වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




එයා මට බූට් එකක් තිබ්බා

එයා මට බූට් එකක් තිබ්බා

ගිවන්ත අර්ථසාද්

‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍යයි’ සුනිල් ආරියරත්නයන් ගේ පන්හිඳෙන් ලියැවුණු ඒ ගීතය පිළිබඳ විවිධ කතිකා බිහිවී ඇති නමුදු, විටෙක ප්‍රේමය සඳ එළිය සේ සුරම්‍යයැයි ඔබට සිතුණොත් එය අරුමයක් නොවේ. ප්‍රේමය ඒ තරමටම සොඳුරු කවක් මෙනි. ලෝකයේම අසිරිමත් දේ අතරට ගැනෙන ප්‍රථම ප්‍රේමය ද බොහෝ සේ සොඳුරු බව අපි දනිමු. ඔබ හදවත සැරිසරන තරු සිය ප්‍රථම ප්‍රේමය පිළිබඳ හෙළි කරන මේ පත් ඉරුවට අද සහභාගි වන්නේ ගිවන්ථ අර්ථසාද්ය.

* ඔබ තවමත් ප්‍රේම කරනවද?

ඔව්.

* කවුද ඈ?

ඈ මගේ බිරිඳයි.

* ඒ කියන්නේ ඔබ විවාහකයි?

ඔව්, මම විවාහ වෙලා අවුරුදු 6 ක පුතෙක් අපට ඉන්නවා.

* ඔබ විවාහ වුණේ ප්‍රථමයෙන් ආදරය කළ පෙම්වතිය සමඟද?

නෑ.

* එහෙනම්?

ඈ මගේ දෙවැනි පෙම්වතියයි.

* ප්‍රථමයෙන්ම ඔබගේ ආදරය දිනාගත් ඈ කවුද?

ඇගේ නම කියන්න බෑ.

* ඒ ආදරයට මොකද වුණේ?

අපි කාලයක් ආදරය කළා. ප්‍රශ්න නිසා ඈ මාව අතහැරියා.

* ඈ ඔබට බූට් එක්ක තිබ්බා?

ඇත්තටම ඒක එහෙම තමයි.

* බූට් එකක් තියන්න හේතුව මොකක්ද?

මම හිතන්නේ මම එයාලගේ සමාජ පෙළැන්තියට නොගැළපෙන්න ඇති.

* ඒ කියන්නේ ඇය සල්ලි කාරියක්?

ඔව්.

* ඒකද ප්‍රශ්නය, වෙන එකක්ද?

මම හිතන්නේ එහෙමයි. මොකද මට ඒ දවස්වල හරි හමන් රැකියාවක් තිබුණේ නෑ.

* ඔබ කළ රස්සාව මොකක්ද?

මම පාසල් ගිහින් අවසාන් වුණ ගමන් කේ. එෆ්. සී. එකේ රස්සාවක් කළා.

* ඒ අතරෙදියි ඔබ ඇය හා හාද වුණේ?

ඔව්, ඒ කාලයේ ඈ පාසල් යන ශිෂ්‍යාවක්.

* කොහොමද ඈ මුණ ගැසෙන්නේ?

ඈ අපේ අසල් වැසියෙක්.

* අසල්වැසි ප්‍රේමයක්?

පුංචි කාලෙ ඉඳලා අපි දැකලා තියෙනවා.

* ඒ කාලෙදියි ප්‍රේමය ඇති වුණේ?

ඇත්තම කිව්වොත් ඒ කාලෙ ඉඳලා ඈ ගැන මගේ සිතේ විශේෂත්වයක් තිබුණා.

* වැලි කෙළියේ ප්‍රේමයක්?

ඒ වගේම ඇගේ සිතේ මා පිළිබඳ විශේෂ-ත්වයක් තිබුණු බව මා දැන ගත්තේ පස්සෙයි.

* කොහොමද ඇයම ඔබේ ප්‍රේමවන්තිය වුණේ?

ඒක දිග කතාවක්.

