වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනී චිත්‍රපට සතියක් ජනවාරියේ

මාලිනී චිත්‍රපට සතියක් ජනවාරියේ

හෙළ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා නම් ඇය පිළිබඳව හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනි අවැසි නැත. හෙළ සිනමාවට ඇගෙන් තරම් මෙහෙවරක් කළ නිළියක් සොයා ගැනීම උගහටය. එතරම්ම ඇය අප සිනමාව හා සබැඳි චරිතයක් වන්නේය. ඒ රංගන ප්‍රතිභාව හෙළ සිනමාවට ඇවිදින් එළඹෙන වසරට අර්ධ ශත වසරකි. ඒ සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට පිරිසක් සූදානම් වන අයුරු ‘සරසවිය’ට දැනගන්නට ලැබිණි. එම පුවත සවිස්තරාත්මකව මෙසේය.

මෙම විශේෂ අවස්ථාව සංවිධානය කෙරෙනුයේ දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙනි. ලබන වසරේ ජනවාරි මස 21 සිට මාලිනී සිනමා සතියක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත. එහිදී ඇය රංගනයෙන් දායක වූ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එය අවසානයේදී එනම් 28 දා මාලිනියට උපහාර පිදීමේ උළෙලක් පැවැත්වේ. එම මොහොතේදී මාලිනිය පිළිබඳ මෙතෙක් රචනා වූ ග්‍රන්ථ රැසක නව පිටපත් සහ ‘මාලිනිය දුටු’ නම් ධම්මික දිසානායක සංස්කරණය කළ ග්‍රන්ථයක් එළි දැක්වෙනු ඇත.

මෙම කර්තව්‍ය සඳහා මාලිනී උපහාර කමිටුවක් ද පත්කොට ඇත. අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු එහි පද්මසිරි කොඩිකාර, ධම්මික දිසානායක, අරුණ ගුණරත්න, එරංග සේනාරත්න, ලලිත් පන්නිපිටිය, ඩෙන්සිල් ජයවීර, කීර්ති බණ්ඩාර, සමන්ප්‍රිය මාරසිංහ ඇතුළු ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු සාමාජිකයන් වශයෙන් කටයුතුª කරනු ලබති.

මෙම උළෙලට සමගාමීව සිංහල සිනමාවේ එදා මෙදාතුර භාවිත කරන ලද තාක්ෂණික උපකරණ රැගත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.