත සිනමා දිවියේ වසර 50 ක් ඇතුළත නිර්මාණය කරන්නට ලැබෙන්නේ චිත්‍රපට 19 කි. එහෙත් ඇතැමුන් වසරක් ඇතුළත චිත්‍රපට කවර සංඛ්‍යාවක් තනා ගිනස් වාර්තා තැබුව ද ආචාර්ය ලෙස්ටර් තැනූ එක් චිත්‍රපටයක රූප රාමුවක තරම්වත් සර්වකාලීන වටිනාකමක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආචාර්ය ලෙස්ටර් රේඛාව නිර්මාණයෙහිලා අත අරින්නේ අති විශාල වටිනාකමක් යුතු රැකියාවකි. අද මෙන් නොව එකල රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ධුරයක් දෙවෙනි වනුයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයට පමණි. ඔහු රේඛාව තනන්නට අතහැර දමන්නේ ඒ හා සමාන වරප්‍රසාද සහිත තනතුරකි. එය බැහැර කිරීම කරන්නට තරම් සිත හදා ගන්නට එබඳු වරප්‍රසාද සහිත ජීවිකාවකදී කළ හැක්කේ කවරෙකුටද?

එය එක්තරා අභියෝගයක් වැන්නකි. එකම කරුණ රේඛාව තනන්නට ඉදිරිපත් වූ සිනෙ ලංකා සමාගම වත් පොහොසත්කමක් ඇති සමාගමක් වීමය. එහෙත් රේඛාව වාණිජමය වශයෙන් අසාර්ථක වීම සමාගමේ පමණක් නොව ආචාර්ය ලෙස්ටර්ගේ ඉදිරියට ද බලපෑවේය. ඇත්ත නම් සංදේශය චිත්‍රපටය සඳහා සිනමාස් සමාගම පොළඹවාලනුයේ සුප්‍රකට ඉන්දීය සිනමාකරු රාජ් කපූර්ය. රේඛාව තහනම් කළ යුතු යැයි එවකට අධ්‍යාපන ඇමැතිවරයා පවා ප්‍රකාශ කරද්දී එහි අගය මුලින් වටහා ගත්තේ විදේශිකයන්ය. නැතහොත් රූපයේ කතා කියන්නන්ය. සංදේශය වාණිජමය වශයෙන් අති සාර්ථක වූයේය. එහෙත් සිනමාස් සමාගම යළි කිසි කලෙක ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් ආයෝජනය කළේ නැත. සිලෝන් ස්ටුඩියෝස් සමාගම ගොළු හදවත අති සාර්ථකත්වයක් බලාපොරොත්තු වූවක් නොවීය. එහෙත් එය බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් වීය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක්ම නිපදවීම ඉදිරිපත් වීමය. ලෝකයේ බොහෝ විශිෂ්ට සිනමාකරුවන් අභිමුඛව එකල නිරන්තරයෙන් පැවති ගැටළුව වනුයේ තම රටේදී ආයෝජකයන් සොයා ගැනීමේ අභියෝගයයි. කුරොසාවා, තර්කොව්ස්කි, බර්ග්මාන් ආදී මහා සිනමාකරුවන් සියළු දෙනාම මේ ඉරණමට මුහුණ පෑහ. එහි තවත් පාර්ශ්වකරුවකු වන ආචාර්ය ලෙස්ටර්ගේ වෘතාන්ත සිනමා දිවිය පුරා නිරීක්ෂණය කරන්නට ලැබෙනුයේ චිත්‍රපට 19 ක් වැනි සංඛ්‍යාවක් වනුයේ එබැවිනි. දෙවැනි රාජසිංහ, විරාගය, අඹ යහළුවෝ, රොබට් නොක්ස් වැනි චිත්‍රපට රාශියක්ම නිර්මාණය නොවී උපන් ගෙයිම මිය ගියේ එබැවිනි. ඒ චිත්‍රපට සියල්ල තැනුනා නම් ආචාර්ය ලෙස්ටර්ගේ චිත්‍රපට නාමාවලිය දීර්ඝ වනවා පමණක් නොව අපේ විශිෂ්ට චිත්‍රපට නාමාවලිය ද ඒ හා සමානව පුළුල් වන්නේය.

ඔහු මෙන්ම සංසාරික සහකාරිය වන සුමිත්‍රා පීරිස් මැතිනිය ද සිනමාවෙන් උපයා ගත්තේ ධනය නොව කීර්තිය පමණි. ඒ කීර්තිය කිසිදු ධනයකට සම කළ නොහැකිය. ලෝක සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත ඇති ගෞරවය බොහෝ රට රටවලින් ඔහු ලද ගෞරවයන්ගෙන් ඉස්මතු වෙයි. ප්‍රංශය කෙනෙකුට පිරිනමන ඉහළම ගෞරවය තිළිණ කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර්ටය.

පසුගිය වසර ගණනාව මුළුල්ලේ ලාංකික සිනමාවේ හැඩතල වෙනස් කිරීමේ යෙදුණ තරුණයන් රාශියකි. මේ හැඩ තල හා එහි වටිනාකම අවබෝධ කර ගැනීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ට හැකි විය. ඔහු ඊළඟ පරම්පරාවේ මාර්ගෝපදේශකයා වූයේ එබැවිනි. එය ලොව බොහෝ රටවල මහා සිනමාකරුවන් අභිබවා ගිය ගුණයක් විය. එබැවින් අන් සියළු රටවලම මහා සිනමාකරුනට වඩා තමන්ගේ දේශයේ අලුත් පරම්පරාවේ ගෞරවය නිතැතින් හිමි වනුයේ ඔහුටය.

ස්වකීය සිනමා ජීවිතයෙන් ස්වයං විශ්‍රාමයක් ලැබුව ද අද පවා සිනමාව වෙනුවෙන් ඔහුගේ හඬ මතු වෙයි. ලෝකයේ සිනමාව ඩිජිටල් වන බවත් දළ සේයා පටලයේ චලන චිත්‍ර තනන අවසාන පරම්පරාව තමන් වැන්නන් බවත් ආචාර්ය ලෙස්ටර් අනාගත වාක්‍යයක් කියා පෑවේ වසර දහයකට කලිනි. චිත්‍රපට සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ඔහු කියා පාන්නේ පනහ දශකයේ අග භාගයේදීය. එහෙත් මේ තුන්කල් බලන ඥානයෙන් ප්‍රයෝජන ගන්නට බොහෝ දෙනා අසමත් වූහ. ඔහුගේ මුළු ජීවිතයම සිනමාවය. මහා සිනමාවේදියාගේ 96 වැනි ජන්ම දිනය සරසවිය සමරනුයේ මහත් ගෞරවයෙනි.

අපේ සිනමාව පමණක් නොව සිනමාව පිළිබඳ අපේ සිතුවිලි ද වෙනස් කළ ගුරුවරයා ද, පූර්වාචාර්යවරයා ද පමණක් නොව මහා විප්ලවයේ කැරැළිකරුවා ද වන ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.