වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් විවාහ වෙන්න අදහසක් තියෙනවා

ආයෙත් විවාහ වෙන්න අදහසක් තියෙනවා

රොහානි වීරසිංහ

‘කිසිම දෙයක් අහන්නේ නැති උද්ධච්ච ගැහැනියක්’

හිරු රූපවාහිනියේ ‘ හිරු තනිවෙලා’ නරඹන නරඹන්නන් බොහොම දෙනෙක් ‘මාලිනී’ ගැන කතා කළේ එහෙමයි. ඒ තරමටම ‘මාලනී’ ව මේ දවස්වල නරඹන්නන්ගේ සිත්වල අප්‍රසාදයට පත්වුණු චරිතයක්. කවුද මේ මාලිනී ? අපි සොයන්න ගත්තා.

‘ඒ මාලනී රොහානි වීරසිංහ’

අපට පිළිතුරු ලැබුණා. ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍යයේ රාජිනිගෙන් ආරම්භ කළ මේ නපුරු ගැහැනියගේ රඟපෑම ඈ තවමත් රඟපානවා.

‘මට තවමත් ලැබෙන්නේ ඒ වගේ චරිතම තමයි.’

රොහානි කිව්වේ සිනහ වෙවී.

* ‘ඇත්තටම ඔයා මේ තරමටම නපුරුද?’

නරඹන්නන්ගේ සිතේ තෙරපෙන ප්‍රශ්නය මා ඇගෙන් විමසුවා.

අනේ පෞද්ගලිකව මම ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට බොහොම දෙනෙක් හිතාගෙන ඉන්නේ මම ඒ වගේ කෙනෙක් කියලයි. දිගු කාලයක්ම මට රඟපාන්න ලැබුණේ ඒ වගේ චරිත නිසා ප්‍රේක්ෂකයන් එහෙම හිතනවා ඇති තමයි. නපුරු, දඩබ්බර, උඩගුකමෙන් යුක්ත මේ චරිතවලට මා කළ රඟපෑමෙන් ලැබුණු පුහුණුව නිසාමදෝ බොහෝ අධ්‍යක්ෂවරු ඒ වගේ චරිතවලට මට කතා කරනවා. ඒ නිසා මා ඒ චරිතයට කොටු වෙලා. බොහෝ නථ නිළියන් ද අද ඒ ඒ චරිතවලට කොටුවීමක් දකින්නට හැකියි.

* ඒ කොටුවීමෙන් ඈත් වුණොත් ඔබ රඟපාන්න කැමැති මොනවගේ චරිතයක්ද ?

හොඳ පෞර්ෂයක් තියෙන දේශපාලනඥවරියකගේ චරිතයක්, වීරවරියකගේ චරිතයක් රඟපාන්න මා කැමැතියි. ඊට අමතරව ගමක රා මැදලා ජීවත්වන, ජීවිතයට බොහොම අමාරුවෙන් උරදෙන කාන්තාවකගේ චරිතයක් රඟපාන්න ඇත්නම් කියලා හිතෙනවා.

* ඔබට රංගනය කියන භූමිකාව වගේම නිෂ්පාදනය කියන භූමිකාවත් හොඳට හුරු පුරුදුයි. එහෙම නේද ?

පසුගිය කාලයේ රංගනයෙන් වගේම නිෂ්පාදිකාවක් විදියටත් නිර්මාණවලට දායක වුණා. ඒ ‘චක්‍රාංගි’ හා ‘දිය සෙවනැලි’ කියන ටෙලි නාට්‍ය සඳහායි. ඒ වගේම මා නිෂ්පාදනය කළ ‘තුෂාරයෙන් දිය දෝතක්’, ‘සඳ වසන්තය’ කියන ටෙලි නාට්‍ය තවමත් විකාශය වුණේ නැහැ. ඒ නිර්මාණ විකාශය වීමට පුංචි පසුබෑමක් තිබෙන නිසාම ඒ පිළිබඳ මගේ හිතේ තිබෙන්නේ දුකක්. නිෂ්පාදකවරයෙක් ආර්ථික වශයෙන් මුදල් නිර්මාණයක් සඳහා යට කරන්නේ බලා පොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව දිනෙන් දිනම කල් යනවා කියන්නේ නිෂ්පාදිකාවක් ගැටලු රාශියකට මුහුණ දෙනවා කියන එකයි. කොහොම නමුත් නැවත කිසිම දිනෙක නිෂ්පාදකවරියක් ලෙස පැමිණෙන්න කිසිම අදහසක් මගේ නැහැ.

* මේ ආකාරයෙන් ටෙලි නාට්‍යයක් විකාශය වීමට දිගු කාලයක් ගත වන්නේ ඇයි ?

අපේ රටේ වැඩිපුර ප්‍රමාණයක් තිබෙන්නේ පෞද්ගලික නාලිකායි. ඒ නාලිකාවල නාට්‍ය පෙන්වන විකාශන කාලයට වඩා වැඩි ප්‍රමාණයක් ටෙලි නාට්‍ය නිෂ්පාදනය වීම අද දකින්නට ලැබෙන කාරණයක්. මේ කාරණයත් ටෙලි නාට්‍ය පෝලිමක් ඇති වීමට එක් හේතුවක්. අනික් කාරණය වන්නේ රූපවාහිනි ආයතනය මගින් ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමයි. ඒ නිසා පෞද්ගලික නිෂ්පාදකවරයෙක් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය මිල දී ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ මද වශයෙන්. ඒ අතර මේ පසුබිමේ දේශපාලනයක් තිබෙනවා.

