වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මට වඩාත්ම දැනුණු නළුවා විජය කුමාරතුංග

මට වඩාත්ම දැනුණු නළුවා විජය කුමාරතුංග

Peoples Actor රන්ජන් රාමනායක

සරසවිය පුදුම හත අද වෙන් වෙන්නේ ඔබට ළබැඳි සුවිශේෂ තරුවක් වෙනුවෙනි. සිනමාවෙන් සේම මහජන නියෝජිතයෙක් ලෙසින්ද ඔහු ඔබට සමීප වෙන්නේය.

සිනමාවේ ආදරණීය පෙම්වතා සේම ආසාධාරණයට එරෙහිව නැඟී සිටින්නේද ඔහුයි.

රන්ජන් රාමනායක. සිංහල සිනමාවට සුපිරි තරුවක්ව වර්තමානයේ මහජන සම්බන්ධතා සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ජනතා සේවයට කැපවී සිටියි.

ඔහු අද පුදුම හදට තම සිත ගත් නළුවන් හත් දෙනා පිළිබඳ පැවැසූයේ මේ අයුරින්.

විජය කුමාරතුංග

සිංහල සිනමාවේ මගේ සුවිශේෂම වූ නළුවාට හිමි ස්ථානය හිමි වෙන්නේ දිවංගත විජය කුමාරතුංගයන්ටයි. අපේ සිනමාව තුළ මට වඩාත් දැණුනු නළුවා කිව්වොත් එය වඩා නිවැරදියි.

විජය කුමාරතුංගයන් අපේ සිනමාවේ සිටි ප්‍රියමනාප නළුවෙක් ලෙසින් මම දකිනවා.

ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ආකර්ශනීය පුද්ගලයෙක්. ඔහුගේ කටහඬ, සිනහව, නිර්භීතකම සහ පෞරුෂය ඔහු සතු වූ මහා පුරුෂ ලක්ෂණයන්.

ඔහු තිරයට පැමිණි දා පටන් ඔහු වටා රසික රසිකාවන් රැස් වූු ආකාරය පුදුමාකාරයි. රසික රසිකාවන් ඔහු වට කරගන්න අයුරු, සමරු සටහන් ගන්නා අයුරු අදහා ගන්නත් බැරි වුණා. ඒ තරමට ඔහු වටා විශාල ජනතාවක් රැස්ව සිටියා.

රඟපෑම අතින් බැලුවොත් මම හිතන්නේ දුෂ්ට චරිතයට ඔහු දුර්වලයි කියලයි. මගේ අදහස කළු චරිත රඟපෑමට ඔහුගේ රූප ස්වභාව අවාසියක් වූ බවයි. බැද්දේගම සිළිඳුගේ චරිතය පොත කියවූ අපි දුටුවේ කළු කේඬෑරි සිරුරක් හිමි අයෙකු ලෙසයි. ඔහුගේ හැඩරුව එහිදි ඔහුට අසාධාරණයක් කළා.

ගාමිණි ෆොන්සේකා

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මම දකින්නේ වීර්යයෙන්, පෞරුෂයෙන් හෙබි දැවැන්ත පුද්ගලයෙකු ලෙසයි. භාෂා ත්‍රිත්වයක කථිකත්වයේ මෙන්ම ලේඛනයේද ප්‍රවීණත්වය ඔහු ලද සුවිශේෂ හැකියාවක්.

එය එක් පුද්ගලයෙකු ලබන විශාල ජයග්‍රහණයක් ලෙසිනුයි මා දකින්නේ. සිනමා ක්ෂේත්‍රයේ ද අංශ ගණනාවක ඔහු ලද ප්‍රවීණත්වය සිනමාවට ආශිර්වාදයක් වුණා. රංගනයට ඔහු සතු වූ හැකියාව විශිෂ්ටයි. ජාත්‍යන්තරයට අභියෝගත කළ හැකි වූ අපේ අයෙක් ලෙසින් ඔහු අපට විශේෂයි.

එපමණක් නොව ඔහුගේ අධ්‍යක්ෂණය විස්මිතයි. පරසතු මල් චිත්‍රපටය එයට අගනාම උදාහණය යි. එපමණකට සීමා නොවී කළ තිර රචනය, චිත්‍ර ශිල්පය සේම ගීත රචනයද ඒ ලෙසම සුවිශේෂ වුණා.

