වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ දේපළ කොල්ල කෑ අයට ශාප වේවා

මයික් විල්සන්ගේ දියණිය කියන කතාව පසුගිය සතියෙන්...

අපේ දේපළ කොල්ල කෑ අයට ශාප වේවා

පසුගිය සතියේ අප මේ සංවාදය නිම කරද්දී රන්මුතුදූවේ අයිතිය වංචාසහගත ලෙස සිදුකර ඇතැයි දාමිණී චෝදනා කරන ලදී.

මොකක්ද ඒ වංචාකාරී පොරොන්දුව?

රන්මුතු දූව අයිතිය දැන් ඒ පුද්ගලයාට කියලා.

කවුද ඔය පුද්ගලයා?

එයා තව ටික කලකින් හෙළි වෙයි. මමත් හොයනවා ඔය පුද්ගලයා ඔය අපි නොදන්න අයිතිය තියෙන. හැබැයි මම මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා හරි මම ඔය මනුස්සයා හොයාගෙන රන්මුතු දූව ආයෙත් මතු පරපුරට පෙන්වන්න දිනේෂ්ට උදවු කරනවා.

අද ඩැඩීත් නෑ, ආතරුත් නෑ, ශේෂාත් නෑ?

ඇයි මේ මයික්ගේ දුව දාමිණි ඉන්නේ. නංගි මල්ලි අයිය වෙනුවෙන් අද මම රන්මුතු දූව වෙනුවෙන් ඉස්සරහට අඩිය තියලා ඉවරයි.

රන්මුතු දූව මුල් පිටපත අද සංරක්ෂණයක් විදියට එංගලන්තයේ කොහේද තියෙන්නේ?

ආතර් රෑන්ක් ටෙක්නි කලර් ස්ටුඩියෝවේ.

ඒ අය එය ලබා දෙන්න කැමැත්ත පළ කරලද තියෙන්නේ?

සියලු තොරතුරු ඒ අය සමඟ කතා කරලා අරගෙන තියෙන්නේ. දිනේෂ් තමයි ඒ කටයුත්ත සිද්ධ කළේ. එයාල ළඟින් එය මුද්‍රණය කරලා පිටපත් ටික ගන්න වෙනවා නම් රුපියල් ලක්ෂ හැත්තෑවක් විතර යනවා. නමුත් දිනේෂ් කිව්වා ඉතා අඩු මුදලකින් එහි තැන්පත් කරලා තියෙන පිටපතෙන් දත්ත විතරක් අරගෙන අපිට අඩු මුදලකින් මුද්‍රණය කරගන්න පුළුවන් කියලා.

රන්මුතු දූව හැරුණු විට තාත්තා කළ ගැටවරයෝ, සොරුන්ගෙත් සොරු, සාරවිට චිත්‍රපටවල අයිතිය?

ඒවත් එහෙම තමයි. අපිට තියෙන අයිතිය අපි නීත්‍යානුකූලව ඒවා දිනේෂ්ට භාර දීලා තියෙනවා අපි වෙනුවෙන්.

කෝනේෂ්වරම් දොවොලේ සිව ලිංගය සොයා ගත් ඔබේ පියා ගැන සටහනක් අදත් කෝවිලේ දැක ගත හැකියි?

මයික් විල්සන් නාමය අද ගහට පොත්ත වගේ කෝනේෂ්වරම් දෙවොලේ බබළනවා. අදටත් තාත්තා සොයා ගත්ත ශිව ලිංගය දකින්න පුළුවන්. දස දහස් ගණනින් බැතිමතුන් පැමිණ එයට වැඳුම් පිදුම් කරනවා. ඒ ගැන මට මතක් වෙන කොට තාත්තා මට දෙවියෙක්.

ඔබේ අම්මාගේ පවුලේ තොරතුරු කොහොමද?

අම්මා තාත්තාව බඳින්න කලින් පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ කොටහේනේ. අම්මාගේ තාත්තා දොස්තර කෙනෙක්. සීයාගේ නම දොස්තර එරික් එමැනුවල් පෙරේරා. අම්මාගේ අම්මා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක්. ඇයගේ නම මේ බ්‍රෑන්ඩ් පෙරේරා.

