වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

වත්සලාගේ නිවේදන කටයුතු අසාර්ථකයි

වත්සලා දියලගොඩට,

නිවේදන කටයුතුවලදී නම් ඔබ අසාර්ථක යැයි සිතේ. රගන ශිල්පිණිය වූ පමණින් නිවේදිකාවක විය හැකි යැයි නොසිතිය යුතුය. ඒ සඳහා පිරිපුන් වාග් චාතුර්යක් තිබීම අනිවාර්යය. නරඹන්නන්ගේ සිත් බැඳ තබාගත හැක්කේ එසේ වූ විටය.

සුජාතා ගුණවර්ධන

කඩවත

ස න් ෆ් ල ව ර්  නියමයි

ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම ලෙස රසික සැමගේ සංගීත මනදොල පින වූ සන්ෆ්ලවර් අද අප කිසිදා නොසිතූ ලෙස වෙනස් වී තිබුණත් එදා සන්ෆ්ලවර් සුමියුරු සත්සර මුසු කොට ගායක ගායිකාවන් ගැයූ ගීත අදත් නිතරම අපට අසන්නට ලැබේ. සැඟ වී සිටි බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත විශාල පිරිසක් ආදරයෙන් වැළඳ ගත්තේ සන්ෆ්ලවර් නිසයි. ඒ වගේම ආර්ථික ගැටළු මත සිටි ප්‍රවිණයන් ආර්ථික අතින් සාර්ථකත්වයක් ලැබුවේ සන්ෆ්ලවර් රිද්මයට ගැයුවට පසු බව ඉතා වගකීමෙන් කිව හැකිය.

සුසන්ත සම්පත්

පිටිගල

ටෙඩීට සුබපැතුම්

දෙවන වරට පවත්වන ලද දෙරණ ලක්ස් සිනමා උළෙලේදී හොඳම සටන් අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍ර වූ ටෙඩී විද්‍යාලංකාර සැබවින්ම සටන් අධ්‍යක්ෂවරයකි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

පිනා හොඳයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කෝරළේ මහත්තයා 2 ටෙලි නාට්‍යයේ පිනාගේ චරිතය රඟපාන මහින්ද පතිරගේ සියලු ප්‍රේක්ෂකයින් පිනවන අයුරින්ම එම චරිතය නියමාකාරයෙන්ම ඉටු කිරීම ගැන අපගේ සතුට. පිනා නම් නියමෙට නියමයි ඔන්න.

තිලකරත්න විල්වල

කෑගල්ල

රුක්මණී දේවිය අප හැර ගොස් වසර තිස් පහක් සපිරීම නිමිති කර ගනිමින් අප පාඨකයන් කිහිප දෙනෙකු ඇයගේ ගුණ අනුස්මරණය කළේ මෙසේය.

හෙළ සිනමාවෙ මුල් නිළි රුක්මණි දේවි
හෙළ සංගීතේ රස කළ ගී මිහිරාවි
සමුගෙන අපෙන් තිස්පස් වසරක් වේවි
එනමුදු නාමෙ අමරයි රුක්මණි දේවි

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත

වත්තල

රුක්මණි දේවිය සිය රසික රසිකාවන්ට දැක් වූයේ නිහතමානී ආදරයකි. ඇය රංගනයට මෙන්ම ගායනයට ද එක සේ දක්ෂතා දැක් වීය. ඇය අප කාටත් ඩේසි අක්කාම විය.

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

කඩවුණු පොරොන්දුවෙ ආදර කැදැල්ලේ
ළමු නිළිය වී සිනමා සඳැල්ලේ
රිදී තිරය මත හිනැහී නිදැල්ලේ
ගෙවූ දිවිය නිම විය මඟ තුඩැල්ලේ

සැමියා සමඟ සුහදව දෙසිතක් යාවී
ගත කළ දිවිය කාටත් අදහස් පාවී
මතකය අතර නාමෙට ආයුෂ බෝවී
අමතක නොවේ කිසි දින රුක්මණි දේවී

සමන් ගාල්ලගේ

කැටපළ

කුමාර, මිහිර රඟපෑම හොඳයි

ස්වාධීන රූපවාහිනියෙන් සතියේ දිනවලදී රාත්‍රී 8 ට විකාශය වන සිහින විලක් ටෙලි නාට්‍යයේ රඟපාන ගුරුන්නාන්සේ කුමාර තිරිමාදුර සහ පොඩිරත්න, මිහිර සිරිතිලකගේ රඟපෑම හරිම ලස්සනයි.

