වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අපේ රටේ මේ තරම් තරු බිහි වෙන කොට ඉදිරියේදී නරඹන්නන් ආනයනය කරන්නට වේ යැයි සිතෙනවා නේද?

සුජාතා ගුණවර්ධන – කඩවත

අහසේ තරු තිබුණාට අඩුවක් වී ඇති බවක් ඔබ දැක තිබේද?

ආනන්ද – ඩීන් මාටින්, ගාමිණී – මාලන් බ්‍රැන්ඩෝ, ස්වර්ණා - සොෆියා ලොරේන්, නීටා - ජේන් ෆොන්ඩා, රෙක්ස් - ක්ලාක් ගේබල්, මහේන්ද්‍ර – ඩස්ටින් හොෆ්මන්, චාන්දනී - මෙරිල් ස්ට්‍රීප් යන මේ අයගේ පෙනුම හා රංගනය යන කාරණා දෙකෙන් එක් අංශයක හෝ කිසියම් සමානකමක් තියෙනවා නේද?

ජනක ඉලුක්කුඹුර – කඩවත

මට නම් කිසි සමානකමක් පෙනෙන්නට නැත.

විවාහයට පෙර ශ්‍රියාණි අමරසේනව හැඳින් වූයේ ශ්‍රියාණි වීරකෝන් යන නාමයෙන්ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි නමින්.

සිතෙහි ඇතිවන අරුම පුදුම සිතුවිලි අතරින් තෝරා ගත් ගැටලුවක් ඔබට ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. අපේ රටේ සිටිය කලාකරුවන්ගෙන් වැඩිම ගණනක් මිහිදන් කළේ හෝ ආදාහනය කළේ බොරැල්ල කනත්තේ බව කවුරුත් දන්නා කරුණකි. එලෙසින්ම ඒ ස්ථානයට අවසන් ගමන් ගිය පළමු කලාකරුවා කවුරුන්ද? එයට පිළිතුරු ලබා දිය හැකි කිසිවෙකුත් ඉන්නවාද?

ඈන් නිලන්ති – වයික්කාල

මම ඒ ගැන සොයා බලා පසුව ඔබට දැන්වීමට කැමැතියි.

ප්‍රවීණ සිනමා නිළි සුවිනීතා කෝන්ගහගේ රඟපෑ චිත්‍රපට මොනවාද? මේ වන විට ඇය රඟපෑමෙන් ඉවත් වෙලාද?

එච්. ඉන්ද්‍රපාල – මුංහේන

‘හුලවාලි’, ‘වැලි කතර’, ‘දෙලොවක් අතර’, ‘සුදු සදේ කළුවලා’, ‘අනූපමා’, ‘ජය සිකුරුයි’, ‘බව දුක’ ඇතුළු චිත්‍රපට රාශියක ඇය රඟපෑවා. සුවිනීතා වැනි නිළියක් රඟපෑවේ තෝරාගත් චිත්‍රපට රාශියක පමණයි. ඇය කිසි දිනෙකවත් රංගනයෙන් ඉවත් වන බව කියා නැත.

හින්දි රිදී තිරයේ බැබළුණු තරු පෙළක් වූ රාජ් කපූර්, දෙව් ආනන්ද්, ෂම්මි කපූර් සහ දිලිප් කුමාර් යන අයගෙන් වැඩිපුරම ජනාදරයට පත් වූයේ කුමන නළුවාද? හොඳම නළුවා වශයෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩි ගණනකින් පිදම් ලද නළුවා කවුද?

ජයම්පති නවරත්න – මාතලේ

මේ නළුවන් සියලු දෙනාම එක ලෙස ජනප්‍රිය වූ නිසා කවුරු වැඩිපුරම ජනප්‍රිය වූයේදැයි එක එල්ලේ පිළිතුරක් ලබා දීම අපහසුය. නමුත් මේ අය අතරින් දිලිප් කුමාර් වැඩිම සම්මාන දිනාගත් නළුවා බව නම් ස්ථිරය.

හඬකැවීම් අදියුරු අතුල රන්සිරිලාල් මහතාගේ ස්ථිර ලිපිනය සහ දුරකතන අංකය පළ කරනවා නම් ඔබට බොහොම ස්තුතියි.

