වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අපි ගමට යන්න තීරණය කළා

අපි ගමට යන්න තීරණය කළා

දීපානි සිල්වාගේ අලුත්ම වැඩපිළිවෙළ ගැන සංවාදයක්

වීදි නාට්‍ය කලාවේ පියා ලෙස විරුදාවලිය ලත් ගාමිණී හත්තොටුවේගම නාට්‍යවේදියා ගේ ප්‍රමුඛත්වයෙන් විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ප්‍රථම රඟ දැක්වීම ඇරඹියේ අනුරාධපුර දුම්රිය පොළ වේදිකාවෙනි. එහි සිටින පැරණිම රංගන ශිල්පිනියක වන දීපානි සිල්වා අනාගත පරපුරට වීදි නාට්‍ය කලාව හිමි කිරීමේ අදහස ඇතිව හා තම ගුරුවරයා ඇරැඹි වීදි නාට්‍ය කලාව රැක ගැනීමේ අදහසින් විවිධ කටයුතු රාශියක් ඉදිරියේ දී ඉටු කිරීමට නියමිතය. ඒ පිළිබඳව පසුගිය දිනෙක ඇය සරසවිය හා කතාබහක යෙදුණා ය.

* විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ආරම්භය පිළිබඳ මතකයට නැගුවොත්

ගාමිණී හත්තොටුවේගම ගිය සුන්දර මාවත දිගේ ආයෙත් එන්න වීදි නාට්‍ය බලන්න

විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ වන්නේ 1974 වර්ෂයේදීයි. ලබන වසර වනවිට විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට වසර 40 ක් සපිරෙනවා. එය ආරම්භ කරන්නේ රංග ශිල්ප ශාලිකාවේ සිටිය නාට්‍ය කණ්ඩායමත් සමඟයි. ඒ කාලයේ සිටිය මේ කණඩායමේ ඉල්ලීම මත ගාමිණී හත්තොටුවේගම මහත්තයා ආරම්භ කළ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, නිමල් චන්ද්‍රසිරි, ගාමිණී හෙට්ටිආරච්චි, නිවිතිගල ප්‍රේමදාස වැනි කලා කරුවන් රාශියක් සිටියා. මීට මා සම්බන්ධ වුණේ 1975 වසරේදියි. එතැන් පටන් කාලයක් මා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් සමඟ සිටියා. පසුකාලීනව වරින් වර කණ්ඩායමට සම්බන්ධ වුණේ හත්තොටුවේගම සර්ගේ අවසරය ඇතිවයි.

* නමුත් පසුකාලීනව විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නියමුවා ජීවිත වේදිකාවෙන් සමු ගන්නවා. ඊට පස්සේ ඒ කණ්ඩායමට මොකද වෙන්නේ ?

සර් අප හැර ගොසින් මගේ මතකයේ හැටියට වසර තුනක් පමණ සපිරෙනවා. ඔහු සිටියා නම් කොහොම හරි මේ කණ්ඩායම ගැට ගහගෙන කරගෙන යන බව මට විශ්වාසයි. ඔහු රංගන හැකියාවන් තියෙන පුද්ගලයන් තනන්න අති දක්ෂයෙක්. පසුකාලීනව සර්ගේ තිබුණු රෝගී තත්ත්වය ආදී දේ සමඟ කණ්ඩායමේ පරිණත බවක් තිබුණේ නැති බව ඇත්තයි. සර්ගේ අභාවයත් සමඟ මට නිරන්තරයෙන්ම සිතුණ දෙයක් වුණේ මේ විදියට ගියෝතින් වීදි නාට්‍ය අපට නැතිවේ ද යන්නයි. ඒ නිසා පළමුව අප කළේ පදනමක් ගොඩනඟා ගැනීමයි.

* එදා ඇති කරගත් පදනමද මේ සක්‍රීය වී සිටින්නේ ?

ගාමිණි හත්තොටුවේගම නමින් නම් කළ ඒ පදනම ආරම්භ කිරීමට නිමල් චන්ද්‍රසිරි සහෝදරයගෙන් ලැබුණු සහයෝගයත් අප මතක් කළ යුතුයි. සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් මේ පදනමේ අවසරයෙන් තමයි වීදි නාට්‍ය කටයුතු දැන් කෙරෙන්නේ. ගාමිණී හත්තොටුවේගමට අයිති යම් දෙයක් වේද ඒ සියල්ල සිදු කරන්නේ පදනම හරහායි. මේ පදනමෙන් කෙරෙන සියලුම දේ මගේ මෙහෙය වීම යටතේ සිදු කෙරෙනවා. ඒ සඳහා කිසිවකුගෙන්වත් විරුද්ධත්වයක් ඇති වුණේ නැහැ. කණ්ඩායමේ පැරැණිම සාමාජිකාවක් විදියට සර්ගේ තිබුණු අදහස් ආදී සියල්ල මා දැනගෙන සිටියා. ඒ නිසා මේ පදනම මඟින් දිගින් දිගටම සර්ගේ අරමුණු ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට රැගෙන යෑමට අපි උත්සාහ ගන්නවා.

