වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




කපටි ආරක්ෂකයා තැනූ පුරෝගාමී සිනමාකරු

ඉන්දියානු සිනමා කතාව 36

කපටි ආරක්ෂකයා තැනූ පුරෝගාමී සිනමාකරු

බොම්බායේ නැතහොත් වර්තමාන මුම්බායි හි හින්දි සිනමාව වර්ධනය වද්දී දකුනු ඉන්දියානු සිනමාව ද අනුක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන්නට පටන් ගත්තේය.මදුරාසියේ නැතහොත් වර්තමාන චෙන්නායි හි ශබ්ද චිත්‍රාගාරයක් ඉදිවනුයේ 1934 වසරේ වුව ද ඒ වන විටත් ඒ.නාරායනන්, එච්.එම්.රෙඩ්ඩි, කේ.සුබ්‍රමානියම් ආදීන් දකුණු ඉන්දියානු භාෂාවන් වන දෙමළ,තෙළිඟු භාෂාවන්ගෙන් චිත්‍රපට නිර්මාණය කර තිබිණ.

ඒ බොම්බායේ සහ කල්කටාවේ චිත්‍රාගාරයන් හිදීය.මේ අතරින් කේ.සුබ්‍රමානියම් යනු පසු කලක සිංහල බසින් කපටි ආරක්ෂකයා චිත්‍රපටය තැනූ සිනමාකරුවා වෙයි.ක්‍රිෂ්ණස්වාමි සුබ්‍රමානියම් දෙමළ සිනමාවේ වැදගත් සිනමාකරුවකු බැව් මෙහිලා සදහන්කළ යුතුවෙයි.මුල් යුගයේ බොහෝ දකුණු ඉන්දියානු චිත්‍රපට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු නාට්‍යයන්ගේ සහ ගීත නාටකයන්ගේ ආභාෂය ලත් ඒවා විය.මේ චිත්‍රපට ඉතා දීර්ඝ කතාන්තර වූ අතර සමහර චිත්‍රපට සඳහා ගීත හතලිහත් පනහත් අතර සංඛ්‍යාවක් ඇතුළත් විණ.ත්‍යාගරාජා භගවතාර්,දණ්ඩපානි දේසිකාර්,කේ.වී.සුන්දරම්බාල්, සහ එම්.එස්.සුබලක්ෂ්මී මේ චිත්‍රපටයන් ගේ ගීත ගායනා කළහ.දකුණු ඉන්දියානු සිනමාකරුවන් අතර බී.එන් රෙඩ්ඩි සහ කේ.සුබ්‍රමානියම් සෙසු සිනමාකරුවන්ගෙන් කැපී පෙනුනේ ඔවුන් විෂය කොට ගත් තේමාවන් හේතුවෙනි.

බොම්මිරෙඩ්ඩි (බී) නරසිම්හ(එන්) රෙඩ්ඩි ආන්ද්‍ර පෙදෙසේ කුඩප්පා දිස්ත්‍රික්කය ජන්ම කොටගත්තෙකි.වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් වූ ඔහු සිනමාවට පිවිසීමට පෙර මදුරාසියේ පැවති ආධුනික නාට්‍යය සංගමයක් වූ ආන්ද්‍ර මහා සභා නාට්‍යය කණ්ඩායමේ සාමාජිකයකු හැටියට අත්දැකීම් ලැබුවේය.පසුව ගෘහ ලක්ෂ්මී චිත්‍රපටයේ කතා රචකයා වන රෙඩ්ඩි එවකට දකුනු ඉන්දියාවේ ගොඩ නැගුණ විශාලතම චිත්‍රාගාරය චෙන්නායි නගරයේ ගොඩ නැගුවේය.ඒ වාහිනී නමිනි.එහි මුල්ම චිත්‍රපටය වනුයේ වන්දේ මාතරම්ය.වන්දේ මාතරම් නිෂ්පාදනය වනු?යේ 1939 වස?ෙර්ය.එයට පාදක වනුයේ රැකියා විරහිත තරුණයකු පිළිබඳ කතාවකි.

