වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේ

රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේ

සිරස සුපර් ස්ටාර් - 05 හිදී ඔබ හමු වූ නාසියාගෙන් අලුත් ගීතයක්

රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේ

පායා සිනා නොනඟා ආකාශයේ

පෙර ආත්මයේ ගෙන ආ අපේ

මල් සිහින ඡායා සේදී ගියේ

දෙසිතකින් නොවේ පිදුවේ

මං ආදරේ . . .

මං නිසාම ආදරේ - වෙන් කලා කියා සිතේ

මේ කුනාටු මාවතේ – මං මුලා කළේ කෙසේ

ඔබට කී ලෙසේ ඔබේ දිව්‍යාංගනා

සසල වී ඉඳී ලොවක කල්පනා

දෙසිතකින් නොවේ පිදුවේ

මං ආදරේ . . .

හා පුරාම ප්‍රේමයේ - මල් නෙලා නෙලා දිදිී

ජීවිතේම ඒ වගේ – ඉන්නවා කියා අපී

සෑදූ මන්දිරේ කළේ මන්ද දූවිලි

චණ්ඩ මාරුතේ මල් පහන් නිවා

දෙසිතකින් නොවේ පිදුවේ

මං ආදරේ . . .

මේ ගීතය ඔබට ගයන්නේ නාසියා නයීම්ය. ඇගේ මියුරු ස්වරය සිරස සුපර් ස්ටාර් – 5 නැරැඹූ පේ‍්‍රක්ෂකයන්ට නම් අමුත්තක් නොවේ. සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ අන්තිම දොළොස් දෙනා අතරට ආ නාසියා කාගෙත් සිත් දිනාගත් තාරකාවකි.

* නාසියා කවුද මේ ‘රන් තාරකා’ කියලා කියන්නේ?

ඒක තමයි මගේ අලුත්ම ගීතය. ළඟදීම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ ගීතය අසන්නට ලැබේවි. මේ මගේ පළමු ගීතය මුලින්ම විකාශය වෙන්නෙත් සිරස නාලිකාවේයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගී පදවලට සංගීතය සැපයුවේ සරත් ද අල්විස් කියන ප්‍රවීණ සංගීතඥයා.

* ‘රන් තාරකා හැඬුවා’ ඔබගේ අත්දැකීමක් ද?

මගේ අත්දැකිමක් නම් නොවෙයි. මේ දවස්වල යන ගීතවලට හරි යන්නයි ඒ ගීතය නිර්මාණය වුණේ. නමුත් මේ කාලයේ නිතරම අසන්නට ලැබෙන ගීතවලින් තරමක් වෙනස් විදියකට ලියැවුණු, සංගීතය නිර්මාණය වුණු හා ගැයුනු ගීතයක් තමයි ‘රන් තාරකා හැඬුවා’ කියන්නේ. ඒ වෙනස්කමට උචිත අයුරින් වඩාත් හොඳින් ගීතයක් ගයන්න පසුබිම නිර්මාණය කර දුන්නේ සරත් ද අල්විස් සංගීතඥයා. ඔහු මට උවමනා කුමක්දැයි හොඳින් දැනගෙන සිටියා. ඒ නිසා මා විශ්වාස කරන්නේ මේ ගීතය මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගනීවි කියලයි.

* ප්‍රේක්ෂකයන් ගැන ඔය තරම්ම ඔබට විශ්වාසයක් තිබෙනවාද?

සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ තරගකරුවෙක් විදියට තරග වදින අවස්ථාවේදී මුල ඉඳලාම වගේ ප්‍රේක්ෂකයෝ මා සමඟ සිටියා. ඔවුන්ගෙන් ලැබුණු ධෛර්මත් කිරීම් මට රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. අන්තිම දොළොස් දෙනා අතරට මට එන්නට හැකියාව ලැබුණේ ඔවුන්ගේ ඒ මඟ පෙන්වීම නිසා බවත් කියන්නම ඕනෑ. තරගයෙන් ඉවත් වුණත් මම මොනවද කරන අලුත් වැඩ කටයුතු කියමින් නිතරම ලිපි එවූ, දුරකතන ඇමතුම් වගේම එස්. එම්. එස්. එවූ ඒ සියලු දෙනාටම මා ස්තූතිය පළ කරනවා.