මනහර මහින්ද

බෙලිගල

ඔබගේ රුව දිස්වන සෑම විටම ඔබ ගැන මතකය යළි යළි අවධි වේ. ඇයට සම කිරීමට මෙතෙක් කිසිදු නිළියක හෝ ගායිකාවක බිහි වී නැත. සුර දූතිකාවක් වී අප අතරින් නික්මී ගියද සැමදා සැම විටම මැවිලා පෙනේවි රූපය දිවා රෑ.

සිල්වෙස්ටර් විජයකුලසූරිය

පියතුමා

ශාන්ත ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුර

දංකොටුව

මේ චිත්‍රපට ඕනෑ

තිස්ස නාගොඩවිතාන මහතාණෙනි, ඔබතුමා විසින් සංරක්ෂණය කරන ලද සුනීතා, සැඩසුළං, සරදම, සුදු දුව, සිතක මහිම, දීපශිඛා යන චිත්‍රපටවල නව පිටපත් සකසා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරවන්න.

එච්. ඒ. ජයසේන

රනාල

ප්‍රතිචාර සඳහා වෙනස් වූ අදහස් නිතර අපට එවන්න. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය, තිරගත වන චිත්‍රපට, ප්‍රචාරය වන ගීතයන්හී ඔබ දකින ගුණ අගුණ අදහස්වලට මෙතැන විවෘතය.

ප්‍රතිචාර 0752805047 අංකයට ක්ෂණිකව එවන්න.
තැපැල් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කළ හැකිය.

ජූඩ් රොගෑන්ස් අයියේ ඔයාගේ සිංදු අහද්දී ඇස් දෙකට කඳුළු එනවා. එච්චරටම ඒවා සංවේදියි.

සකුරා

මීගමුව

ෂා එෆ්. එම්. යනු අද ඊයේ පටන් ගත්තු නාලිකාවක් නෙවේ. එහි සෑම අංගයක්ම කොපි කරන එක්තරා නාළිකාවක් ඇත. එය හරිම ලැජ්ජා සහගතයි. අන් නාලිකාවක් කොපි නොකොට තමන්ගේ ස්ව නිර්මාණ කරන මෙන් ඉල්ලා සිටිමි.

අකලංක

කිරිඳීවැල

සචිත් විනෝද් චතුරංග දක්ෂ ගීත රචකයෙකි. ඔහු හරිම ජනප්‍රියයි. සචිත් ලියූ බඹර නාදේ ගීතය මං බොහොම ආසවෙන් රස විඳීනවා.

ෆාතිමා

වැලිගම

සුරාජ් මාපා අයියේ, කවදා ද ඔයාගේ නර්ථන ප්‍රසංගයක් ආයේ දක්නට ලැබෙන්නේ. අපි ඔයා නටනවා බලන්න හරිම ආසයි.

විරාජ්

මාකඳුර

නිරෝෂා විරාජිනීගේ හඬ රිදී සීනුවක් වගේ. දශක දෙකක් ගී ගැයුවත් ඔබෙ කටහඬ කවදාවත් රසිකයන් ප්‍රතික්ෂේප කළේ නැහැ.

ශානි වීරසිංහ

අනුරාධපුර

ඇයි අපේ ක්ෂේත්‍රයේ අය පූජා එක්ක මෙච්චර ජෙලස්? හොඳට මතක තියාගන්න කලාවට ජාති බේද නැහැ. ජැක්ලයින් ඉන්දියානු ස්ටාර්ස්ලා එක්ක රඟපානවා. ඒක නිසා අපේ නිළියන් ඔතරම් පටුවන්න එපා.

ෂාමිලා

ගම්පහ

පෝයාදාට බොහෝ නාලිකාවල විකාශය වන පොහොය නාට්‍ය ඒකාකාරී බවින් යුක්තයි. එහෙම නොවී විවිධත්වයෙන් යුතු ධනාත්මක චින්තමව හිතන්න පුළුවන් නාට්‍ය දැන්වත් ඉදිරිපත් කරන්න.

රවී වසන්ත

මීටියාගොඩ

මුළු මහත් ශ්‍රී ලංකාවාසී සංගීත ලෝලීන්ගේ සිත ඇදගන්නා සුළු මනහර ගීත ගැයු අල්හාජ් මොහිදීන් බෙග් ඇදහිය යුතු චරිතයකි.