මධුශිකා සඳරුවනි – කඩුවෙල

රූපවාහිනී සංස්ථාව, කොළඹ 07. 0112593562.

ප්‍රධාන නිළි චරිතයක් නොමැතිව සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබේද? එසේ තිබේ නම් එය කුමක්ද?

උපාලි අමරසිංහ – මාවනැල්ල

ඔව්. ‘සදළුතලෙන් එහා’ එන චිත්‍රපටයි.

නිළි රැජන ලෙස කිරුළු පළන් මාලිනී ෆොන්සේකා වේදිකා නාට්‍යවල රඟපා තිබේද? එසේ නම් ඒවා මොනවාද?

එස්. එල්. වික්‍රමසිංහ – මාවනැල්ල

නිළි රැජන මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසියේ වේදිකාව හරහායි. ඒ වන විට ඇය වේදිකාවේ කළ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වී සිටියා. ඈ රඟපෑ වේදිකා නාට්‍යය අතර ‘අකල් වැස්ස’ ‘නොරත රත’, ‘අමල් බිසෝ’, ‘ සයුරෙන් ආ ළදක්’ ඇතුළු නාට්‍ය 17ක් තිබෙනවා.

එච්. ආර්. ජෝතිපාල අවසන් වරට ගැයූ චිත්‍රපට පසුබිම් ගීතය කුමක් ද? ඒ කුමන චිත්‍රපටයේ ද?

පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල

ගීතය පටිගත කළේ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකටයි. ඔහු ඊට ගායනා කළේ කලකට ඉහත මොහිදීන් බෙග් හා රුක්මණී දේවි ගායනා කළ ‘පරම රමණී අපේ ආලේ’ ගීතයයි.

ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හා මෙට්රෝ ගොල්ඩ්වින් මේයර් යන බටහිර චිත්‍රපට බෙදා හරින සමාගම්වල තොරතුරු දැනගත හැකිද?

අයිලින් සෝවිස් - රාගම

ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම යනු 1915 වසරේදී විලියම් ෆොක්ස් විසින් ආරම්භ කරන ලද ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන් ආයතනය හා 1933 වසරේදී ඩැරිල් එෆ් ශානුක් හා ජෝසප් එම්. ශෙනික් යන දෙදෙනාගේ ට්වෙන්ටියත් සෙන්චරි පික්චර්ස් යන ආයතන ඒකාබද්ධ කර තැනුවක්. ඒ 1935 මැයි 31 වැනිදායි. ලෝකයේ ප්‍රධාන පෙළේ චිත්‍රපට සමාගම් දහයෙන් එකක් ලෙස සැලකෙන මේ සමාගම වර්තමානයේ පාලනය කරනුයේ ට්වෙන්ටි ෆස්ට් සෙන්චරි සමාගම මඟිනි. ටෙලිවිෂන් චිත්‍රපට නිර්මණය හා බෙදා හැරීම, ප්‍රදර්ශනය යන සියලු අංගවලින් සමන්විත මේ සමාගමේ වර්තමානයෙහි සභාපති ධුරය දරන්නේ ලෝකයේ මාධ්‍ය දැවැන්තයකු වන රූපට් වර්ඩොත් නම් මාධ්‍ය ප්‍රධානියායි.

1924 අප්‍රේල් 17 වැනිදා මාක්ස් ලොඑව්ගේ මෙට්‍රෝ පික්චර්ස් ආයතනයත්, සැමුවෙල් ගෝල්ඩ්වින්ගේ ගෝල්ඩ් ෆික්චර්ස් ආයතනයත්, ලුවී බී. මේයර්ගේ චිත්‍රපට සමාගමත් එකතු කොට මේ මෙට්‍රෝ ගොල්ඩ්වින් මේයර් සමාගම හෙවත් ර් ට් ර් සමාගම නිර්මාණය වුණා. මේ සමාගම කලක් ලෝකයේ විශාලතම චිත්‍රපට සමාගම හැටියටයි බැබළුනේ. එහි වෙළෙඳ සලකුªණ වූයේ සිංහයා හා ගර්ජනයයි. කලාව යනු කලාව උදෙසාය යන හේතු පාඨයත් සහිත ර් ට් ර් සමාගම නිර්මාණය කළ ජනප්‍රිය චිත්‍රපට ලෝකයේ සතර අත අතිශය ජනප්‍රිය වූවක්. කෙසේ වෙතත් 2010 වසර වන විට ර් ට් ර් සමාගම වස්තු භංගත්වයට පත් වුණා.