තාත්තාගේ පවුලේ තොරතුරු කොහොමද?

තාත්තාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ ලන්ඩන් හිල් එකේ ගණකාධිකාරීවරයෙක් විදියට. සීයාගේ නම ඩග්ලස් විල්සන්. තාත්තාගේ අම්මා නම් රැකියාවක් කළා ද කියන්න මම දන්නේ නැහැ. ආච්චිගේ නම ඈන්.

රන්මුතුදූව චිත්‍රපටයේ මයික් විල්සන්, ගාමිණී ෆොන්සේකා සමඟ

අම්මාට තාත්තාව හමුවීමට කලිනුත් තාත්තා කීප විටක් ලංකාවට ඇවිත් තිබෙනවාද?

ඊට ප්‍රථම දෙවතාවක් ලංකාවට ඇවිත් ගිහින් තියෙනවා. අම්මා ස්කොට්ලන්තයේ ආච්චිගේ ගෙදර ඉඳලා එනකොට තමයි නැවේදි තාත්තා තුන්වෙනි පාරට ලංකාවට එනකොට අම්මාව හමු වෙලා තියන්නේ.

ඔබ කුඩා අවධියේ අම්මාගේ තාත්තාගේ ගෙදර ගිහින් තියෙනවාද?

පොඩි කාලේ ගිහින් ඇවිත් තියෙනවා. ඒ ගිය ගමන් හැම එකක්ම හරිම විනෝද බරයි.

අම්මා මිය යන කොට අවුරුදු පනස් හතරයි?

1937 ජූලි 15 අම්මා ඉපදුණේ. 1991 දෙසැම්බර් 23 අම්මා ගල්කිස්සේ දක්ෂිණාරාම පාරේ තිබුණ මගේ ගෙදරදී තමයි හෘදයාබාධයකින් මිය යන්නේ.

තාත්තා 1995 පෙබරවාරි 25 වැනිදා මිය යන කොට වයස?

අවුරුදු හැට එකක්.

තාත්තා මුහුදේ කිමිදෙන එක විනෝදාංශයක් ලෙස කළ පුද්ගලයෙක්. දරුවොත් අරන් තාත්තා ඒ වගේ විනෝද ගමන් ගියේ නැද්ද?

අපි හතර දෙනාටම හොඳට පිහිනන්න පුළුවන්. තාත්තා අපිට මුහුදේ පීනන්න එක්ක යනවා. අපි හරිම ආසයි තාත්තා ආරුගම්බේ රැල්ලේ යනවා බලන්න. තාත්තා ගියදාට වැල්ලේ මිනිස්සු පිරෙනවා මහා මුහුදු රැලි යටින් තාත්තා සර්ෆ් යනවා බලන්න. මහ මුහුදු රැලි පෙරළිලා ඇවිත් තාත්තාව යට කරගෙන යන කොට මමයි නංගියි, අම්මාව බදාගෙන අඬනවා. අපි දෙන්නගේ මුහුණු ඒ වෙලාවට ජම්බු ගෙඩි දෙකක් වගේ.

ශාන්ත බ්‍රිජට් විද්‍යාලයේ අක්කගේ නංගිගේ ගැටුම මොකක්ද?

මමත් යස්මින් නංගිත් ගියේ එකම ඉස්කෝලෙකට. ඒ කාලේ තාත්තා, අම්මා රටේ ප්‍රසිද්ධ අය නිසා අපිටත් ඉස්කෝලේ ඉහළ සැලකිලි. අම්මා රූමත් නිළියක්. තාත්තා ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. පාසලේ උත්සවවලට දෙන්නටම ආරාධනා. එයාලා දෙන්නා ඉස්කෝලෙට එනදාට නංගියි මමයි හැංගෙනවා ලැජ්ජාවට. ළමයි ටීචර්ලා වුණත් අම්මා තාත්තා බලාගන්න හරිම උනන්දුයි. එයාලගේ උනන්දුව අපි දෙන්නට ලැජ්ජාවක්, හැබැයි අම්මා තාත්තා ඉස්කෝලේ එනදාට අපිටත් ඒ දෙන්නට ලැබෙන සංග්‍රහ ලැබෙනවා. විශේෂ කාමරයක ඒ දෙන්නට ලෑස්ති කරන කෑම මේසේ වැඩි කෑම ප්‍රමාණයකට වග කියන්නේ මමයි නංගියි. අම්මා බියුටි ක්වීන් කියලා ඉස්කොලේ අපිටත් හරි සැලකිලි. ඒ දෙන්නගේ ට්‍රීට්මන් නොවැරදීම අපිටත් ලැබෙනවා.

