වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කුරුණෑගල ඉම්පීරියල් ත්‍රිමාණ වේ

කුරුණෑගල ඉම්පීරියල් ත්‍රිමාණ වේ

මෙරට පැරැණිතම සිනමා සමාගමක් වන ඉම්පීරියල් සිනමා සමාගම ඔවුන්ගේ දැවැන්තම සිනමා ශාලාව වූ කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාව අද නූතන ත්‍රිමාන සිනමා ශාලාවක් බවට පරිවර්ථනය කරයි. එහි ආරම්භක චිත්‍රපටය ලෙස අද තිරගත වනුයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 නවතම චිත්‍රපටයයි. ඩිජිටල් 2ම් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් සහිත කුරුණෑගල නිව් ඉම්පීරියල් ශාලාව වයඹ පළාතේ මුල්ම ත්‍රිමාන සිනමාහලයි.

1910 දී පෝලන්ත ජාතිකයකු විසින් ජංගම සිනමා සමාගමක් ලෙස ආරම්භ කරන ලද නිව් ඉම්පීරියල් සිනමා සමාගම පළමු ලෝක මහ යුද්ධය ආරම්භයේදී එහි සේවය කළ හෑන්ස් ඇන්ඩ්‍රියාස් වැන් ස්ටැර්ක්ස් වෙත පවරන ලදී. ඒ අවධියේදී දිවයින පුරා කූඩාරම් සිනමා ශාලා විස්සකට වැඩි සංඛ්‍යාවක් ඉම්පිීරියල් මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර ඒවා ගමින් ගමට වරින්වර ගෙන යන ලදී.

පසු කලෙක ඇන්ඩ්‍රියාස්ගේ හදිසි අභාවයත් සමඟ ඔහුගේ පුත් හෑන්ස් ඇන්ටන් වෑන් ස්ටැර්ක්ස් මෙම ව්‍යාපාර පවරා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 19 ක් විය. ඒ වන විට කුරුණෑගල, රත්නපුර, යටියන්තොට, බලංගොඩ, අවිස්සාවේල්ල, මඩකලපුව, පානදුර සහ මුතූර් හි ඉම්පීරියල් සිනමා ශාලා ඉදි වී තිබිණ. 2007 වසරේදී ඉම්පීරියල් නිෂ්පාදනය කරන ලද එකම චිත්‍රපටය වූ සිකුරු හතේ ඉතාම ජනප්‍රිය විය. නව සිනමා ශාලාව සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ක්‍රිෂ්ටි වර්ගයේ ප්‍රක්ෂේපණ QSC ශබ්ද උපකරණ ද එම සිනමා ශාලාවෙහි සවි කොට ඇත.