දේශපාලන නියෝජිතයෙක් ලෙසත් කළා වූ සේවය විශේෂයි. මෙවැනි වූ පුද්ගලයන් අපට හමු වෙන්නේ කලාතුරකින්. අද ඔහු අපෙන් වෙන්ව සිටියත් ගාමිණි ෆොන්සේකා සිනමා සක්විති ලෙසින් අමරණීයයි.

ජෝ අබේවික්‍රම

ජෝ මහත්තයා ගැන කියනවා නම් ඔහුගේ තැන වෙනුවෙන් අද සිනමාවේ අපට කිසිවෙකුත් බිහි වෙලා නැහැ.

වෙනත් සිනමා ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වෙනුවෙන් ඔවුන්ගේ තැන ගැනීමට බොහෝ නළුවන් සිටියද අපේ ජෝ මහත්තයාගේ තැන වෙනුවෙන් දක්ෂයෙකු තවමත් හමුනොවීම සේම එවැන්නකු පේන තෙක් මානයේවත් නොසිටීම සිනමාවට සිදුවන විශාල පාඩුවක්.

ඔහුගේ ගැමි පෙනුම චරිත නිරූපණයේදි චරිතයන්හට ලබා දුන්නේ විශාල වටිනාකමක්.

එය දෙවියන් විසින් ඔහුට ලබා දී තිබූ වටිනා ත්‍යාගයක්. හැම නළුවෙකුටම ඕනෑම චරිතයක් රඟදක්වන්න හැකියාව ලැබෙන්නේ කලාතුරකින්.

ජෝ මහත්තයා ඒ හැකියාව ලද්දෙක්. අපේ සිනමාවේ වීරයා, හිතවතා, පෙම්වතා, දුෂ්ඨයා මෙන්ව විහිළුකාරයා වන්නට ඔහුට හැකි වුණා.

වැලිකතර, තුංමං හන්දිය, බැද්දේගම, දෑස නිසා, පුරහඳ කළුවර, සොල්දාදු උන්නැහේ, අල්ලපු ගෙදර වැනි චිත්‍රපටවලදී ඔහු එය මනාලෙසින් ඔප්පුකර පෙන් වූවා.

සිංහල සිනමාවේ ජෝට කිසිම අභියෝගයක් නැහැ. එතරම්ම ඔහු සුවිශේෂයි.

බෲස් ලී

බෲස් ලී ලෝක සිනමාවේ මා දුටු සුවිශේෂ රංගන තරුවක්. ඇසි පිය නොහෙළා බලන්න හැකි ආකර්ශනීය චරිතයක් ලෙසින් මම ඔහු දකිනවා.

ඕනෑම පිරිසක් මැද තරු ගුණය පවත්වා ගත් අඩි පහයි හයක් පමණ උස මේ චීන ජාතිකයාට වෙත අවධානය යොමු වූයේ සුවිශේෂ අයුරින්.

සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා නොදුන්නද ඔහු දායක වූ නිර්මාණයන්හි අගය නිර්මාණ රැසකින් ලද ඇගයීමට වඩා විශාල බව මගේ හැඟීමයි.

Marlowe, The Big Boss, Way of the Dragon, Enter the Dragon, Fist of Fury වැනි චිත්‍රපට සුවිශේෂ නිර්මාණ ලෙසින් ඇගයීමට පවා ලක් වුණා.

මාලන් බ්‍රැන්ඩෝ

හොලිවුඩයට දැවැන්ත බලපෑම් කළ නළුවෙක් ලෙසින් මාලන් බ්‍රැන්ඩෝ හඳුන්වන්න පුළුවන්. ඔහුගේ රංගනය සේම කතා විලාසයත් අනෙකුත් නළුවන් අතරේ ඔහු විශේෂ කරවනවා.

ඔහු සතු පෞරුෂය සේම ඔහු රංගනයේ පරාසය ඉතා ඉහළ මට්ටමකින් පැවැතීමෙන් නිර්මාණයට මාලන් බ්‍රැන්ඩෝ නම් නළුවාගෙන් ලැබුණාවූ දායකත්වයේ වටිනාකම ද ඉහළයි.