සුහෙල්

නුවරඑළිය

භාග්‍ය හෙට්ටිආරච්චි, ඔයා හරිම හුරුබුහුටි නිළියකි. එමෙන්ම ඔබ ගායිකාවක බව දන්නේ මුතු පබළු ගීතය නිකුත් කිරීමෙන් අනතුරුවයි. එය ඇසූ මට හිතුණේ ඔබව වඩාත් සුදුසු ගායනයට ලෙසය.

නදීරා

ගම්පහ

දයාසිරි ජයසේකර මුතුපලස නාට්‍යයේ තේමා ගීතය ගයන අන්දම අපව මනමෝහනයට පත් කරනවා. අපි ඒ නාට්‍යයත් බලන්නේ ඒ ගීතය අහන්න ඕන හින්දමයි.

ප්‍රදීපිකා

උඩතලවින්න

සාරංග දිසාසේකරගේ මා දෙනෙත් පියවිලා ගීතය ඔහුගේ පියාගේ ශෛලියෙන් මිදී නිර්මාණය වී තිබීම ගැන සතුටුයි. මොකද එතකොට ඔබ අනුකාරකයකු නොවන බව සිතිය හැකි නිසා.

මානෙල්

කළුවාමෝදර

ජාතික රූපවාහිනියේ ඉස්සරහට යන්න ගත් උත්සාහය ප්‍රශංසනීයයි.

නිශාන්ති ගාල්ලගේ

කඳාන

වික්ටර් රත්නායකයාණෙනි,

ඔබ අද ද හෙට ද මතුවට ද ගීත ලෝකයේ තනි තරුවයි. එහෙත් එහි රශ්මිය ප්‍රබලයි.

දයාරත්න

බොරලැස්ගමුව

සුනිල් පෙරේරා සහ නලීන් පෙරේරා එකට වේදිකාවේ සිටින ප්‍රසංගයක් දකින්නට ආසයි. එහෙම පැවැත්තුවොත් කට කැපෙන්නම සෙනඟ ඒවි.

මිහිරි

වත්තල

ගොපළු යකා කොච්චර අපව විනෝදයට පත් කළා ද කිව්වොත් නැවතත් රන්කෙවිට 2 නරඹන්න හිතුණා. උදයකාන්ත මහත්තයෝ මින් නොනැවතී රන්කෙවිට 3 ත් කරන්න.

ශෂී, හංසිකා, මුතු

කටුගස්තොට

අතීතය වර්තමානය අනාගතය යන තුන්කල්හිම රසික හදවත් තුළ අමරණීය යුගයක් සනිටුහන් කළ ගීතයෙන් පද රචනයෙන් මෙන්ම තනු නිිර්මාණයෙන් කලා කෙත අස්වද්දන්නට පුරෝගාමී වූ සදාදරණීය හිතවතානෝ ක්ලැරන්ස් විජේවර්ධනයන් සිහි කිරීමකි.

චතුරංග සම්පත්

ස්වයංජාත වගේම සුදත් රෝහණගේ ගිරිකුළත් සම්මානයට පාත්‍ර වේවා.

නිශාන්ත

කළුබෝවිල

ඈ තාරකාවී වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ ටිරෝන් මද්දුමගේ අද කෝ?

ලක්මාලි

වරකපොළ

අතුල සහ සමිතා ආයේ එක්වනවාට අපි පොඩ්ඩක්වත් කැමැති නැහැ.

මනුරංග

කටුනායක

ජීවන් කුමාරතුංග මහතාණෙනි, ඔබ අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

අනුලාවතී

කුඩගම

අංගනා ටෙලි සිතුවමේ අගය කියා නිම කළ නොහැක. හරසුන් මෙගා රැල්ලට රූපමය විසඳුමක් ලෙස අංගනා හඳුන්වා දීමට පුළුවන.

ජයන්ත

පස්සර

වසන්ති රංවල

ඔබ විශිෂ්ට රංගන ශිල්පිණියක්. එමෙන්ම වසන්ති රිදී තිරයටත් ආලෝකයක් එක් කරනවා.

චමින්ද

අප්පුගෙවත්ත

කෝරළේ මහත්තයා 2 ටෙලියක් පමණයි.

බිනරමලී, බිනරි සහ සුදු බණ්ඩා, මුවන්පැලැස්ස සහ කදිරා අතරේ කෝරළේ මහත්තයා අසරණයි. ගැමි බවක් ගෑවිලාවත් නැහැ.

සමන් ගාල්ලගේ

කැටපළ