* මෙගා ටෙලි නාට්‍ය ඔස්සේ දිනකට රූගත කරන ටෙලි නාට්‍ය කොටස් ප්‍රමාණය වෙනස් වෙලා. මීට වගකිව යුත්තේ නිෂ්පාදකයන් බවයි අපට පෙනෙන්නේ. ඔබත් නිෂ්පාදිකාවක් ලෙසත් මීට වගකිව යුක්තෙක් ද ?

මා මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමුවුණේ නෑ. ඒ නිසා කිසිවකුටත් මට ඔය චෝදනාව නඟන්නට බැහැ. මමත් මෙගා ටෙලි නාට්‍යවල රඟ පෑ නිළියක් විදියට ඔය ප්‍රශ්නයට මුහුණ දුන්නා. කෙටි ටෙලි නාට්‍යයකදී දිනකට කොටස් දහයක් පමණ රූ ගත කරනවා නම් මෙගා ටෙලි නාට්‍යයකදි කොටස් විස්සක් පමණ දක්වා රූගත කිරීම් සිදු වෙනවා. එහිදී වඩාත් අපහසුතාවයට පත් වන්නේ න¼ථ නිළියන්. මෙයින් යම් ලාභයක් නිෂ්පාදකට හිමි වෙනවා තමයි. නමුත් මා නිෂ්පාදිකාවක් ලෙස එවැනි කටයුතුවල නිරත වන්නේ නැහැ.

* නිෂ්පාදකවරියකගේ භූමිකාවට පිවිස සිටියත් ඔබව බොහෝදෙනා හඳුන්වන්නේ නිළියක් විලසින්. ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍යයේ දී ලැබූ ජනප්‍රියත්වය ඔබ රඟ පෑ අන් චරිතවලට ලැබුණේ නැහැ නේද?

මම හිතන්නේ ඒ කාලයේ ආව ඉන්දීය ටෙලි නාට්‍ය අතරින් ලංකාවේ නිෂ්පාදනයක් ලෙසයි ‘කිඳුරංගනා’ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ. ඒ නිසා රාජිනිගේ චරිතයට විශේෂත්වයක් හිමුවුණා කියලා හිතන්න පුථවන්. දිගින් දිගටම නපුරු චරිත ලැබුණත් රාජිනී තරමටම මා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ. ඒක ඇත්තයි. ඒ දවස්වල බොහෝදෙනා ඉන්දීය ටෙලි නාට්‍ය බලන්න හේතුවක් වුණේ එහි ඇඳුම් ආභරණ විදි පිළිබඳ බලන්නයි. ඒ නිසා දිගින් දිගටම ඒ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් බැලුව නිසා මේ චරිතය ඔවුන් අතර ජනප්‍රිය වුණා.

* ඔබ තවමත් සුන්දර කාන්තාවක්. හැමදාම ඔහොම ඉන්නද අදහස් කරන්නේ ?

කාන්තාවක් වුණාට පස්සේ විවාහයක් පිළිබඳ සිතිය යුතු බව ඇත්තයි. නැවතත් විවාහ වීමේ අදහසක් සිතෙහි තිබෙනවා.’ ඒ පිළිබඳ සියලු තොරතුරු පසුව සරසවියට කියන්නම්.

* ඇයි ඔබ ඔහුගෙන් වෙන්වුණේ ?

මා විවාහ වූයේ විදේශීය පුද්ගලයකු සමඟ නිසා විවිධ නොගැලපීම් අපි අතර තිබුණා. අපි සංස්කෘති දෙකක නිසා ඒ නොගැලපීම් සමඟ මට එකඟ වෙන්න නොහැකි වුණා. ඒ නිසා අපි කතාබහ කරලා වෙන්වුණා. විදේශිකයෙක් වුණත් ඔහු හොඳ කෙනෙක්. මේ සියල්ල මා උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා.

* දික්කසාද වුණු කාන්තාවකට සමාජයේ තනිව සිටින්න ලෙහෙසි පහසු නෑ. විශේෂයෙන්ම නිළියකට විවිධ බලපෑම් වැඩියි. ඔබටත් විවිධ බලපෑම් එල්ල වෙලා තිබෙනවා ද?

මම දැනට ඉන්නේ මගේ අම්මත් සමඟයි. සහෝදරයන් දෙදෙනාගේ රැකවරණය මට තවමත් ලැබෙනවා. ඒත් මටත් විවිධ බලපෑම් එල්ල වුණා. බොහෝ දෙනෙක් නිතරම දික්කසාද වුණු ගැහැනියක් දෙස බලන්නේ වැරැදි හැඟීමකින්. ඒ වැරැදි හැඟීම නිසා බොහෝ කාන්තාවන් විවිධ පීඩාවන්ට ලක් වෙනවා. නමුත් මේ සියලු පීඩාවන් පැමිණෙන්නේ ආර්ථිකයත් සමඟයි. එවැන්නියක් ආර්ථික අතින් ශක්තිමත් නම් එල්ල වන පීඩා ජයගත හැකියි. එහෙම නොවුණොත් විවධ ප්‍රශ්නවලට ඇයට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතින් මා වාසනාවන්තයි. මා ආර්ථික අතින් ශක්තිමත් ගැහැනියක්. ඒ නිසා සියලු බලපෑම් ජය ගනිමින් ජීවිතය ජය ගන්න මා උත්සාහ කළා.

* ඉදිරියේ දී ඔබ අපට මූණ ගැසෙන්නේ කුමන නිර්මාණ වලින් ද?

මට රංගනය සඳහා ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර දිලුක ප්‍රසාද්ගේ ‘ක¼ථ සෙවනැල්ල’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා රංගනයෙන් සහභාගි වෙනවා.