වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




නාර්ගිස් - සුනිල් දත් මුණ ගැස්වූයේ රේඩියෝ සිලෝන් ආයතනයයි

නාර්ගිස් - සුනිල් දත් මුණ ගැස්වූයේ රේඩියෝ සිලෝන් ආයතනයයි
 

නාර්ගිස්, සුනිල්, සංජේ, ජද්දන්බායි එක පවුලේ නෑදෑයෝ
 

සුනිල් දත්, සන්ජේ දත් පිය පුතු ගැන පැවසූ සැණින් හින්දි සිනමාවේ පවුල් ගස් සොයා යද්දී අපට හමු වන්නේ 'දත්' පවුලයි.

සංගීත ක්ෂේත්‍රය, රංගන ක්ෂේත්‍රය ඇතුළුව කලා ක්ෂේත්‍ර කිහිපයකම එම පවුලේ සාමාජිකයෝ සිය ප්‍රතිභාව පෙන්වති. 1930 දශකයේ සිට මේ දක්වාම ඔවුන්ගේ එම දායකත්වය බොලිවුඩ් සිනමාව කෙරෙහි කැප වී ඇත.

දත් පවුලේ සිනමාවට සම්බන්ධවීමේ පුරෝගාමියා වන්නේ ජද්දන්බායිය. ඇය ඉස්ලාම් භක්තික ගායිකාවක, නිළියක මෙන්ම අධ්‍යක්ෂවරියක ද වන්නීය. 1892 වසරේ පන්ජාබයේ ජදන්බායි උපත ලැබුවාය. ඇයට වයස අවුරුදු පහ ලබනවා සමඟම සිදුවන පියාගේ වියෝව හේතුවෙන් ඇයහට නගරයට පැමිණීමට සිදු විය. ඉන් පසුව ඇය සංගීත ක්ෂේත්‍රයට යොමු වූවාය. ඇයට සංගීත අංශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. ඇය විසින් ගයන ලද ගසල් ගීත ඒ අතර ප්‍රමුඛ විය. 1933 වසරේදී ජද්දන්බායි රංගනයට ද පිවිසියාය. Prem Pariksha, Seva Sadan  චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වූවාය. අනතුරුව ඇය ඇයගේම චිත්‍රපට ආයතනයක් ආරම්භ කළාය. එය සංගීත් ෆිල්ම්ස් නම් විය.

1935 දී සංගීත් ෆිල්ම්ස් Talashe Haq  චිත්‍රපටය නිෂ්පාදනය කළේය. ජදන්බායි එහි සංගීත අධ්‍යක්ෂණය කරමින් රංගනයෙන් ද දායක වූවාය. සී. එම්. ලහුර් එය අධ්‍යක්ෂණය කළේය. මෙම චිත්‍රපටයෙන් ජද්දන්බායි සිය දියණිය වූ නාර්ගිස් තිරයට හඳුන්වා දුන්නාය. එවිට ඇයගේ වයස අවුරුදු හයක් විය. නාර්ගිස් යනු හින්දි සිනමාවේ මෙතෙක් බිහි වූ රංගන ශිල්පිනියන් අතරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියක ලෙස සැළකේ. උපතේදී ඇයගේ නම ෆාතිමා ඒ රෂීඩ් විය. 1940 සිට 1950 දක්වා කාලය ඇයගේ රංගන දිවයේ ස්වර්ණමය යුගය විය. Barsaat (1949) Andaz (1949), Awaara (1951), Deedar (1951), Shree 420 (1955), Chori Chori (1956) චිත්‍රපටවල ඇයගේ රංගනයන් පැසසුමට ලක් විය.

1957 වසරේදී නාර්ගිස්  Mother India චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. එය ඇය ලද ප්‍රථම සහ එකම ෆිල්ම් ෆෙයාර් සම්මානය ද විය.  Mother India චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලකට ද හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස නිර්දේශ විය. එහිදී නාර්ගිස් සමඟින් රාජේන්ද්‍ර කුමාර් සහ සුනිල් දත් රංගනයෙන් දායක වූහ. එහිදී ඇති වූ හිතවත්කමින් නාර්ගිස් සහ සුනිල් දත් අතර විවාහය සිදු විය. ඊට පෙර සුනිල් හට නාර්ගිස් හමු වන්නේ ඔහු රේඩියෝ සිලෝන් හි සේවය කරමින් සිටියදීය. බර්සාත් චිත්‍රපටයේ මංගල දර්ශනය ආවරණය කිරීමට රේඩියෝ සිලෝන් වෙනුවෙන් බොම්බායේ මෙට්‍රෝ සිනමා ශාලාවට ගිය අවස්ථාවේදී සුනිල් දත් හට නාර්ගිස් මුණ ගැසිණි.

නාර්ගිස් සහ සුනිල් දත් අතර විවාහය 1958 වසරේ මාර්තු 11 වැනිදා සිදු විය. වර්තමාන හින්දි සිනමාවේ ජනප්‍රිය නළු සන්ජේ දත් නාර්ගිස් - සුනිල් යුවළගේ වැඩිමහල් පුතුය. නම්රතා සහ ප්‍රියා දියණියන්ය. 1958 වසරේදී නාර්ගිස් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය. රංගන ශිල්පිනියක එම සම්මානය ලද ප්‍රථම අවස්ථාව එය විය. ඇය 1980 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ සභා මන්ත්‍රීවරියක ලෙස ද පත් කෙරිණි.

බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වන අන්වර් හුසේන් ජද්දන්බායිගේ පුත්‍රයෙකි. ඔහු ජනප්‍රිය චරිතාංග නළුවෙකු වන අතර බොලිවුඩ් සිනමා නිර්මාණ එකසිය විස්සකට පමණ රංගනයෙන් දායක වූවේය.  Gunga Jumna (1962) සහ Rocky (1981) චිත්‍රපටවල ඔහුගේ රංගනය කාගේත් කතාබහට ලක් විය.

නාර්ගිස්ගේ අත ගත් සුනිල් දත් නළුවෙකු මෙන්ම නිෂ්පාදකවරයෙක් හා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ඉන්දීය සිනමාවට දායක වූයේය. 2004 - 2005 අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ රජයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරය ද ඔහු විසින් හෙබවීය. ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවය වූ රේඩියෝ සිලෝන් හි හින්දි සේවයේ ඔහු ජනප්‍රිය නිවේදකයකු විය. 1955 වසරේදී Railway Platform  චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ සුනිල් දත් හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වූයේය. Sadhna, Sujata, Mujhe Jeene Do, Khandan වැනි චිත්‍රපට ඔහු සිය රංගනයෙන් ඔපවත් කළේය. 1971 වසරේදී ඔහු Resham Aur Shera  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළේය. අධික පිරිවැයක් දරා එය නිර්මාණය කළ ද ආදායම් වාර්තා අතර සාර්ථක වන්නට එයට නොහැකි විය.

සුනිල් - නාර්ගිස් පුතු සන්ජේ දත් 1981 වසරේදී Rocky චිත්‍රපටයෙන් සිය වෘත්තීය රංගන ජීවිතය ආරම්භ කළේය. සන්ජේගේ රංගනය දකින්නට නාර්ගිස් වාසනාවන්ත නොවුයේ මංගල දර්ශනයට තෙදිනකට පෙර පිළිකාවක් නිසා ජීවිතයෙන් සමුගන්නට සිදු වීමෙනි. එහෙත් Rocky මංගල දර්ශනය දා සිනමාහලේ ආසනයක් තම මව වෙනුවෙන් වෙන් කරන්නට සන්ජේ අමතක නොකළේය.

සන්ජේ ගේ පළමු බිරිය රීචා ශර්මා 1996 වසරේදී පිළිකාවකින් මිය ගියාය. සන්ජේ - රීචා යුවළට ත්‍රිෂාලා නම් දියණියක සිටියි. ඇය මේ වන විට තම මවගේ ඥාතීන් සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන්නීය. ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානු පුරවැසියකු වූ රීචා ශර්මා ද බොලිවුඩ් රංගන ශිල්පිනියකි. Hum Naujawan, Anubhav වැනි සිනමාපට කිහිපයකට ඇය රංගනයෙන් දායක වූවාය. රිහා පිල්ලේ සන්ජේගේ දෙවැනි විවාහයේ බිරිඳයි. ඇය නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන්නිය. සන්ජේ - රිහා සබඳතාවය 2005 වසරේදී බිඳී ගියේය. 2008 වසරේදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක සමඟින් ඔහු විවාහ ගිවිස ගත්තේය. ඇය මන්යාතා සිං ය. සන්ජේ - මන්යාතා යුවළට ශර්හාන් සහ ඉක්රා නම් නිවුන් පුතෙකු සහ දියණියක සිටියි.

1993 වසරේදී බොම්බායේ සිදු වූ බෝම්බ පිපිරීමේ සිදුවීම් සම්බන්ධව සන්ජේ හට චෝදනා එල්ල විය. එයට වරදකරු වීම නිසා ඔහුට වසර ගණනාවක සිර දඬුවමක් නියම විය. Rocky චිත්‍රපටයෙන් ජනතාව හඳුනා ගත්ත ද සන්ජේගේ රංගන දිවිය ආරම්භ වන්නේ ළමා රංගන ශිල්පියෙකු ලෙසිනි. ඒ සුනිල් දත් නිෂ්පාදනය කළ Reshma Aur Shera චිත්‍රපටයෙනි.

ප්‍රියා දත් සුනිල් - නාර්ගිස්ගේ දියණියකි. සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක වන ඇය සිනමාවට පිවිසියේ නැතත් පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසියාය. ඒ ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයෙනි. අනෙක් දියණිය නර්මදා විවාහ වූයේ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු වන රාජේන්ද්‍ර කුමාර්ගේ පුත්‍රයා වූ කුමාර් ගව්රවි සමඟිනි. Love Story, Teri Kasam, Naam Indrajeet, සහ Kaante වැනි සාර්ථක සිනමා නිර්මාණ සඳහා ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නේය.

සහීදා හුසේන් නාර්ගිස්ගේ ඥාති ලේලියක වේ. 1970 දශකයේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වූ ඇය Knokhi Raat (1968), Sanjeev Kumar, Gambler (1971), Prem Pujari(1970) චිත්‍රපට සඳහා දායක වූවාය. නිලේෂ් ෂායි සහිදාගේ පුත්‍රයායි. ඔහු ගනේෂ් ආචාර්යගේ Angel චිත්‍රපටයේ ප්‍රධාන චරිය නිරූපණය කළේය.