වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සංරක්ෂණාගාරයට අවුරුද්දයි

සංරක්ෂණාගාරයට අවුරුද්දයි

1957 වසරේ ඔබ්සර්වර් පුවත්පතේ 'ආර්ට්' මැගසිනය සඳහා එවකට 'රේඛාව' චිත්‍රපටය තනා විදග්ධ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වෙමින් සිටි තරුණ සිනමාකරුවකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 'ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඕනෑ' යන මැයෙන් ලිපියක් ලිව්වේය. කවර තත්ත්වයක් යටතේ වුව ද මේ සංරක්ෂණාගාරය පිලිබඳ නිල ආරම්භය සිදු වන්නට අවුරුදු 54 ක් ගත විය. ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 05 වැනිදා කොළඹ ලේඛනාරක්ෂකගාරයෙදී 'ජාතික සිනමා රක්ෂණාගාරය' ආරම්භ කෙරිණි. එය ආරම්භ කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් වීම අති විශේෂ දෛවෝපගත සිදුවීමකි. එයින් පසු එයට සිදු වූයේ කුමක්දැයි මා දන්නේ නැත. එහෙත් එය නිල වශයෙන් ආරම්භ වූ බැවින් එතැනින් එහාට වැඩි දියුණු කරගෙන පවත්වාගෙන යෑම බලධාරීන්ගේ යුතුකමක්ව පවතියි. එමඟින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිහිනය සැබෑ වෙනවා පමණක් නොව මහඟු ජාතික මෙහෙවරක් ද සපිරෙයි. සිනමාව යනු සංස්කෘතිමය, ඓතිහාසික කලා නිර්මාණයක් ලෙස ලොව පුරා බුහුමානයට පාත්‍ර වෙයි.

සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ලෝකයා වටහා ගත්තේ චලන චිත්‍රය ආරම්භ වී වසර දහයක් ගත වන්නටත් මත්තෙනි. මුල් යුගයේ නිර්මාණය කරන ලද චිත්‍රපට රාශියක් වසර ගණනාවක් ගතවීමට මත්තෙන් පරණ සපත්තු කඩවලට විකුණා දැමීම ලාභදායක බැව් නිෂ්පාදකවරු සිතූහ. එබැවින් සිනමා රූපයේ සැඟවෙන ඉතිහාස කතා මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කළ යුතු යැයි හඬක් නඟන්නට වැඩිකල් ගියේ නැත. එනිසාම සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ලෝකය 1910 වසර වන විටත් වටහා ගෙන සිටියහ. සිනමා සංරක්ෂණයට ලොව මුල් වරට අත ගැසුවේ ප්‍රංශයයි. ප්‍රංශය 1914 වන විට චිත්‍රපට සංරක්ෂණය ආරම්භ කරන විටත් මේලියස් වැනි පුරෝගාමීන්ගේ බොහෝ චිත්‍රපට අතුරුදන්ව තිබිණි. ඒ කෙසේ වෙතත් ලෝක සිනමාවේ පුරෝගාමීන් වූ ලුමියර් සහෝදරවරුන්ගේ බොහෝ චිත්‍රපට ඒ වන විටත් ආරක්ෂා වී තිබිණි.

