වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




පළාතේ පුරුද්දට වචන පැටලිලා

පළාතේ පුරුද්දට වචන පැටලිලා

- ප්‍රියලාල්

ඉස්සරහට යන්න ටෙලිය හරහා ප්‍රේක්ෂක සිත් දිනාගත් ප්‍රියලාල් කරුණාරත්න රංගන ශිල්පියා ඔහු ආ ගමන් මඟ ගැන කිව්වේ මෙවන් කතාවක්.

‘සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්’ ගීය ගායනා කරමින් තමයි මම රංගනයට ප්‍රවේශ වුණේ.

වසර 18ක් පුරා කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙකු ලෙස ජනතා ආදරයට පාත්‍ර වූ ප්‍රියලාල් කරුණාරත්න කලාකරුවා කතාවට ප්‍රවේශයක් දෙමින් කියා සිටියා.

* ප්‍රියලාල් අපේ කතාබහ රංගනයට පිවිසි ආකාරය පහදා දෙමින්ම අරඹමු?

මම වැඩ කළේ ටෙලිකොම් ආයතනයේ බදුල්ල කාර්යාලයේ. 1997 වර්ෂයේ දි මම දැක්කා සරසවිය පුවත්පතේ පළ වී තිබුණා රංගනය පිළිබඳ වැඩමුළු සඳහා පිරිස බදවා ගන්නවා කියා තිබෙන දැන්වීම. ඒ වැඩමුළුව පැවැත්වුවේ ලුම්බිණි විද්‍යාලයේදී. ඒ අනුව මම රංගනය හදාරන්න සෑම සෙනසුරාදාවකම කොළඹ එනවා. මේ වැඩ මුළුවෙදි අපට රංගනය පිළිබඳ කියාදෙන්න පතිරාජ එල්. එස්. දයානන්ද මහතාත් එනවා. එතුමා තමයි මට පළමුවෙන්ම රඟපාන්න අවස්ථාව උදාකර දුන්නේ.

* පළමු ටෙලියෙ නම හා ඔබට රඟපාන්න තිබුණෙ කුමක්ද?

ටෙලිය තමා හොටෙල් ඩී කලබල මට රඟපාන්න තිබුණෙ සිංදු කියන කෙනෙකු ලෙස මම කියපු සිංදුව තමයි එච්.ආර්.ජෝතිපාලයන් ගායනා කළ සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන් දැන් කියන ගීතය.

* ප්‍රියලාල් එලෙස රංගනයට පිවිසි ඔබ අදවන විට රඟපා ඇති ටෙලි හා චිත්‍රපට ගැන කියමු?

මගෙ පළමු චිත්‍රපටය තමා රාජ්‍ය සේවය පිණිසයි, මෙහිදි මට රඟපාන්න තිබුණෙ ජෝ අබේවික්‍රම මහතා සමඟ. ඒ චිත්‍රපටයේ මම රඟපාන්නේ දුරකථන කාරමික ශිල්පියෙකු ලෙස. කතාවේ හැටියට ජො අබේවික්‍රම මහතාගෙ නිවසට දුරකථනයක් සවිකරනවා. මට කියන්න තිබුණෙ ‘දැන් හරි සර් ටෙලිෆොන් එක වැඩ කරනවද බලන්න’. මේ චිත්‍රපටයට අවස්ථාව උදා වුණේ සම්මුඛ පරීක්ෂණයකින්. ඉන් අනතුරුව හායි බේබි හායි, විෂ්ම රාත්‍රිය, නොම්බර එකේ චණ්ඩියා. ටෙලි තමයි ඉන්ගම්මාරුව, අන්දරවැට, දාමිණී, ඉස්සරහට යන්න.

* ඔබේ සිත්ගත් චරිතය හා ප්‍රේක්ෂකයන් අතර ආදරයට පාත්‍ර වූ චරිතය ලැබුණෙ චිත්‍ර පටයකද ටෙලියකද?

වඩාත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණෙ ඉස්සරහට යන්න ටෙලියෙන්. මම වඩාත්ම කැමැති චරිතය වුණෙත් ඒක. මම හැමදාම බස්රථයේ යන මගියෙක් ලෙස තමයි රඟපාන්න තිබුණේ.

* ඔබ ආ ගමන් මගේ අමතක නොවන සිදුවීම වුණේ?

ඒත් ඉස්සරහට යන්න ටෙලියේ දි තමයි. අපි නුවර අය. මගෙ ගම්පළාත කඩුගන්නාව මුදලිවත්තේ. පළාතේ අය කොහෙහරි යනකොට කියන්නේ ගිහින් එන්නම් කියලා. එදා මට කියන්න තිබුණේ බස් එක පරක්කුයි අපිට යන්නත් පරක්කුවෙනව කියලා. ඒත් මට කියවෙන්නෙම අපිට ගිහින් එන්නත් පරක්කු වෙනවා කියලා. කිහිපවිටක් අරන්තමයි මේක නිවැරදි කරගත්තේ.

* ප්‍රියලාල් ඔබ ආ ගමනේ ඔබට අතදුන් අය බොහෝ ඇති, මෙය අවස්ථාවක් කරගන්නට හැකියි ඔවුන්ට ස්තූති කරන්නට?

පතිරාජ එල්.එස් දයානන්ද, උදයකාන්ත වර්ණසුරිය, සුනිල් සෝම පීරිස්, ලාල් ප්‍රියදේව, නලින් මාපිටිය යන මහත්වරුන්ට හා නොයෙක් අයුරින් මා දිරිමත් කළ සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාව කර ගන්නවා.

* ඉතින් මේ දවස්වල මොකද කරන්නේ?

විදේශයන්හී පෙන්වීම සඳහා කෙටි චිත්‍රපටයක් හදනවා. මෙහි ලොකේෂන් හොයාදීම හා රංගනයෙන් මා දායක වී සිටිනවා.

* ඔබේ අනාගත බලාපොරොත්තුව?

ප්‍රේක්ෂකයන්ට හොඳ පණිවුඩයක් දිය හැකි ටෙලියකට හෝ චිත්‍රපටයක හොඳ චරිතයක් රඟපාන්න.