ඇයි දෙන්නම පාසලේ ගහගන්නේ?

ලීස් විල්සන්ගේ රුව කලා සඟරාවේ මුල් පිටුව හැඬ කළ අයුරු

 

තාත්තා චිත්‍රපට බලන්න එක්ක ගියාම ඒවායේ තියෙන ගහගන්න ඒවා අපිට හොඳට මතකයි. අපි දෙන්නා අතර ඇති වුණු පුංචි නෝක්කාඩුවක්. දවසක් මේ වගේ සීන් එකක් වගේම මමයි නංගියි ඉස්කෝලේ කානුවේ පෙරළි පෙරළි ගහගත්තා. මඩ තවරගෙන චිත්‍රපට ෆයිට් එකක් වගේ. අන්තිමට ගුරුවරු ඇවිත් තමයි අක්ක නංගි ගැටුම නතර කළේ.

පසු කාලෙක තාත්තාගේ වෙනස්වීම ඔබේ ජීවිතයටත් බලපෑවාද?

තාත්තා හින්දු ආගම වැලඳ ගැනීම නිසාම අපිට නොයෙක් කරදර පැමිණියා. එවක පාසලේ විදුහල්පති වුණේ අයර්ලන්ත ජාතික කන්‍යා මව්තුමියක්. ඇය තාත්තාගේ වෙනස්වීම ගැන ආගමික වශයෙන් දැඩි තීරණයක පසු වූවා.

ඒ කාලේ තාත්තා එක්ක වෙසක් බලන්න ප්ලේන් එකෙන් ගිය කතාව මතක් කළොත්?

තාත්තා අම්මා අපි හතර දෙනාව කාරෙකින් විතරක් නෙමේ. ප්ලේන් එකෙනුත් වෙසක් බලන්න කොළඹ අවට එක්ක ගියා.

මට එතකොට අවුරුදු අටක් විතර ඇති. මල්ලිට අවුරුද්දක් විතර ඇති. නංගි අයියා එක්ක අපිව බලා ගන්න හිටිය ආයම්මලත් මේ ගමනට එක් වෙනවා මට මතකයි. ඒ දවස්වල අම්මාගේ අම්මත් අපිත් එක්ක ප්ලේන් එකෙන් වෙසක් බලන්න එකතු වුණා. ඩැඩී, මමී අපි හැමෝම වෙසක් දවසේ රෑට රත්මලාන ගුවන්තොටුපළින් තමයි ප්ලේන් එකට නගින්නේ. කොළඹ අහසේ උඩ ඉඳලා තොරන්වල බල්බ් පත්තු වෙන හැටි වෙසක් කූඩු සැරසිලි විදුලි ආලෝකයෙන් බබළන හැටි අපි අහසේ ඉඳලා බලාගෙන සතුටු වෙනවා. මම අවුරුදු දෙකක් මේ විදියට ප්ලෙන් එකෙන් වෙසක් බැලුවා. තුන් වෙනි පාර යන්න සූදානම් වෙන කොට ඒ සඳහා ගුවන් යානා පහසුකම් දුන්න ආයතනය එවැනි කටයුතුවලින් බැහැර වෙලා තිබුණ නිසා ඒ උත්සාහය වැළකී ගියා.

ගාමිණී ෆොන්සේකා, ජෝ අබේව්ක්‍රම තාත්තාගේ ගජ මිතුරෝ?