මුල් යුගයේ ඇතැම් චිත්‍රපට පරිහානියට පත් වූයේ ඒ අවධියේ චිත්‍රපට සඳහා භාවිත කරන ලද නෙගිටිව් පට නයිට්රේට් ආලේපිත නිසාය. එබැවින් ඒ යුගයේ චිත්‍රපටය යනු වහා ගිනි ඇවිලෙන සුළු භාණ්ඩයකි. 1905 දී පමණ පැරීසියේ සිනමා ශාලාවක ඇවිලූ ගින්න ජීවිත ගණනාවක් විනාශ මුඛයට ගෙන යන ලදී. අද ප්‍රේක්ෂකයන් වූ අපට ඉතාම සැනසිලිදායක පුවරුවක් වන සිනමාව ශාලාව ඇතුළත දුම්බීම තහනම් යන වගන්තිය මුලින් සිනමා ශාලාවල එල්ලුනේ දුම් පානයේ ආදීනවයෙන් ප්‍රේක්ෂකයා මුදවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවේ. වහා ගිනි ඇවිලෙන චිත්‍රපටවලින් ශාලා දේපළ සහ ප්‍රේක්ෂක වර්ගයා ආරක්ෂා කර ගැනීමටය. කෙසේ නමුත් 1940 වන විට ලෝකයේ බොහෝ රටවල සිනමා සංරක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් සේ වටහා ගැනිණි. සමහර සිනමා සංරක්ෂණාගාර තෝරා ගත් චිත්‍රපට පමණක් සංරක්ෂණය කරන ලදී. ප්‍රංශයේ සිනමා තෙක් ආයතනය, අමෙරිකාවේ නැෂනල් කොංග්‍රස් ලයිබ්‍රරිය එලෙස චිත්‍රපට තෝරාගෙන සංරක්ෂණය කරන ආයතන වෙයි. එහෙත් බොහෝ රටවල චිත්‍රපට වර්ගීකරණයකින් තොරව සංරක්ෂණය කරති. චිත්‍රපටයක් සංරක්ෂණය කරනවා යනු ආවාට ගියාට කළ හැකි කාරණයක් නොවේ. එය අතිශය විද්‍යානුකූලව සිදු කළ යුතු සහ මනා හැදීරීමකින් ආරම්භ කළ යුතු කාර්යයක් වෙයි.

අග්නිදිග ආසියාවේ ඇති වැදගත්ම සිනමා සංරක්ෂණාගාරය වන ඉන්දියාවේ ජාතික සිනමා සංරක්ෂණාගාරය නවදිල්ලියේ හෝ මුම්බායි හි ඉදි නොකරන්නට එරට බලධාරීන් පියවර ගත්තේය. ඒ වන විට එය පිහිටුවීමට තෝරා ගත්තේ මුම්බායේ සිට කිලෝ මීටර 148 ක් ඈතින් පිහිටි කඳුකර ඉසව්වකට අයත් පූනේ නගරයේය. එය එතරම් දුර බැහැරක පිහිටුවන්නට එරට රජය තීරණය කරන ලද්දේ එහි ඇති ස්වභාවික දේශගුණය මඟින් චිත්‍රපට ආරක්ෂාව ඉබේම සැලසෙන බැවිනි. හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුව ද එකි ස්වභාවික උෂ්ණත්වය නිසා සංරක්ෂණය කරන ලද චිත්‍රපටවලට අවැඩක් සිදු නොවේ.

පූනා සිනමා සංරක්ෂණාගාරය

මීට විසි වසරකට පමණ ඉහත අතීතයෙන් ශ්‍රී ලංකාවේදී සංරක්ෂණාගාරයක් ගැන මුල් කතාබහ ඇති වූ විට එය පිහිට විය යුත්තේ දියතලාවේ බවය. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ද වඩා යෝග්‍ය එම පළාත යනුවෙන් එකල සඳහන්ව තිබිණ. එයට හේතුව වූයේ ස්වභාව ධර්මයා මඟින්ම එයට ලැබෙන රැකවරණයයි. කෙසේ හෝ වේවා වරින්වර ඇදී ගිය මේ සාකච්ඡා නිසා අපේ සිනමා සංරක්ෂණාගාරයේ කතාව කිසි කලෙක නොවන කටයුත්තක් ලෙස බොහෝ දෙනාගේ විශ්වාසය විය. වරෙක ජාතික චිත්‍රපට සංස්ථාව ද, සංස්කෘතික අමාත්‍යාංශය ද, මෙකී නොකි බොහෝ දෙනා ද සිනමා සංරක්ෂණාගාරය පිළිබඳ විවිධ කතාබහ ඇති කර ගත්හ.

