වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




හමේ සුද නැති වෙච්ච ගමන් එයාලා ඩවුන්

හමේ සුද නැති වෙච්ච ගමන් එයාලා ඩවුන්

බදුල්ලෙන් කලා ලොවට පෑයූ යොවුන් තාරකාව අමාවි ධනන්සූරිය

ඇය චරිතාංග නිළියක වන්නට පෙරුම් පුරන්නීය. එමෙන්ම කවදා හෝ හොඳම නිළිය වන බව ඈ පවසන්නේ මහත් බලාපොරොත්තුවකින්ය. අමාවි ධනන්සූරිය නම් ඇය තමා පිළිබඳ මෙසේ හඳුන්වා දෙන්නීය.

* ඔබේ නම මා කලින් සඳහන් කළා. ඒ හින්දා ඔබේ අනෙකුත් පුද්ගලික විස්තර සඳහන් කරමු?

මගේ ගම බදුල්ල. බදුල්ල විශාකා සහ නුවර මහමායා විද්‍යාලවලින් අධ්‍යාපනය හැදෑරුවා. පවුලේ විස්තර කියනවා නම් මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි මල්ලියි.

* අමාගේ වත්මන් පදිංචිය?

කලාවේ නියැලෙන්න පහසු නිසා ගමෙන් කොළඹ ඇවිත් බත්තරමුල්ලේ පදිංචි වුණා.

* ඔබ කලාවට එන්නේ බොහොම පොඩි කාලෙදි. ඒ ගැන මතකය ආවර්ජනය කරමු?

මට අවුරුදු අටක් නවයක් වෙද්දී මං ඌව ප්‍රජා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා හිටියා. ඊට පසුව ඒ මාර්ගයෙන් මං ජාතික ගුවන් විදුලියට එනවා. එතෙන්දි කරුණාරත්න අමරසිංහ කියන මහත්මයාව මුණ ගසුණා. ඔහු මට නිවේදිකාවක විදිහට ඉදිරියට යන්න උදව් කළා.

* ඒ කාලයේදීම ඔබ නිරූපිකාවක් ද වෙනවා?

මට ගුවන් විදුලියෙන් ස්වාධීන රූපාවාහිනියට එන්න අවස්ථාව උදා වුණා. ඒ කාලයේදීමයි මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගන්නේ.

* එතකොට ඔබ රඟපාන්න එන්නේ?

ජයලාල් රෝහණ මහත්මයයි මාව රඟපාන්න ගන්නේ. ඒ එතුමාගේ ලීටා කියන වේදිකා නාට්‍ය හරහා. මහේන්ද්‍ර පෙරේරාගේ එස්. එස්. එල්. හිස් තැනක් තමයි මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය.

* ඊට පසුව?

සුළඟ මත මොහොතක්, සිහින වියන්, ගජමුතුයාය, මෙහෙමත් සමයං වගේ නාට්‍යවල රඟපෑවා.

* අද වන විට ඔබ නිළියක්. කෝ ඔබ තුළ සිටි නිවේදිකාව?

මං කාලයක් සී. එස්. එන්. නාළිකාවේ නිවේදන කටයුතු කළා. නමුත් අද වන විට මං නිළියක් හැටියට තමයි ඉදිරියට යන්නේ.

* මට පේන්නේ ඔබට ජනප්‍රියත්වය අවශ්‍ය වෙලා වගෙයි?

නිළියක් විදිහට ඉදිරියට යන්න ආසයි කියපු නිසා ද ඔබ ඔහොම කිව්වේ?

* ඔව්.

නිළියක් වුණාම ජනප්‍රියත්වය වැඩි වෙනවා තමයි.

* ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා නිවේදිකාවකට වඩා නිළියක් ජනප්‍රියයි කියලා?

ඔව්. මං ඒක විශ්වාස කරනවා. නිවේදිකාවක් වුණාම එක්තරා ප්‍රේක්ෂකයන් ප්‍රමාණයකට පමණයි ආමන්ත්‍රණය කරන්න පුළුවන්. නමුත් නිළියක් එහෙම නැහැ. ගොඩක් ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න පුළුවන් නිළියක් වුණාම.

* ඒත් ඔබට පසුව ක්ෂේත්‍රයට පැමිණි අය ඔබට වඩා ජනප්‍රියයිනේ. කොහොමද එහෙම වුණේ?

මං හිතන්නේ වාසනාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ.

* ඒ කියන්නේ ඔබට වාසනාව නැහැ?

එහෙම නෙවෙයි. මං හිතන්නේ මට තවම වාසනාව උදා වුණේ නැහැ කියලා.

* රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යද්දි මොන වගේ අධ්‍යනයක ද ඔබ යෙදෙන්නේ?

මං කරන්නේ මෙච්චරයි. ප්‍රවීණ කෙනෙක් රඟපාද්දී ඔහු හෝ ඇය දිහා බලාගෙන ඉන්නවා. එමඟින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකියි. ඊට අමතරව චිත්‍රපට බලනවා.

* නිළියකගේ සමේ පාට ජනප්‍රියත්වයට බලපානවා කියලා කවුරුන් හෝ කිව්වොත්?