නිතර තාත්තා එක්ක ජෝ අංකල්, ගාමිණී අංකල් අපේ ගෙදර ආව ගියා. මට මතකයි එක දවසක් අපේ රවී මල්ලිට පොඩි කාලේ උණ හැදුණාම වලිප්පුව හැදෙනවා. ඒ නිසාම සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේ එක කාමරයක් නිතරම බුක් කරලා තිබුණා එයාට එහෙම හැදුන ගමන් ගෙනි යන්න. දවසක් ජෝ අංකල් අපේ ගෙදර ඇවිත් ඉන්න ගමන් මල්ලිට අර ලෙඩේ හැදුණා. කලබල වෙච්ච ජෝ අංකල් මල්ලිව අරගෙන සෙන්ට්‍රල් හොස්පිටල් එකට දුවන කොට ඇඳගෙන හිටිය සරම කැඩුණා. මේක දැක්ක මමයි නංගියි හූ කිය කිය හිනා වුණා. පුදුම ළෙන්ගතුකමක් ජෝ අංකල් අපේ පවුලේ අයට තිබුණේ.

තාත්තා පවුලේ කට්ටියව කැඳවාගෙන ගිය සුවිශේෂී අවමඟුලක් තිබුණා නේද?

එදා ගල්කිස්ස මහ හෝටලයේ මයික් විල්සන්, ලීස් විල්සන්, ආතර් සී.ක්ලාක් සමඟ සූපවේදී පබිලිස් සිල්වා
 

 

ෂේන් ගුණරත්න මිය ගියාම තාත්තා ගොඩක් දුක් වුණා. ඒ තරම් තාත්තා ෂේන් අංකල් එක්ක හිතවත්. ඊට කලින් කවදාවත් අපි හතර දෙනාව තාත්තා මළ ගෙදරක එක්ක ගිහින් තිබුණේ නැහැ. මුලින්ම අපිව මළ ගෙදරක කියලා එක්ක ගියේ ෂේන් අංකල්ගේ මළ ගෙදර.

මයික් මුහුදු පත්ලේ කරක් ගහපු සුපිරි ඩයිවර් කෙනෙක්. එවන් ගමන්වලදී සුවිශේෂී දේවල් ඔහුට හමු වෙන්න ඇති?

ඒ වගේ හමු වෙච්ච බොහෝ දේ අපේ ගෙදර ලස්සනටත් තියලා තිබුණා. පැරැණි නැව් ගිලිච්ච තැන්වල තිබිල හමු වූ රිදී කාසි, රන් කාසි වට කරගෙන වැවිල තිබුණ කොරල් පර එහෙම තිබුණා. මේ හැම දෙයක්ම අපිට නැති කළේ තාත්තා අතරම හිටිය මිත්‍ර ද්‍රෝහියෙක්.

ආතර් හා මයික් අතර විරසකයට හේතු වුණෙත් මේ පුද්ගලයාමද?

ඔව්. මේ පුද්ගලයා තමයි තාත්තා හා ආතර් අංකල් විරසක කළෙත්. සෙරන්ඩිබ් කොම්පැණිය විනාශ කරලා දැම්මෙත්, අපේ බූදලය විනාශ කරලා දැම්මෙත්.

තාත්තා ස්වාමි ජීවිතයට ඇතුළත් වෙන කොට ඔබලා කුඩා දැරියෝ?

මට අවුරුදු 11 ක්. නංගිට අවුරුදු 10 ක්. මල්ලිට අවුරුදු පහක් විතර ඇති.

ඒ වෙන කොට පදිංචි වෙලා හිටියේ?

හෝටන් ප්ලේස්වල ගෙදර.

පසුව දෙහිවල පදිංචියට ආවා නේද?

මුහන්දිරම් ලේන් එකේ විශාල ගෙදරක පදිංචියට ආවා.

ස්වාමි ජීවිතයෙන් මිදිලා තාත්තා එංගලන්තයට ගියා කියලත් ආරංචියක් තියෙනවා නේද?

ඒක වුණේ මෙහෙම. මනික් සන්දරසාගර තාත්තාගේ සමීප හිතවතෙක්. තාත්තාව ගුරු කොට තමයි මනික් අංකල් සැලකුවේ. මනික් අංකල් රැම්පේජ් චිත්‍රපටය කරලා එකේ තාක්ෂණ කටයුතු වගයක් කරගන්න තාත්තාගෙන් උදවු ඉල්ලුවා. එතකොට තාත්තා ස්වාමි ජීවිතයට ඇතුළත් වෙලා. ඒත් එංගලන්තයට ගිහින් ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු ටික කරල දෙන්න තාත්තා එංගලන්තයට ගියා. පස්සේ ආයෙත් ඇවිදින් නැවතත් ස්වාමිවරයෙක් වුණා.