සිංහල චිත්‍රපටවලට වැඩිම ගීත රචනා කර ඇත්තේ මියගිය කරුණාරත්න අබේසේකර මහතා යැයි මම සිතමි. අර්ජුනගේ පිළිතුර කුමක්ද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

තිලකසිරි, මම හිතන්නෙත් එහෙමමයි.

‘හාරත හතර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්. වී. බාලන් යැයි ඔබ පිළිතුරු දී තිබුණත් එහි අධ්‍යක්ෂවරයා වන්නේ එම්. එස්. කුමාර් නොවේද?

ආනන්ද ප්‍රනාන්දු – නිට්ටඹුව

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකොටුව

ඔබලා නිවැරැදියි. ඔහු ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා පමණක් නොවෙයි. එහි ප්‍රධාන චරිතයත් රඟපෑවේ ඔහුමයි.

‘ලෝකය රගමඬලකි. එහි රඟපාන නළුවෝ අපි වෙමු’ මේ කියමන ගැන ඔබගේ අදහස කුමක්ද?

ඇම්. ඩී. විල්ෆ‍්‍රඩ් – මීගමු කට්ටුව

ඒ කියමන සත්‍යයක්. හැබැයි මම කනගාටු වන්නේ එහි අධ්‍යක්ෂවරයා වීමට මට නොහැකි වීම ගැනයි.

මරදානේ ගාමිණී සිනමාහලට මා කොපමණ ආදරේදැයි කියනවා නම් ඒ ඉදිරියෙන් යන සමහර අවස්ථාවල බස් එකෙහි යන විට අසුනින් නැඟිට ප්‍රතිචාර දක්වනවා. මේ ගැන ඔබ මොනවද හිතන්නේ?

සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳ

සමහර පුරුදු මිනිස්සුන්ට අත්හරින්න බෑ සරත්. මම නම් දැන් ඒ පැත්ත දෙස බලන්නේවත් නැහැ.

අපේ රටේ මිනිස්සු රූපවාහිනී දැන්වීම බලනවාද?

චාමර හේමනාත් – පිළියන්දල

මම නම් ටෙලිවිෂන් එකේ කැමැති දැන්වීම් බලන්න. ටෙලි නාට්‍යවලට වඩා දැන්වීම් බලන් ඉන්න එක කොයි තරම් රසවත්ද?

මා සතිපතා සරසවිය බලන්නේ පැරැණි නළු නිළියන්ගේ තොරතුරු දැනගැනීමටයි. දිලිප් කුමාර්ගේ ලිපිනය පළ කිරීමට ඔබට හැකිද? ඔහුගේ වර්තමානයේ තොරතුරු පුළුවන් නම් සඳහන් කරන්න.

අනුලා අබේසේකර – මීගමුව

පසුගිය දිනවල දිලීප් කුමාර් සිටියේ රෝගාතුරව බැවින්. පසුගිය වසර ගණනාවකම නිර්මාණ සඳහා ඔහු රංගනයෙන් දායක වුණේ නැහැ. ඒ කියන්නේ ඔහු වසර 14 කින් පමණ රඟපාලා නැහැ. ඔහුගේ ලිපිනය 34/B, Palli Hill, Nargis Dutt Road, Bandra West, Mumbai 400050.

පසුගිය කලාපයක අර්ජුනගෙන් අහන්න තීරයේ ජීවත්ව සිටින ශිල්පීන් අතරට ගැනුණු ජෝ මයිකල්, ජෝ දේව් ආනන්ද සමඟ ජෝ ලිවේරා ද ජීවත්ව සිටින බව කරුණාවෙන් සලකන්න. ප්‍රමාද දෝෂයක් හේතුවෙන් කිසිවකුගේ නමක් මඟහැරී ගියේ නම් ඒ ගැන කනගාටුව පළ කරමි.