රෙඩ්ඩිගේ දෙවැනි නිෂ්පාදනය වන සුමන්ගලී ළමා වැන්දඹුවක් පිළිබඳ තේමාවක් සිනමාවට ගෙනා වේය.ඉන් පසු තැනුණ දේවතා චිත්‍රපටයට පාදක වනුයේ අවිවාහක මවක පිළිබඳ පුවතකි.වාහීනී චිත්‍රාගාරයආරම්භයේ දී දකුණු ඉන්දියාවේ පැවැති දැවැන්තම චිත්‍රාගාරය ලෙස සැළකිණ.එහිදී දකුණු ඉන්දිය සිනමාවේ පුරෝගාමි සමාගමක් වන රෝහීනි පික්චර්ස් සදහා ආයෝජනයෙන් දායක වන බී.එන්.රෙඩ්ඩි පසුව එයට දායක වන කේ.රාම්නෝත්,චිත්තෝර් වී.නාගය්යා,කේ.වී.රෙඩ්ඩි සමග ඒ.කේ.ශේකර් ද හවුල් කර ගත්තේය.

පසුකලක විජය වාහිනී නමින් නම් කෙරුණේ ද මේ චිත්‍රගාරයමය.ක්‍රිෂ්ණස්වාමි සුබ්‍රමානියම් සිනමාවට පිවසෙනුයේ රාජා සැන්ඩෝ ගේ පේයුම් පෙන්නුම් චිත්‍රපටයේ කතා රචකයා හැටියටය.පසුව මීනක්ෂි සිනෙටෝන් සමාගම ආරම්භ කළ සුබ්‍රමානියම් දෙමළ සිනමාව මදුරාසියේ ආරම්භ කිරීමේ කටයුත්තේ පුරෝගාමියකු ද විය. ඔහු ගේ පවලක්කොඩි දකුණු ඉන්දිය සිනමාවේ මුල්ම සුපිරි නළුවා වූ ත්‍යාගරාජ් භගවතාර් සිනමාවට හඳුන්වා දුන් චිත්‍රපටය විය.

ඔහුගේ ත්‍යාගභූමි චිත්‍රපටය එවකට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මුළුමනින්ම තහනම් කරන ලදී.මුල් යුගයේ ජනප්‍රිය ගායිකාවක වන එස්.ඩී.සුබලක්ෂ්මී සමග ඔහු පසු කලක විවාහවනුයේ සිය මුල් බිරිද වූ මීනක්ෂිගේ අවසරය ඇතිවය. ඔහු මිය යන තුරු මේ විවාහයන් දෙකම ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලදී.සුබ්‍රමානියම් නිර්මාණය කරන ලද බාලයොගිනී චිත්‍රපටයට පාදක වනුයේ බ්‍රාහ්මණ වැන්දඹුවක් පිළිබද පුවතකි. මේ චිත්‍රපටය කෙතරම් ආන්දෝලනයට ලක්වූවාද කිව හොත් සුබ්‍රමානියම් නියෝජනය කළ බ්‍රාහ්මණ කුලයෙන්ම ඔහුට ප්‍රශ්ණ ඇති වන්නට විය.

දකුණු ඉන්දියාවේ මෙන්ම එවකට ඉන්දියාවට අයත්ව තිබුණ ලාහෝරය කේන්ද්‍ර කොට ගෙන තවත් සිනමාවක් බිහිවිණ. එවකට ලාහෝරය පන්ජාබ් ප්‍රාන්තයේ අගනුවර විය.එහි සිනමාවේ පුරෝගමියා වූයේ දල්ශුක් පන්චෝලි ය. ඔහු විසින් ආරම්භ කරන ලද එම්පයර් ටෝකි ඩිස්ට්‍රිබියුටර් සමාගම එවකට පන්ජාබයේ පැවැති හොදම චිත්‍රාගාරය ගොඩ නැගීමට සමත් විය.ඔහු විසින් තනන ලද ගුල්භකවලී සහ යමලා ජාත් යන චිත්‍රපට යුගලම අති සාර්ථක විය. ?මේ චිත්‍රපට තැනුනේ පන්ජාබ් බසිනි.?එහෙත් මෙහි චිත්‍රපට සියල්ල මුළු මහත් ඉන්දියාව පුරා තිර ගත කරවන්නට පංචෝලිට හැකි විය.

