වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




යොවුන් ප්‍රාර්ථනා සොයා ගිය තරුණයන් තිදෙනෙක්

යොවුන් ප්‍රාර්ථනා සොයා ගිය තරුණයන් තිදෙනෙක්

සිරිමල්ගේ පියා මිය ගොසිනි. පියා රැකියාව කළ සමාගමේම සිරිමල්ට රැකියාවක් ලැබීමට නියමිතය. ගම හැරදා ඔහු කොළඹ එන්නේ එබැවිනි.

හංසිකාගේ තාත්තා සේවය කළේ ද එම ආයතනයේමය. ඇයගේ පියා මිය ගියේත්, ඔහුගේ පියා මිය ගිය දවසේමය. මියගිය වෙලාව ගැලපීීමෙන් රැකියා අරගලයේ පලහිලව්ව බේරා ගැනීමට ආයතන කළමනාකරු සමත් වෙයි. එහෙත් ඒ තාවකාලික විසඳුමක් පමණි. නැවත එන ලෙස ඔහු සිරිමල්ට පවසන්නේ එබැවිනි.

සිරිමල්ට මෙන්ම හංසිකාට ද රැකියාව අවශ්‍යය. ඒ දෙදෙනාටම තම පවුල් ජීවත් කරවීමට තියුණු අරගලයක යෙදීමට සිදුවීමයි. එබැවින් දෙදෙනාම එකිනෙකාට එරෙහිව රැකියාව ලබා ගන්නට උත්සාහ කරති.

මේ දෙදෙනාටම වඩා වෙනස් මහේෂ් ද නගරයට පැමිණියේ ජීවන අරගලයට මුහුණ දෙන්නටය. ඔහු තම මවුපියන්ටත්, අසල්වැසියන්ටත් ධනවත් කොන්ත්‍රාත්කරුවෙකි. එහෙත් ඇත්ත නම් ඔහුගේ රැකියාව කුලී වැඩ කිරීමයි. සිරිමල් සහ මහේෂ් හමුවන්නේ අහම්බයෙනි. අතරමග හමුවන ඔවුන් වෙන් වනුයේ සිරිමල්ගේ පොකට්ටුවට මහේෂ් තට්ටු කළා යන චෝදනාවත් සමඟය.

ඇත්ත වැටහෙන විට සියල්ල සිදුවී හමාරය. සිරිමල් තම මුදල් පසුම්බිය රඳවා සිටිනුයේ වෙනත් සාක්කුවකය.

රැකියාව ලැබෙන තුරු සිරිමල් බෝඩිමක් සොයා ගනී. ඒ සුමනපාලගේ ගරාජයයි. ගරාජයේ සේවය කරනුයේ තරුණියන් පමණි. එහෙත් ගැටළුව ඇති වනුයේ කාමරය බෙදා ගන්නා සගයා නිසාය. සිරිමල් කාමරය බෙදා ගත යුත්තේ මහේෂ් සමඟය. තම පොකට්ටුවට තට්ටු කළේ සිරිමල් යැයි සිතන මහේෂ් අලුත් බෝඩිංකාරයා එයින් පන්නා දමන්නට සියළු උපක්‍රම යොදවයි.

එහෙත් සුමනපාලගේ අවසන් තීරණය අනුව සිරිමල්ට ද එහි නැවතීමට ඉඩ ලැබේ. එහෙත් දෙදෙනා අතර නිතර අඬ දබර කෙළවරක් නැත. මහේෂ්ගේ වෑයම සිරිමල්ව මේ නිවසෙන් එළවීමට මඟක් සෙවීමය. රැකියාව ස්ථිර කර ගැනීමට සිරිමල් සොයා නිවසට එන හංසිකාව මහේෂ්ට මුණ ගැසෙන්නේ මේ අතරය.

සිරිමල්ගේ රැකියාව හංසිකාට ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට මහේෂ් හංසිකාට පොරොන්දු වේ.

‘රජ හොරු’ කණ්ඩායම:

ඉවෝක් ෆිල්ම්ස් ආයතනයේ නිෂ්පාදනයකි

සුරංග ද අල්විස් - (අධ්‍යක්ෂණය)

රන්ජන් රාමනායක – (මහේෂ්)

අර්ජුන කමලනාත් - (සිරිමල්)

හිමාලි සිරිවර්ධන – (හංසිකා)

ආරියසේන ගමගේ – (සුමනපාල)

රොනී ලීච් – (කළමනාකරු)

හේමන්ත ඊරියගම – (ගුණේ)

ශ්‍රියානි අමරසේන – (මහේෂ්ගේ මව)

බුද්ධික ජයරත්න – (පොලිස් ස්ථානාධිපති)

සඳුන් විජේසිරි – (සීයා)

