වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මහරජ අජාසත් ඇරඹුන දා

මහරජ අජාසත් ඇරඹුන දා

සුනිල් ටී. චිත්‍රපට සමාගමේ 57 වැනි සිනමා නිර්මාණය ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ ගංගාරාම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. මෙහි කථාව, දෙබස් සහ අධ්‍යක්ෂණය සනත් අබේසේකරයන්ගේය. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ චිරාගත පොල්තෙල් පහන් දල්වා උත්සවය මෙහෙය වන ලද්දේ කුමා අත්තනායකයි.

කාලයකට පසු ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මෙහි චරිතයකට දායක වීම විශේෂ වූ කරුණකි. ඇය ඛේමා දේවියගේ චරිතයට ජීවය දෙන්නීය. බිම්බිසාර රජුගේ චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගයි. නව පරපුරේ ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක අජාසත්ත රජුගේ චරිතය සඳහා ද ‘උදයිබද්‍රා’ කුමරියගේ චරිතය සඳහා නව පරපුරේ නිළි හෂිනි ගෝනගල ද තෝරා ගෙන තිබුණි. මීට අමතරව ගීතා කාන්ති ජයකොඩි, නදීකා ගුණසේකර, ජයනි සේනානායක, නලීන් ප්‍රදීප්, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ජී. ආර්. පෙරේරා, රොබින් ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, ජයරත්න ගලගෙදර, ඥනාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි සහ සංජය අමරසිංහ සෙසු චරිත සඳහා තෝරා ගෙන තිබුණි.

මෙම සිනමා නිර්මාණයේ ලකී අතාවුද සහාය අධ්‍යක්ෂවරයායි. අංග රචනය සමීර මධු කිෙඳල්පිටියගෙනි. හීනටිගල ප්‍රේමදාස මෙහි ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණකරුවායි. කැමරාකරණය කුමාර තිලක්ගෙනි. විශේෂ ත්‍රිමාණ දර්ශන තිලාන් කුරේගෙනි. දෙවන සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධිකයි. කොණ්ඩා සැකසුම සෑම් පෙරේරාගෙනි. නන්දා නන්දි ජයකොඩි මෙහි සංස්කරණ ශිල්පිනියයි. සංගීතය සෝමපාල රත්නායකගෙනි. වසන්ත කුමාරවිල මෙහි සටන් අධ්‍යක්ෂවරයායි. නිෂ්පාදන කෘත්‍යාධිකාරි සුනිල් ධර්මසිරියි. නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රගීත් ධර්මපාල වන අතර මෙහි නැටුම් අධ්‍යක්ෂවරයා චන්දන වික්‍රමසිංහයි.