ඔහුගේ රංගන පරාසය විශාලව විහිදෙන්නක්. The Godfather, Apocalypse Now, Last Tango in Paris, Julius Caeser, The Formula  චිතුපට ඇතුළුව ඔහු රඟ පෑ අවසාන චිත්‍රපටය වූ The Score වැනි චිත්‍රපට නරඹන විට එය අවබෝධ කර ගැනීම අපහසු නොවන්නක්.

ප්‍රේ්ෂකයා මෝහනයට පත් කරන්නට සමත් වන අන්දමේ රංගන ශෙලියක් සේම පෙනුමත් මාලන් බ්‍රැන්ඩෝ සතු වුණා.

මෙලෙස ලොව පුරා ප්‍රේක්ෂකයන් තමා වෙත නතු කර ගන්නට සමත් වන්නේ අතළොස්සක් පමණි. බ්‍රැන්ඩෝ ඒ අතරේ පෙරමුණේ පසුවන හොලිවුඩ් නළුවෙක්.

චාලි චැප්ලින්

සිනහ වෙමින් ද වරෙක හඬමින්ද ඔහු ලොවම හිනැස්සුයේය. චාලි චැප්ලින් නම් වූ ඔහු කලා ලොව අපූරු, විස්මිත නිර්මාණකරුවෙකි. අපි ඔහට පටබැඳී නම් ද විවිධාකාරයි.

රස්තියාදුකාරයා, ජේත්තුකාරයා ලෙසින්ද ඔහු අප සමඟින් සිටියා. කලා ලෝකයේ පහළ වූ තරු අතර ප්‍රබල ලෙසින් තම දීප්තිය විහිදුවාලන්න මේ අපූරු තාරකාව විශේෂ වුණා.

ඔහුගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන The Kid චිත්‍රපටය, ඒ A Woman of Paris, The Gold Rush, The Cirus චිත්‍රපට මෙන්ම City Lights මෙන්ම Modern Times වැනි චිත්‍රපට සමාජයට ලබා දෙන්නේ අපූරු රසයන්.

චාලි චැප්ලින් නම් නළුවා ලෙසින් පමණක් නොව ඔහුගේ නම ඉදිරියේ කියවෙන තවත් හැකියාවන් බොහොමයක් වේ.

අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් පමණක් නොව ගීත රචකයෙක්, සංගීත නිර්මාණ ශිල්පියෙක් සේම ගායකයෙකු ලෙසින්ද සුවිශේෂ වේ. එවැනි වූ නිර්මාණකරුවෙකුගේ නිර්මාණ ඇසුරු කරන්නට ලැබීමත් අප ලද භාග්‍යයක්.

නිහාල් සිල්වා

නිහාල් සිල්වා වේදිකාව මත තම අනන්‍යතාවය අමරණීය කළ සුවිශේෂ කලාකරුවෙක් ලෙසින් මම දකිනවා. ඔහුගේ රංගනයක් ඉතාම ප්‍රබල වූවක්.

ඔහුගේ රංගන ශෙලීය තුළ නිරායසෙයෙන් චවන ගලා ඒම ඒවා මැනවින් පරිහරණය කිරීම මා දුටු විශේෂත්වයක්.

එදා ‘සාජන්ට් නල්ලතම්බි’ ලෙසින් වේදිකාවේ සිට දැක් වූ රංගනයන් හි අගනා බව පසක් වෙන්නේ එැනි වූ තවත් තරු බිහිවීමෙනි.

එදා ජනතාව මුව අයාගෙන ඔහුගේ රංගනයන් දෙස බලා සිටි අයුරු අපේ මතකයේද සිහිවටනයන්.

නිහාල් සිල්වා එදා සාජන්ට් නල්ලතම්බි ලෙසින් සිංහල වේදිකාවේ තැබූ හාස්‍ය රසය අදටත් නොනැසී එළෙසම පැවැතීම සතුටට කරුණක්.

නමුත් ඔහුට අකාලයේ ජීවිතයෙන් සමු ගන්නට සිදුවීම සිංහල වේදිකාවට කලාවට සිදු වූ විශාල පාඩුවක්.