ජීවාන් සප්තරංග - (මුණුබුරා)

අර්ඩ්ලි වෙදමුනි – (යුබා)

නිෂානි ගමගේ – (සීබා)

ඩී. බී. ගංගොඩතැන්න – (මැත්තා)

සමන්ත මායාදුන්න – (සමන්)

සමන් පද්ම කුමාර – (සේවක)

ප්‍රවීන් ජයරත්න – (සංස්කරණය)

සරත් ද අලවිස් - (සංගීත අධ්‍යක්ෂණය)

සජිත වීරප්පෙරුම – (කැමරාකරණය)

ප්‍රසාද් සිල්වා - (සහාය අධ්‍යක්ෂණය)

චාමර නිරෝෂන් – (වේෂ නිරූපණය)

සුරේන්ද්‍ර ප්‍රතාප් - (ඇඳුම් නිර්මාණය)

අනිල් මල්ලවාරච්චි – (නිෂ්චල ඡායාරූප)

ප්‍රසාද් සුරේන්ද්‍ර – (නිෂ්පාදන කළමනාකරු)

සමන් පද්ම කුමාර – (කලා අධ්‍යක්ෂණය)

සමන් චන්ද්‍රනාත් වීරසිංහ – (ගී පද)

බුද්ධික උෂාන්, උදයංග සුරේෂ්, රුක්මන් අසිත – (ගායනය)

සමන්ත මායාදුන්න – (සටන් අධ්‍යක්ෂණය)

සිරිමල්ව රවටා මහේෂ් හිස් කොලයකට අත්සන් කර ගනී. ඔහුගේ රැකියාව අවශ්‍ය නැති බවට සඳහන්කර හංසිකා තම සිතැඟි මුදුන්පත් කර ගනී. රැකියාව සොයා යන සිරිමල් දකින දෙයින් පුදුම වනුයේ එයට හංසිකාව බඳවාගෙන ඇති බව දැකීමෙනි.

කළමනාකරු සිරිමල් අත්සන් කරන ලද ලියුම පෙන්වයි. ලියුම උදුරා ගන්නා සිරිමල් එය ඉරා දමා කළමනාකරුට විරුද්ධව පැමිනිළි කරන බවට තර්ජනය කර පිට වී යයි. කළමනාකරු බියට පත්වෙයි. හංසිකා අසළට යන ඔහු සිරිමල් සමඟ කෙසේ හෝ මිතුරු වී ඔහුගෙන් ලිපියක් ගන්නා ලෙස ඇයට පවසයි.

හංසිකා එලෙස උත්සාහ කළ ද සිරිමල් එයට අකැමැති වෙයි. සිරිමල් රැකියාව බලාපොරොත්තු වන්නේ ඔහු වී ඇති ණය තුරුස්වලින් මිදීමටයි. ණය තුරුස් නිසියාකාර නොගෙවීම නිසා ගැමියෙක් සිරිමල් සොයා බෝඩිමට එයි.

සිරිමල් මෙන්ම මහේෂ් ද දහසක් බලාපොරොත්තු මැද ජීවත්වෙති. සුමනපාල ද සිය පියාගේ මරණය නිසා ඔහුට උරුම වූ ණය බරින් මිරිකී සිටී. මේ අතර එක් දිනක් සුමනපාලගේ නිවසේ දුරකථනයට ඇමැතුමක් එයි. ඇමතුම ගන්නේ සිරිමල්ය. ඉන් කියැවෙන්නේ ඔහුගේ මුණුබුරා පැහැරගෙන ඇති බවකි. ඔහු බේරා ගැනීමට නම් ලක්ෂ සියයක් අවශ්‍ය බවත්ය. මෙම දුරකථන ඇමැතුම වැරැදි ඇමැතුමක් ලෙස හඳුනා ගත්ත ද මහේෂ් මේ මොහොතේ සැලසුම් කරනුයේ අතරමැදියෙකු ලෙස කටයුතු කරන්නටය. ඒ දරුවාගේ සැබෑ සීයා කවුදැයි සොයා ගන්නටය.

තමන්ට ඇති ණය බරින් නිදහස් වීමට අනෙක් දෙදෙනා ද මෙයට එකඟ වේ. විටෙක ත්‍රාසයෙන් ද, විටෙක හාස්‍යයෙන් ද පිරි මේ අපූරු කතාවේ අවසානය කෙබඳුද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට ප්‍රේක්ෂක ඔබට හැකි වන්නේ නොවැම්බර් 21 වැනිදා රිත්මා මණ්ඩලයේ සිනමාහල් 35 ක රට පුරා තිරගතවීමට නියමිත රජ හොරු චිත්‍රපටය නැරැඹීමෙනි.