* ඇයට ආදරෙයි කිව්වේ කොහොමද?

මුලින්ම මම හිතවත් වුණේ ඇගේ නෑදෑවෙන නංගි කෙනෙක් එක්කයි.

* ඔබ ඇයට මුලින්ම ආදරය කළා?

ඒක ආදරයකට වඩා එක්තරා හිතවත් කමක්. ඒත් මම ඇයට කිව්වා හරියටම මම ආදරය කරන්නේ කාටද කියලා.

* ඈ ගිහින් ඔබගේ හිතගිය පෙම්වතියට කිව්වා?

ඔව්, එහෙමයි ඇයයි මමයි ආදරය කළේ.

* ඔබ ඇයට ආදරෙයි කියලා කිව්වා?

ඔව්, මම මුලින්ම ආදරෙයි කියලා කිව්වත්, ඈ ආදරෙයි කියලා මුලින්ම කිව්වේ නෑ.

* මුල් කාලෙදි ඈ ගණන් ඉස්සුවා?

ඇත්තටම ඉතින් ගැහැනු ළමයි කොහොමත් මුල් කාලෙදි ගණන් උස්සනවනේ.

* ඇයව ඔබට නිතරම මුණ ගැසෙනවා?

ඇයව මුණ ගැසෙන්න මම යන්නේ පංතියට.

* රස්සාව ඒකට බාධාවක් වුණේ නැද්ද?

බොරුවක් කියලා එතැනින් කොහොම හරි පැන ගන්නවා.

* එහෙම කළ ආදරය ගෙදරට අසු වුණාද?

අපේ ගෙදරින් නම් දන්නෙවත් නෑ. ඇගේ ගෙදරින් තමයි මුලින්ම දැන ගත්තේ.

* ඒ කොහෙමද?

ඈ මට ලියන ලියුමක් අම්මට අහුවුණා.

* ඉතින් මොකද වුණේ?

ඈ ඒක ලියන්නේ යාළුවට කියලා කිව්වත් හරි ගියේ නෑ. යාළුව හරි විස්තරය කියලා තිබුණා. ගෙදරට ගෙනල්ලා අවවාද කළත් අපි දිගටම ආදරය කළා.

* එහෙනම් කොහොමද ඒක නතර වුණේ?

හේතුවක් කියන්නේ නැතුවයි ඈ ප්‍රේමය නතර කළේ.

* ඊට පස්සෙ ඔබ මොකද කළේ?

ඇයට ඇත්තටම ආදරය කළ නිසා මම පුදුම දුකක් අත්වින්ඳා. රස්සාවෙන් පවා අස්වෙලා ටික කාලයක් නිකම්ම හිටියා.

* ඊට පස්සේ ඇයව ඔබට මුණ ගැසුණද?

එතනින් යන එන කොටනම් ඇයව දැක්කා. ඇය දැන් විවාහකයි.

* හදිසියෙම ඔබට ඇයව මුණ ගැසුණොත් ඒ ගැන අහනවද?

මගේ පළමු ප්‍රශ්නය වෙන්නේ මාව දාලා යන්න හේතුව දැන ගන්න එකයි.

* ඔබ මේ කියන දේ බලලා බිරිඳ ඔබට චෝදනා කරයිද ?

අපෝ නෑ. ඇයට මම ඔක්කොම කියලයි තියෙන්නේ.

* පෙම්වතියව තවමත් අමතක කරන්න බැහැ වගෙයි නේද?

එහෙම එකක් නෑ. මා වඩාත් ආදරය කළ තැනැත්තිය ඇයයි.

* මතක හිටින තෑගි එහෙමත් දීලා තිබුණද?

මම ඇයට මුද්දක් දුන්නා. ඇය මට දුන්න මුල්ම තෑග්ග රත්තරන් මාලයක්.

* ඒක තවමත් ඔබ ළඟ තියෙනවා?

ඔව්, ඒක මාළඟ සුරැකිව පැත්තකින් අරගෙන තියලා තියෙනවා.