වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




එයත් මං වගේමයි

එයත් මං වගේමයි

“මේක හරිම පුදුම සහගත දෙයක්. මෙයා මං වගේමයි.” මෙහෙම කියන්නේ බොලිවුඩයේ සුරූපි කත්‍රිනා කායිෆ්. කත්‍රිනා මෙහෙම කියලා තියෙන්නේ ඇයගේම ඉටු රුවක් අසලදීයි. මේ ඉටි රුව තියෙන්නේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ මැඩම් ට්‍රසාඩ්ස් කෞතුකාගාරයේ. එහි මෑතකදි නිර්මාණ කළ අලුත්ම ඉටිරුව කත්‍රිනාගේ.

ලෝක ප්‍රසිද්ධ පිළිම ඉටියෙන් නිර්මාණය කිරීමට මේ කෞතුකාගාරය නම් දරා සිටිනවා. ඉන්දීය සිනමා කර්මාන්තය සමග සමීපව කටයුතු කිරීම ආරම්භ කළ පසු මෙම කෞතුකාගාරයේ විශේෂ ස්ථානයක් බොලිවුඩ් සිනමාව වෙනුවෙන් වෙන් කරන්නත් ඔවුන් තීරණය කරලා. මේ වනවිටත් එහි බොලිවුඩ් තරු ඉටි පිළිම කිහිපයක් ජීවමාන ලෙසින් සිටිනවා.

මෙවර කත්‍රිනාගේ ඉටි රුව නිර්මාණයට තෝරාගෙන තියෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේ සහ පන්ජාබ් රේඩියෝහි ප්‍රසිද්ධ කරන ලද තරඟයකිනි. එහිදී ප්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන් අබිබවා කත්‍රිනා ඒ සඳහා සුදුසුකම් ලැබුවාය. කත්‍රිනාගේ ඉටිරුව මෙම කෞතුකාගාරයේ නිර්මාණය වූ හත්වැනි ඉටි පිළිමයයි. අමිතාබ් බච්චන්, ඓශ්වර්යා රායි, සල්මන් ඛාන්, රිතික් රෝෂන්, මධුරි ඩික්සිත් සහ ෂාරුක් ඛාන්ගේ ඉටි රූ මෙහි නිර්මාණය කර තිබෙනවා.

මෙලෙස ඉටි රුවක් නිර්මාණය කරන්නට නිර්මාණකරුවන් විසි දෙනෙකු සිවු මසක කාලයක් වැය කර තිබෙනවා. එක් ඉටිරුවක් නිර්මාණයට සිරුරේ මිනුම් පන්සියයකටත් වඩා ප්‍රමාණයක් ඔවුන් ලබා ගන්නවා. ඔවුන් පසුගිය වසර එකසිය පනහ පුරා මෙවැනි ඉටිරූ රාශියක් නිර්මාණය කර තිබෙනවා. මේ ඉටි රූ සඳහා යොදා තියෙන්නේද සැබෑම හිස කෙස්. සමේ වර්ණය පවා කදිමට ගලපා ගන්න ඔවුන්ට හැකියි. ඒ නිසා ඒ ඉටි රූ ජීවමාන රූප ලෙසින් පෙනීම අරුමයක් නොවෙයි. කත්‍රිනාත් තමන්නේම ඉටි රුව දෙස අදහා ගත නොහැකි ලෙසින් බලාගෙන සිටීමත් අරුමයක් නෙවෙයි.