තාත්තාට අංශභාග රෝගයත් වැලඳුණා?

මයික් විල්සන්

කතරගම ඉන්න කොට මැලේරියාව වගේම අංශභාගයත් හැදුණා. අපි කොළඹ ගෙනත් ගල්කිස්සේ ගෙදර තියන් තාත්තාව බලා ගත්තා. මම තාත්තා වෙනුවෙන්ම මගේ ගෙදර වෙනම කාමරයක් හදලා තාත්තාට විවේකීව ඉන්න සලස්වලා දුන්නා.

අම්මා මිය යන කොටත් තාත්තා ඇය ළඟ?

ඔව්. තාත්තා ඒ වෙන කොටත් හින්දු පූජකවරයෙක්. අම්මාට පපුවේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේ ගෙනියන්න කාරෙකට ගන්න කොටමයි නැති වුණේ. ඒ වෙලාවේ තාත්තා අම්මාගේ අත අල්ලාගෙන ලීස් තණ්හාව කියන දේ අත හරින්න කියලා කිව්වා.

ඔබට උපන් දිනයට ගෙයක් තෑගි ලැබෙනවා?

ගල්කිස්ස දක්ෂිණාරාම පාරේ ගේ මට ලැබෙන්නේ මගේ සැමියාගෙන් මට උපන් දින තෑග්ගක් ලෙස.

ඔබේ සැමියා ගැන තොරතුරු කොහොමද?

එයා තායිලන්ත ජාතිකයෙක්. වෝ තෙරපි තමයි නම. අද එයා ජීවතුන් අතර නෑ. හදිසියේ තායිලන්තයේ එයාගේ ගෙදර ගිිය වෙලාවක හෘදයාබාධයකින් මිය ගියා.

 ඔබට මුණ ගැහෙන්නේ?

එයා තායිලන්තයේ ව්‍යාපාරිකයෙක්. ලංකාවට ඇවිත් තිබුණේ මැණික් ව්‍යාපාරයට. අපි දෙන්නා අතරේ අහම්බෙන් සම්බන්ධයක් ඇති වුණා. ඒ වෙන කොට මට වයස අවුරුදු දහ අටක් විතර ඇති. මමයි වෝයි බඳින කොට මට අවුරුදු දහනමයයි. 1983 දී මට පුතා අම්රිත් ලැබුණා. එතකොට මට වයස අවුරුදු විස්සයි.

වෝ නැතිවෙන කොට අම්රිත් අත දරුවෙක්?

එයාට අවුරුදු හතරක් විතර ඇති. සැමියාගේ අවසන් කටයුතුවලට මට සහභාගි වෙන්නත් බැරි වුණා. එයාගේ පවුලේ අය ඇවිත් මට දැන්නුවා එයාගේ අවසන් කටයුතු තායිලන්තයේදීම සිද්ධ කළා කියලා. එයා තායිලන්ත බෞද්ධ ජාතිකයෙක්. වැඩි දිනයක් මිනිය තියා නොගැනීම නිසාම මට එයට සහභාගි වෙන්න බැරිව ගියා.

ශේෂා පලිහක්කාර

වෝ හමු වූ ආදර කතාව කියන්න අකැමැතිද?

මට ට්‍රේල් බයික් එකක් තිබුණා. මේ බයික් එකෙන් තමයි මම ගමන් බිමන් යන්නේ. මගේ යාළුවා තමයි ස්ඩි රේමන්ඩ්. අපි දෙන්නාගේ විනෝදාංශය ඩිස්කො ඩාන්ස් ක්ලබ් ගිහින් හිතේ හැටියට නටන එක අපේ එකම සතුට. ඔය ගිය වෙලාවක වෝත් එයාගේ ආරක්ෂකයෝ එක්ක මම යන මේ ක්ලබ් එකට ඇවිත් හිටියා. ඒ වෙලාවේ මාව දැකලා මා ගැන විමසුවා. ඔහොම ගිහින් තව ටික කලකින් මට ලස්සන ඕකිඩ් පොකුරු එවන්න ගත්තා. තවත් ටිකක් කල් යන කොට හෝටන් ප්ලේස්වල ගෙදරට තායිලන්තයෙන් ගේන ලොකු මල් බොකේ එවන්න පටන් ගත්තා. ඒත් මට මේ පුද්ගලයා හඳුනා ගන්න වුවමනාවක් කොහෙත්ම තිබුණේ නැහැ. ස්ඩි තමයි මම ගැන මේ උනන්දු වන පුද්ගලයා ගැන වචනයක් හරි කතා කරන්න කියලා මට බල කළේ. ඒ බල කිරීමට මම කතා කළා. පස්සේ පස්සේ අපි අතර සම්බන්ධයක් ගොඩ නැඟුණා.