වර්තමානය වන විට එය යථාර්ථයක්. සම සුදු බෝනික්කියෝ වගේ අය තමයි වැඩිපුර ජනප්‍රිය. හැබැයි කෙටි කාලයයි. සමේ සුද නැති වෙච්ච ගමන් එයාලා ඩවුන්. මුහුණ කැත වුණත් දක්ෂතාවය තියෙන නිළියකට නම් එහෙම වෙන්නේ නැහැ. ඔවුන් සදාකාලිකයි.

* රංගනයේදී ඔබට සීමාවල් තියෙනවාද?

ඔව්. මට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයකට පමණයි මා පණ පොවන්නේ. නිරුවත් වන චරිත රඟපාන්නේ නැහැ. අනික මගේ වටිනාකම ලැබෙන්නේ නැති චරිතවලට මම පණ පොවන්නේ නැහැ.

* ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධත්වයට පත් අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක නිරුවත් චරිතයක් ලැබුණොත් එයත් ඔබ ප්‍රතික්ෂේප කරනවාද?

ඔව්. ඒක මගේ ප්‍රතිපත්තියක්. ජාත්‍යන්තරය ඉදිරියේ ඇඳුම් ගැලවීම විහිළුවක්.

* ඔබ කලින් කිව්වා ඔබට සාධාරණයක් කරන්න පුළුවන් චරිත පමණයි බාර ගන්නේ කියලා. එහෙම බලන කොට මෙගා නාට්‍යයක සීනිබෝල චරිත ඔබ රඟපාන්නේ නැහැ කියලා කෙනෙකුට හිතේවි?

මං හිතන්නේ මිනිසුන් අතර නිළියක් විදිහට ඉන්න මෙගා නාට්‍යවල රඟපාන්න ඕනෑ. ඒවායේ චරිතයක් මට ලැබුණත් නිකම්ම දෙබස් කියන්නේ නැතුව යම් වෙනසක් කරමින් මං රඟපානවා.

* වෘත්තීය නිළියක් විදිහට ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?

දැනට නැහැ. ඉදිරියේදී ප්‍රමාණවත් වේවි කියලා හිතනවා.

* ඔබේ ගාණ කිව්වාම ඔබට ලැබෙන චරිතත් නැතුව යනවා කියන්නේ ඇත්තද?

ඔව්. එහෙම වුණා. මගේ මුදල අහපු වැඩි දෙනෙක් මට චරිත දුන්නේ නැහැ ගාන වැඩියි කියලා.

* අමාට පෙම්වතෙකු ඉන්නවා කියලා ආරංචි වුණා?

ඔහු ගැන දැන්ම කියන්න බැහැ. නියමිත කාලයේදී කියන්නම්.

* ඔහු කැමැති ද ඔබගේ වෘත්තියට?

දැනට නම් කැමැතියි.

* ඇයි? ඉදිරියේදී කැමැති නැති වේවිද?

ඒක කියන්න අමාරුයි. මොන දේ වුණත් අන්තිමේ ඉතුරු වෙන්නේ තමන්ගේ පවුලනේ. ඒක නිසා පවුල් ජීවිතයට මුල්තැන දෙනවා.

* ගෙදර අය මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ ඔබේ කලා ජීවිතය ගැන?

එයාලට ඕනෑ වුණේ මාව වෛද්‍යවරියක් කරන්න. නමුත් දෛවය විසින් මාව මෙතනට ගෙනාවා. අද ඔවුන් මට ලබා දෙන සහාය අපමණයි. වෛද්‍යවරියක නොවුණා කියලා මගේ අම්මා තාත්තාට දුකක් නැහැ. මගේ ගමනට ඔවුන් අද ආශිර්වාද කරනවා.

* ඔබට හිතෙන්නේ නැති ද වෛද්‍යවරියක වුණා නම් හොඳයි කියලා. එහෙම නම් අද ඔබට ඕනෑ තරම් සල්ලිත් තියෙනවා?

නැහැ. මේ ක්ෂේත්‍රය මට හොඳයි. මං මේ කරන්නේ මට සුදුසුම වෘත්තිය. එතැනින් එහාට මං වෙන දේවල් හිතන්නේ නැහැ. නිළිකම වෛද්‍ය වෘත්තියට වඩා හොඳයි.

* ඔබ සිනමාවට එන්න පමා ඇයි?

මං චිත්‍රපටයක රඟපෑවා. ඒ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ කන්දක් සේ මා නවකතාව ඇසුරෙන් තැනෙන චිත්‍රපටයක්. අශෝක ආතවුදහෙට්ටි තමයි එය අධ්‍යක්ෂණය කළේ. එය මට ලැබුණු මහඟු අවස්ථාවක්.

* ජයලාල් රෝහණගෙන් විනාඩි පහළොවක් එක දිගට බැනුම් අහපු දවස මතක් කරමින් මේ කතාවට නැවතීමේ තිත තබමු?

ලීටා වේදිකා නාට්‍යයි මං රඟපාන පළමු දවසෙයි ඔය සිද්ධිය වුනේ. හිතේ තියෙන චකිතයට මං වේදිකාවට ඇවිත් ප්‍රේක්ෂකයන් දෙසට හැරුණේ සර් කියා දීපු විදිහට නෙවෙයි. ඔහු මට ඒ ගැන කිව්වාම මං ඔහුත් එක්ක තර්ක කළා. අන්තිමේ ෂෝ එක ඉවර වෙලා ප්‍රේක්ෂකයන් ඉදිරියේදීම මට හොඳටම බැන්නා විනාඩි පහළොවකට වැඩිය. එදා මං පැයකට වඩා ඇඬුවා.