* ගාමිණී හත්තොටුවේගම පදනම මඟින් සිදු කෙරෙන මේ නැවුම් කටයුත්ත කුමක්ද?

සර් මිය ගියේ ඔක්තෝබර් 30 වැනිදා. 2014 වසරේ ඔක්තෝබර් 30 වැනි දා දක්වා නාට්‍ය රංග කලා වැඩමුළු මාලාවක් පැවැත්වීමට අපි තීරණය කළා. දින තුනකින් සමන්විත මේ වැඩමුළුව පළමුව අප ආරම්භ කරන්නේ මේ මාසයෙහි 25, 26, 27 දිනයන් හි මහව හීනුක් වැව අභිමානී ජන සෙවණේ දීයි. එහි යන අප ඔවුන්ට වීදි නාට්‍ය කියන්නේ කුමක්ද? සමාජයේ තිබෙන අර්බුද කෙරෙහි ඔවුන්ගේ නෙත් විවර කිරීමටත්, අවසානයෙහි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කරනවා. ඒ සංදර්ශනය සඳහා වැඩමුළුව කරන කාලයේදී ගමෙන් නාට්‍යයක් ගොඩනඟා එය සංදර්ශනය දිනයේදීම ඉදිරිපත් කිරීමටත් අප සූදානම්. අනික් කාරණය වන්නේ අප යන සෑම ප්‍රදේශයකින්ම වීදි නාට්‍ය කණ්ඩායමක් ගොඩනැඟීමයි. මේ වනවිටත් ප්‍රාදේශීය මට්ටමින් මාසයකට සැරයක් එවැනි නාට්‍ය රංග කලා වැඩ මුළු රාශියක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ඔබගේ ප්‍රදේශයේත් මෙවැනි වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් සියල්ල සංවිධානය කිරීමෙන් අනතුරුව 071-81100988 හා 077-7751909 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට දිනයක් වෙන් කරවා ගත හැකි බවත් සඳහන් කළ යුතුයි.

* ගමින් ගමට යන මේ වැඩ පිළිවෙළේ දී ඔබගේ කණ්ඩායමට මුදල් කියන සාධකය බලපෑම් කරන්නේ නැතිද?

බොහෝවිට මේ සියලු කටයුතු කෙරෙන්නේ අපගේ පෞද්ගලික වියදමින්. වීදි නාට්‍ය කියන්නේ මුදල් අය කර පෙන්විය යුතු දෙයක් නොවන නිසා අප ඒ සඳහා මුදල් අය කරන්නේ නැහැ. නමුත් යම් සංවිධායකවරයෙක් අපගේ ගමන් ගාස්තු ගෙවන්නේ නම් අප එය කෘතඥ පූර්වකව භාර ගන්නටත් කැමැතියි. ඒ වගේම අප කණ්ඩායම මුදල් කිසිවක් අය නොකරන නිසා ඒ සිටිනා කාලය ඇතුළත අවශ්‍ය නවාතැන් පහසුකම්, ආහාරපාන ආදී සියල්ල සැපයීමටත් ඔවුන්ට සිදුවෙනවා. පාසල් මට්ටමින් වුණත් වීදි නාට්‍ය සංදර්ශන කරන්නට අප වඩාත් කැමැති බවත් කිව යුතුමයි.

* වර්තමානයේ පවතින දියුණු තරගකාරී සමාජයේ දී වීදි නාට්‍ය සදහා මුදල් මූලික නොවීම හා දියුණු තාක්‍ෂණය හමුවේ අනාගතයේදී අප අතරින් මෙවැනි වටිනාකමක් හිමි වූ නාට්‍ය කලාවක් අභාවයට යන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?

මේ තත්ත්වය දැනටමත් පවතින තත්ත්වයක්. පෞද්ගලික මුදල් යොදා ගනිමින්, විවිධ ආයතනවලින් ලැබෙන මුදල් උපයෝගී කරගනිමින් මෙතෙක් පවත්වාගෙන ආ මේ කටයුත්ත දිගටම කරගෙන යා නොහැකි බව අපට වැටහුණා. ඒ නිසයි අපි පදනමක් ගොඩනඟා ගත්තේ. ඒ පදනම වටා විශාල පිරිසක් එක්රොක් වෙලා සිටිනවා. ඒ අයත් සමඟ එකතුවෙලා පදනමට මූල්‍යමය ශක්තියක් ලබාදීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි දී අපගේ පරමාර්ථයට හානි නොවන අයුරින් ඒ කටයුතු සංවිධානය කිරීමට අපි උත්සාහ ගන්නවා. එවිට අපි නැති කාලෙක වුණත් අනාගත පරපුරට වීදි නාට්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ලැබේවි.