ඔහු පසුව හින්දි බසින් කලංචි චිත්‍රපටය නිර්මාණය කරන ලදී.ඒ සඳහා ගුලාම් හයිදර් නිර්මාණය කරන ලද ගීත අතිශය ජනප්‍රිය විය.ඒ සඳහා භාවිත කරන ලද්දේ පන්ජාබයේ ගැමි සංගීතයයි.ඉන්දියානු චිත්‍රපට ගීතයේ අමරණීය නමක් හිමි ගායිකාවක් ලෙස සැළකෙන නූර්ජෙහාන් සිනමාවට හඳුන්වාදෙනු ලබනුයේද හයිදර් විසිනි.ඒ කන්දන් චිත්‍රපටයෙනි.එහෙත් ඉන්දියාව බිඳී යාමත් සමග පංචෝලි ලාහෝරය අත හැර බොම්බායට පැමිණිය ද ඔහුට නැවත සිය සිනමා සමාගම ව්‍යාප්ත කරන්නට හැකි වූයේ නැත.නූර්ජෙහාන් ද ඉන්දියාව බෙදී යද්දී පාකිස්ථානය බලා පිටත්ව ගියාය.පාකිස්ථානයේ මුල්ම සිනමාකාරිය වූයේ ද ඇයයි.

දෙවන ලෝක මහා සංග්‍රාමය තදින් ව්‍යාප්ත වන සමය වන විට ඉන්දියාවේ සාමාන්‍ය වාර්ෂික චිත්‍රපට නිෂ්පාදනය වසරකට දෙසීයක් පමණ විය.එය ඒ වන විට ලොව චිත්‍රපට නිෂ්පාදනය අතින් අත් පත් කර ගත්තේ තුන් වන තැනය.චිත්‍රපට උපකරණ ආදිය පහසුවෙන් සපයා ගත නොහැකිවීමත් ආයෝජනයන්ගේ උදාසීන බවත් ලොව පුරා සිනමාවට තදින් බලපෑවේය.එමෙන්ම චිත්‍රපට නිෂ්පාදනයේ දී බොහෝ දෑ සපයා ගන්නට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ඒ අවදියේ ඉන්දියානුවන්ට ලැබුණේ නැත.මේ හේතුව නිසා බොහෝ චිත්‍රපට ධාවන කාලය ද එතරම් දීර්ඝ වූයේ නැත.චිත්‍රපට නිපදවන්නට ඉඩ ලැබුණේ ද අවසර ලත් සමාගම් වලට පමනී.

චිත්‍රාගාරයක් සාමාන්‍යයෙන් වසරකට චිත්‍රපට ත්‍රිත්වයකට වඩා නිෂ්පාදනය නොකළහ.මේ අවදියේ ප්‍රභාත්,නිව් තියටර්ස් සහ වාඩියා මුවිටෝන් සමාගම් බහුල වශයෙන් වාර්තා චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹුනහ.එහෙත් මේ අවදියේ තැනුණ බොහෝ චිත්‍රපට ජර්මනියේ නාසි වාදින්ට වඩා ඉංග්‍රීසින්ට එරෙහිව තැනුණ චිත්‍රපට විය.එබැවින් බ්‍රිතාන්‍ය පාලකයන් වාර්තා චිත්‍රපට සඳහා වාර්තා චිත්‍රපට ඒකකයක් ඉන්දියාවේ දී බිහි කළේය.

බ්‍රිතාන්‍යයේ රාජකීය චිත්‍රපට ඒකකයේ ආකෘතිය අනුව බොම්බායේ ගොඩ නගන ලද චිත්‍රපට උපදේශක මණ්ඩලයේ සභාපති පදවියට ජේ.බී.එච්.වාඩියා පත් කරන ලදී.

මිනිත්තු දහය සහ පහක කාලයෙන් යුතුව ධාවනය වන වාර්තා චිත්‍රපට රැසක් එහිදී නිපද වූ අතර බොහෝ විදේශිය වාර්තා චිත්‍රපට ද ඉන්දියාන් භාෂා වලින් දෙබස් කවන ලදී. මේ සියල්ල බ්‍රිතාන්‍යයන්ට හිත කර වාර්තා චිත්‍රපට පමනක් විය.මේ අවදියේ භාෂ්කර රාඕ විසින් කේරළයේ පොල් වගාව පිළිබඳ තනන ලද ට්‍රී ඔෆ් වෙල්ත් එඩින්බරෝ සිනමා උලෙලේ සම්මාන දිනා ගත්තේය. එය ඉන්දියානු වාර්තා චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්භාවනවට පාත්‍ර වූ මුල්ම අවස්ථාව විය.

එහෙත් යුද්ධය නිම වීමත් සමග මේ සියල්ල වෙනස් ව ගියේය.

මතු සම්බන්ධයි