* කොහොමද ඔබ දන්නේ ඔබ වඩාත් දක්ෂ ගීත ගයන්න කියලා?

මගේ මතකයේ විදියට ගීතයක් ගයන්න මා මුලින්ම වේදිකාවට නැග්ගේ මට අවුරුදු හතේදී. ඒ අපේ ගෙදර ළඟම තිබුණු මඟුල් ගෙදරකදියි. අම්මලාට හොරෙන් ගීතය කියන්න ගියත්, ගීතය ගයලා ඉවර වුණාට පස්සේ මා ගීතය ගැයූ බව හැමෝම දැන ගත්තා. එදා මම කිව්වේ හින්දි ගීතයක්. පුංචි කාලයේ ඉඳලා හින්දි ගීතවලට මම බොහොම කැමැතියි. මට හින්දි ගීත ගයන්න විතරක් නෙමෙයි ලිියන්නත් හැකියාවක් තිබෙනවා.

* ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් අරගෙන තිබෙනවාද?

මා ලියූ හින්දි ගීතයකට තනුවක් දමලා ගයලා තිබෙනවා. ඒත් දැන්ම ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න මා අදහස් කරන්නේ නැහැ. ඒකට තව කාලය තිබෙනවා.

* සිරස සුපර ස්ටාර් – 5 තරගයට පෙර ඔබ සිටියේ විදේශ ගත වෙලා නේද?

මා විදේ්ශ ගතවෙන්නේ අවුරුදු හතේදී විතර වයසේදී. ඒ අධ්‍යාපන කටයුතු සඳහායි. ඒත් වරින් වර ලංකාවට ඇවිත් යන්න මා අමතක කළේ නැහැ. ඒ අතරදි තමයි මට සිරස සුපර් ස්ටාර් තරගය නරඹන්නට ලැබෙන්නේ. කවදා හරි මම ඒ තරගයට ඇතුළ් වන බව සිතුවේ ඒ තරගය නැරැඹූ දිනයේදියි. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ලංකාවට ආව මා 2012 සිරස සුපර් ස්ටාර් තරගයට ඉල්ලුම් කළා.

* ඔබ සංගීතය පිළිබඳ හැදෑරීමක් කළාද?

මම සංගීතය ඉගෙන ගත්තේ මර්වින් ප්‍රියන්ත සර්ගෙන්. බටහිර සංගීතය වගේම දේශීය සංගීතයත් හැදෑරුවා. ගායනයේදී මේ හැදෑරීම් බොහොම වැදගත්.

* ඔබ ඒ තරගයේදී ගායනා කරන්න නිතරම තෝර ගත්තේ පැරැණි චිත්‍රපටවල ගීතයි. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඒ ගීතවලට මම කැමැතියි. ඒ වගේම ඒ ගී තවමත් මිනිස්සුන්ගේ හදවත්වල ජීවත් වෙනවා. විශේෂයෙන්ම ඇන්ජලින් ගුණතිලක කියන අපේ ප්‍රවීණ ගීත කෝකිලාවියගේ ගීතවලටයි මා වඩාත් ප්‍රිය කරන්නේ.

* ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?

මෙ වන විට මම ‘කඳුලේ නිසා’ කියන ගීතයත් එළි දැක්වීමට සූදානමින් සිටිනවා. එහි සංගීතය කලේ සංඛ දිනෙත්. ගී පද දිලාන්. විෂුවල් වැඩ කටයුතුයි මේ දවස්වල කෙරෙන්නේ. ඒ වගේම සිංහල ලංකා ඩොට් කොම් කියන වෙබ් සයිට් එකේ පැතුම් එරන්ද සමඟ ගීතයක් සඳහා මම යුග ගායනයෙන් එක්වෙනවා.

පවුලේ හැමෝටමත්, කතරගම මගේ යහළුවන්වත් ඇතුළු නම් කීී නොකී සියලු දෙනාටමත් මම ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.