1983 වසරේ සිංහල චිත්‍රපට රාශියක් විනාශ වී යෑමෙන් පසු ඒ පිළිබඳ කතිකාවන් වැඩිපුර ඇති වුවද ප්‍රතිඵලයක් ඇති වූයේ නැත. කෙසේ හෝ වේවා පසුගිය වසරේ දී රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිනමා සංරක්‍ෂණාගාරය නිල වශයෙන් ආරම්භ කරන ලදී. එයට වසර ගණනාවකට පෙරද දළුගම සරසවි චිත්‍රාගාරයේදී චිත්‍රපට සංරක්‍ෂණාගාරය යනුවෙන් එකක් නිල වශයෙන් ආරම්භ කරන ලදී. චාරිත්‍රානුකූලව නිල වශයෙන් එදින භාර දෙන ලද්දේ මෙරට විශිෂ්ටතම චිත්‍රපටය වන ‘නිධානය’ චිත්‍රපටයයි. වසර කිහිපයකට පසු ‘නිධානය’ දළ සේයා පිටපත බලන්නට විදේශිකයන් කිහිපදෙනකු සමඟ පැමිණි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කම්පාවට පත් වූ අතර විදේශිකයෝ අත හිසෙහි ගසා ගත්හ. චිත්‍රපට සංරක්ෂණාගාරයේ පිරිස පිටපත ආරක්‍ෂා කරගත නොහැකි තැන අතු ගා එළියට දමා ගිනි තබා විනාශ කර අවසන්ය. 'නිධානය' නැති කළා යනු සඳකඩ පහණක් පුපුරුවා හැරිය තරම් ජාතික අපරාධයකි. මෙරට ඉතිහාසයේ අති විශාල චලන රූප සටහන් තැන්පත් කරන ලද රජයේ චිත්‍රපට අංශයේ බොහෝ චිත්‍රපට පිටපත් එක්තරා කාලයක් අව්වට ද වැස්සට ද ගොදුරු වී විනාශ විය.

පසුගිය වසරේ නිළි රැජින මාලිනී ෆොන්සේකා ගේ සහ ලේඛනාරක්‍ෂකාගාරයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සරෝජනී වෙත්තසිංහ ගේ සහ තවත් කිහිප දෙනකුගේ කැපවීමෙන් ජාතික චිත්‍රපට සංරක්‍ෂණාගාරය ඇරැඹීම බොහෝ දෙනා බලාපොරොත්තු වූ සිහිනයක ප්‍රතිඵලයකි. එබැවින් එම කටයුත්ත ඇරැඹීම ප්‍රශංසාත්මක බැව් නොකියා බැරිය. එයින් එහා එය පවත්වා ගැනීමත්, වර්ධනය කිරීමත්, යාවත් කාලීන වීමත් සිදු ව්ය යුතුය. අරම්භයේදී වරදක් සිදු වූවා නම් කළ යුත්තේ එම වරද නිවැරැදි කොට නිසි මඟට ගෙන කටයුත්ත ඉදිරියට ගෙනයාමය.

සිනමා සංරක්‍ෂණයකදී ආරක්‍ෂා කරනුයේ චිත්‍රපට පමණක් නොව එයට පරිබාහිර සියලු දෑද එහි ආරක්‍ෂා කළ යුතුය. සමහර විට චිත්‍රපටවලට පසුබිම් වූ නිවාස පවා සංරක්‍ෂණය කරනු ලබයි. ඇඳුම්, පැලඳුම්, පෝස්ටර් සිනමා සංරක්‍ෂණයේදී අමතක නොකළ යුතු කොටස්ය. අද පෞද්ගලික මට්ටමින් එබඳු සංරක්‍ෂණාගාර කිහිපයක් තිබුණද ඒ සියල්ල නිල සංරක්‍ෂණාගාර නොවේ. සිනමා සංරක්‍ෂණයද ප්‍රතිරක්‍ෂණය කිරීමද එකිනෙකට පෑහෙන එමෙන්ම එකිනෙකට වෙනස් කාරණයකි.

පසුගිය වසරේ ආරම්භ කරන ලද සංරක්‍ෂණාගාරයට එයින් පසු ඇතුළත් වුණ චිත්‍රපට මොනවාද යන්න විමසා බැලිය යුතුය. පසුගිය වසරේ තිරගත කරන ලද චිත්‍රපට සංඛ්‍යාවේ එක් පිටපතක් හෝ එයට ඇතුළත් කර ගන්නා ලද්දේ නම් එම සංරක්‍ෂණාගාරය ආරම්භ කිරීමේ යම් ප්‍රතිඵලයක් ඇති බව නොකියා බැරිය. පසුගිය වසරේ නිර්මාණය කරන ලද චිත්‍රපට 19 අතරින් එක් චිත්‍රපටයක හෝ පිටපතක් ලබා ගැනීමට ලේඛනාරක්‍ෂක දෙපාර්තමෙන්තුවට හැකි නම් සිනමා සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව මතු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මෙන්ම සිනමා ප්‍රේමීන් කොයි කාගේ වුවත් මනදොළ සැපිරීමකි.