වෝගේ ආදරේ තරමටම ඔබේ අත කර රනින් පිරුණා?

එයාට යහමින් මුදල් තිබුණා. මගේ අත් දෙක රත්තරං වළලුවලින් පිරෙව්වා. මට දරන්න බැරි තරම් බර මාල පැලැන්ඳුවා. මට මතකයි පුතා ඉපදුණ දවසේ එයා තායිලන්තයෙන් ගෙනා ඕකිඩ් මල්වලින් මම හිටිය ඉස්පිරිතාලේ රූම් එක පිරෙව්වා. මට අඩු වයසක් තිබුණු නිසා දරුවා ලැබුණේ සීසර් කරලා. එයාට දරුවා ඉක්මනින් දකින්න නැතුව කෙන්ති ගියා. පුතා ඉපදිච්ච දවසෙම එයා පුතාගේ කරටත් රත්තරං මාලයක් දැම්මා. පුතාගේ කරටත් දරන්න බැරි තරම් එකක්.

දිනේෂ් පි‍්‍රයසාද් ආතර් සී ක්ලාක් සමඟ

අද වෝ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට වෝ උපන් දිනයට දුන්න ගේත් මට අද අහිමි වෙලා. වෝ මට ලැබුණේ මම ගොඩක් ආර්ථික වශයෙන් අතරමං වෙලා ඉන්න කාලෙක. එයා නිසා මම ජීවිතයේ ගොඩ ආවා. එයා මට ජීවිතයෙන් නැති වුණත් මම අදටත් වෝට පින් දෙනවා.

අද ඔබ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

අද මට පුතා ජීවත් වෙන්න උදවු කරනවා. මම අදටත් හිතන්නේ මගේ තාත්තා මොන දේ කළත් එයා වීරයෙක් කියලා. එදත් තාත්තා මට වීරයෙක්. අදත් තාත්තා මට වීරයෙක්. තාත්තයි, අම්මයි, දෙවියන් වහන්සේයි ඇරෙන්න මට වෙන කෙනෙක් නෑ. එයාල වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද ඒ දේ මම සිද්ධ කරනවා. මට තියෙන එකම කනගාටුව අපේ හැම දෙයක්ම ඇයි මේ විදියට කොල්ල කෑවේ කියලා.

අද වෙන කොට මම ගොඩක් අසරණ ජීවිතයක් තමයි ගත කරන්නේ. එදා තිබුණ සිටු මැදුරු රාජ භෝජන අද මට නෑ. ගෙවන ජීවිතය හරිම දුක්ඛදායි. මට කියලා ගෙයක් දොරක් නෑ. පුංචි කුලී නිවසක මම ජීවිතය ගෙවා දමනවා. එක් පුද්ගලයෙක්ගේ කූට ක්‍රියා කලාපයක් නිසා අද රන්මුතු දූව චිත්‍රපටය තිරගත කර ගන්න බැරුව ඉන්නවා. ඒ වගේ ප්‍රශ්න කරදර නොතිබුණා නම් තාත්තාගේ රන්මුතු දූව යළිත් ප්‍රදර්ශනය කොට ඩී. වී. ඩී. අලෙවි කොට යම් මුදලකින් ජීවත් වෙන්න උපයා ගන්නත් තිබුණා. ඒ දේත් අද මට අහිමි වෙලා. අපේ දේපළ හූරගෙන අයිති කරගත් පුද්ගලයන්ට මම කියන්නේ උඹලාට ශාප වේවා කියලයි.