අවම වශයෙන් මෙරට තිරගත කරන ලද චිත්‍රපට නාමාවලිය වත් යාවත් කාලීන කළේද අප දන්නේ නැත. එසේ කළේ නම් යෙහෙකි. ලෝකයේ කිසිම සංරක්‍ෂණාගාරයක අංග සම්පූර්ණයෙන් සියලු චිත්‍රපට සංරක්‍ෂණය කරන්නට හැකිවන්නේ නැත. එසේ සිතීමද මෝඩකමකි. අද යනු හෙට වන විට ඉතිහාසයට එක්වන දවසකි. එබැවින් සිදුකළ යුත්තේ දැනට ඉතිරිව ඇති හා ඉදිරියේදී තිරගත වන චිත්‍රපට මෙන්ම ඒ හා සම්බන්ධ වටිනා දෑ ආරක්‍ෂා කිරීමය. චිත්‍රපට සංරක්ෂණයේදී කලාත්මක හෝ වෙනත් ගුණෝපිත ලක්ෂණ අනුව එය වර්ගීකරණය කළ නොහැක. එමෙන්ම එහි ඇති පෝස්ටරය, පුවත්පත් දැන්වීමේ සිට සියල්ල ආරක්ෂා විය යුතුය. පසුගිය වසරේ සිනමා සංරක්‍ෂණාගාරය ආරම්භ කරන විට චිත්‍රපට සංස්ථාව හා ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව අතර සිනමා සංරක්ෂණයේ අයිතිය පිළිබඳ දරුනු කඹ ඇදිල්ලක් තිබිණි. කඹයක් කීවාට එය ලණු කඹයක් නොවේ. එය නැව් බඳින කඹ ඇද ගැනීමකි. මේ කඹ ඇදිල්ලෙන් මේ මහා සංස්කෘතික උරුමය රැක ගැනුමට කිසිදු යහපතක් සිදු නොවේ.

වර්තමානයේ චිත්‍රපට බෙදා හැරීම සිදුවන්නේ සංස්ථාවේ ඒකාධිකාරය මත නොවේ. පෞද්ගලික සමාගම්ද මේ තරගයේ සිටිති. අනාගතයේ චිත්‍රපට නිපදෙන්නේ දළ සේයාපට මත නොවේ. ඒ සියල්ල ඩිජිටල්කරණය වෙයි. එසේ කියා චිත්‍රපට සංරක්‍ෂණය අත්හල නොහැක. නව තාක්‍ෂණය යටතේ පැරැණි චිත්‍රපට පිටපත් ඉතා හොඳින් ප්‍රතිස්ථාන ගත කළ හැකි වන්නේය. ‘නිධානය’ චිත්‍රපටයේ ඉතිරි පිටපතකින් ඉතාලියේ අගනා පිටපතක් පසුගිය වසරේදී නිර්මාණය කරන ලදී. චිත්‍රපට සංරක්‍ෂණය පිළිබඳත්, එහි ඇති වටිනාකමත් පිළිබඳ ලෝක ප්‍රකට සිනමාවේදී මාර්ටින් ස්කොසීස් සඳහන් කළේ මෙපරිද්දෙනි.

“මට චිත්‍රපට සංරක්‍ෂණයට ඉඩ දෙනවා නම් සම්පූර්ණයෙන්ම සිනමාවෙන් ඉවත්වන්නට සූදානම්”.

ස්කෝසීස් වැනි මහා සිනමාකරුවකු එලෙස සංරක්‍ෂණයේ වටිනාකම පිළිබඳ ඉස්මතු කරන්නේ එය නූතන ලෝකයේ සංස්කෘතික දායාදය බැවිනි. ලෝක සංස්කෘතික සම්බන්ධතාවේ යාවජීව සාමාජිකයා බැවිනි.

ආචාර්ය ලෙස්ටර්ට ගෞරවයක් ලෙස ආරම්භ කරන ලද සංරක්‍ෂණාගාරය ඔහුට උපහාරයක් වශයෙන් හෝ දිනෙන් දින යාවත් කාලීන කරන්නට චිත්‍රපට සංස්ථාවේ මෙන්ම ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බලධාරීන් එක්ව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.